English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


බි‍්‍රතාන්‍යයේ නික්මීම (බ්‍රෙක්සිට්) සහ ‘සිංහල පමණයි’ ජන වරමේ සීමාවන් !

    

දකුණු ආසියානු දේශපාලනය ගැන අදහස් දක්වන්නන්, එම කලාපයේ ඡන්දය පාවිච්චි කෙරෙන ආකාරය පිළිබඳ එක්තරා ආකාරයක විචිකිච්ඡාවක් දක්වනු පෙනේ. එසේ වීමට ඔවුන්ට හේතු තිබේ. ලෝකයේ විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වශයෙන් සැළකෙන ඉන්දියාවේ සෑම මැතිවරණයකදීම, අත්අඩංගුවට පත්ව ඇති සටකපටයන්, සිනමා තරු, වැඩවසම් රාළලා සහ තවත් බොහෝ ජේත්තුකාරයන්ව ඔවුන්ගේ ප‍්‍රාදේශීය සහ මධ්‍යම ආණ්ඩු සඳහා එරට වැසියන් පුරුද්දක් වශයෙන් පත්කර යවන බව පැහැදිළි ය.

බංග්ලාදේශයේ වැඩවසම් වැන්දඹුවන් දෙන්නෙක් එරට ජනතාවගේ ඉරණම පැහැර ගත්හ. එසේ කෙළේ, මැතිවරණ ක‍්‍රමය පාවිච්චියට ගනිමිනි. අපේ රටේ දස ලක්ෂ ගණන් විපක්ෂ ඡන්දදායකයෝ පසුගිය මැතිවරණයේදී තමන්ගේම පක්ෂයේම සිටින වඩාත් ප‍්‍රතිපත්ති ගරුක දේශපාලඥයන් වෙනුවට ‘ඒකාබද්ධ විපක්ෂයේ’ අවස්ථාවාදි කයිවාරුකාරයන්ව පාර්ලිමේන්තුවට තෝරා යැවීමට පියවර ගත්හ.

කෙසේ වෙතත්, මෙය අපේ කලාපයට පමණක් සීමා වන ප‍්‍රශ්නයක් නොවේ.

ඊජිප්තුවේ හිටපු නායක හුස්නි මුබරක්ව පෙරලා දැමීමෙන් පසු පැවැත්වූ ප‍්‍රථම, නිදහස් සහ සාධාරණ මහ මැතිවරණයේදී එරට ජනතාව බහුල වශයෙන් තෝරා පත්කර යැවූයේ ලිබරල් මතවාදීන්ව නොව, ‘මුස්ලිම් සහෝදරත්වයේ’ ඉස්ලාම්වාදීන්වයි.

මීට වසර තිහකට පෙර එම අවස්ථාව ඇල්ජීරියානුවන්ට ලැබුණු අවස්ථාවේ ඔවුන් ඡන්දය පාවිච්චි කෙළේ අන්තවාදී ‘සලාෆිස්ට්’ නිකායිකයන්ව තෝරාපත් කර යැවීමටයි. (කෙසේ වෙතත්, එරට පැවති ලෞකික හමුදාව එම ඡන්දය අවලංගු කෙළේය. ඒ හේතුවෙන්, එරට සිවිල් යුද්ධ තත්වයක් ඇති විය).

2006 දී පලස්තීන ඡන්දදායකයෝ ප‍්‍රධාන ප‍්‍රවාහයේ දේශපාලනික නායකත්වය ඉසිලූ ‘පලස්තීන විමුක්ති සංවිධානය’ ගැන තිබූ අප‍්‍රසාදය නිසා ඔවුන්ගේ පාලකයන් වශයෙන් පත්කර ගත්තේ, ත‍්‍රස්තවාදී කණ්ඩායමක් වූ ‘හමාස්’ සංවිධානයයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී අත්දැකීම තුළ ඇති යහපත් අපේක්ෂාව සහ සැබෑ ප‍්‍රතිඵලය අතර පවතින ඉහත කී නොපෑහීම, එක භූගෝලීය කලාපයකට පමණක් සීමා නොවේ. යුරෝපා රටක් වන ඔස්ටි‍්‍රයාව ගිය මාසයේ, නට්සිවාදී නැඹුරුවකින් යුත් අන්ත දක්ෂිණාංශික අපේක්ෂකයෙකු එරට ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගැනීමේ ඉද්දරටම ගියේය.

සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ දක්නට ලැබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අසාර්ථකත්වය හෝ අඩු සාර්ථකත්වය පිළිබඳ නොයෙකුත් පැහැදිළි කිරීම් තිබේ. මේ රටවල්වල ශක්තිමත් සහ ස්වාධීන ආයතනික පද්ධතියක් නැති කම ඒ සඳහා දක්වන එක් පැහැදිළි කිරීමකි. ආර්ථික වර්ධනයේ ඌනතාව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අසාර්ථකත්වය අතර සම්බන්ධයක් ඇති බවද තවත් අය දකිති. රටක් පොහොසත් වන තරමට ඒ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් සරු වන බව ඔවුන්ගේ අදහසයි. තවත් තර්කයක් සනාථ කිරීම සඳහා මේ තර්කයම අනිත් අතටත් පාවිච්චි කෙරේ. ඊට අනුව, ආර්ථික සංවර්ධනය වෙනුවෙන් පෙනී සිටින දැඩි අධිකාරීවාදී පාලන තන්ත‍්‍රයන් යටතේ ඇති කර ගන්නා සීග‍්‍ර සංවර්ධනයකින් පසු එම රටවල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා යොමු කළ හැකි බව ඔවුහූ පෙන්වා දෙති. (තායිවානය, දකුණු කොරියාව සහ චිලී රට ඊට උදාහරණ වශයෙන් දැක්වේ).

මැද පෙරදිග රටවල පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඌනතාව ගැන සැළකිලිමත් වන වන විචාරකයෝ, ඇතැම් රටවල් සමග ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොපෑහෙන බව කියති. මෙය ආන්දෝලනාත්මක කතාවක් වෙතත්, එසේ කීමට ඔවුන්ට හේතු නැතිවාම නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, පරණ අරක්කු වැනි ය. පරණ වන තරමට අරක්කුවල අගය වැඩි වන්නේය. කාලයාගේ ඇවෑමෙන්, තවත් අවශේෂ කොන්දේසිද සහිතව, විශේෂයෙන් නිදහස් වෙළඳ පොළක් සහ ස්වාධීන ආයතන පද්ධතියක් ඇති විට, අනෙකාව ඉවසන සහ අනෙකාව අන්තර්ග‍්‍රහණය කරගන්නා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංස්කෘතියක් ගොඩනැගිය හැකිය. එවැනි රටවල සමාජයන්, සෙසු රටවල සමාජයන්ට වඩා බෙහෙවින් විදග්ධ ය.

අලූත්ම තත්වය අපට හමුවන්නේ බි‍්‍රතාන්‍යයෙනි. යුරෝපා සංගමයෙන් ඉවත් වීමට එරට ජනතාව තීන්දු කොට තිබේ. එහි ප‍්‍රතිවිපාක වශයෙන් ස්ටර්ලින් පවුම සහ ලෝකය පුරා කොටස් වෙළඳපොළ පල්ලම් බැස ඇත. තමන් විසින්ම අත්කර ගත් එවැනි ආර්ථික අවපාතයක් දැන් එම රට ඉදිරියේ තිබේ. මේ වනාහී, ජනතා වරමක තුළ ඇතැයි කියැවෙන සබුද්ධික භාවය තියුණු පරීක්ෂාවට ලක් කෙරෙන තවත් අවස්ථාවකි. ‘ජනතා කැමැත්ත’ වශයෙන් ඊට යම් අභිමානයක් එක් කිරීමට විවිධ ප‍්‍රයත්න ගැනෙතත්, ජනතාව නොදන්නා දේවල් ගැන තීන්දු ගැනීමට ජනතාවගෙන් ඉල්ලා සිටීමේ ඇති ප‍්‍රඥාවන්ත භාවය මෙහිදී ප‍්‍රශ්න කෙරේ. පුහු වාගාලංකාරයට යට වන ජනතාවකට එවැනි කරුණු සම්බන්ධයෙන් වගකීමක් භාර දීම, කලක් ගුදම් ලිපිකරුවෙකුව සිට පසුව මහින්ද හෙංචයියෙකු වූ සජින් වාස් කෙනෙකුට ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම භාර දීමට වෙනස් නැත. ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම බංකොලොත් වූවා සේම, අර ජනතා මතයත් තුඩු දිය හැක්කේ අගතියකටමයි.

ක‍්‍රිස්තු පූර්ව පස් වැනි සියවසේ ඇතන්ස් නුවර, නූතන ප‍්‍ර‍්‍රජාතන්ත‍්‍රවාදයේ තිඹිරිගෙය ලෙස සැලකේ. (අතීත ඉන්දියානු රාජධානි සහ වෙනත් තැන්වල එක්තරා ආකාරයක ප‍්‍රජාතන්ත‍්‍රීය සම්ප‍්‍රදායන් තිබුණත්, ඒවා පාලනය කෙරුණේ රජවරුන් විසිනි. ඔවුන් උපදෙස් ලබා ගත්තේ රදළයන්ගෙනි. තීරණ ගැනීමෙහිලා පුරවැසියන් සෘජුව සහභාගී නොවු අතර, ඇතන්ස් නුවරදී මෙන් තමන්ගේ නියෝජිතයන්ව සෘජුව තෝරාපත් කර ගැනීමක් සිදුවුණේද නැත). මේ ඇතන්ස් ආදර්ශය අද මහත් සේ වර්ණනාවට පාත‍්‍ර වෙතත්, එදා ඒ කෙරෙහි ඒ සා ප‍්‍රසාදයක් නොවුණි. මන්ද යත්, ජනතාව විසින් පාලනය හොබවන නිසා, සැහැසි ජනයාගේ අසංවර පාලනයක් බවට එය පත්වීමට තිබූ ඉඩකඩ නිසා ය. මේ ආදර්ශ මාදිලිය ගැන ප්ලේටෝවත්, ඇරිස්ටෝටල්වත් ප‍්‍රසාදයක් දැක්වූයේ නැත. ප්ලේටෝගේ පරමාදර්ශී පාලන මාදිලිය වුණේ, දාර්ශනික රජෙකු විසින් පාලනය හොබවන ආණ්ඩු ක‍්‍රමයකි.

පසු කලෙක, ඇමරිකානු ව්‍යවස්ථා සම්පාදකයන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ මහජන ආවේගයන් විසින් ඇති කැරැවිය හැකි අහිතකර තත්වයන් පාලනය කිරීම සඳහා අවශ්‍ය යාන්ත‍්‍රණයන් ස්ථාපිත කිරීමට පියවර ගත් බව පෙනේ. උදාහරණයක් වශයෙන්, විටින් විට අවස්ථා කිහිපයකදී පැවැත්වෙන මැතිවරණ හරහා වසර හයක කාලයක් සඳහා පත්කර ගන්නා එරට සෙනේට් සභාව (උත්තර මන්ත‍්‍රී මණ්ලය) වනාහී, මහජන අදහස් උදහස් හේතුවෙන් කෙටි කාලීනව ඇති විය හැකි පීලිපැනීම් සකසා ගැනීම අරමුණු කර ගත් යාන්ත‍්‍රණයකි. ලෝකයේ විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වන ඉන්දියාවේ සාර්ථකත්වය රඳා පවතින්නේ, ඉතා ශක්තිමත් ස්වාධීන ආයතන පද්ධතියක ජවය මත ය. විශේෂයෙන් එරට පවතින යෝධ ක‍්‍රියාශීලී අධිකරණය මත ය.

ලෝකයේ කොතැනක හෝ පවතින ස්වාධීන ආයතන, සාමාන්‍යයෙන් ගත් විට, ප‍්‍රභූවාදී ය. එසේම ඒවා ඡන්දයකින් පත්කර ගන්නා ආයතනද නොවේ. එබැවින් එහි සංයුතිය සහ පත්කිරීමේ යාන්ත‍්‍රණය හරහාම, ජනතා ආවේගයන්ට යට නොවී සිටීමේ හැකියාව ඒවාට ලැබේ.

කෙසේ වෙතත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ රටක පුරවැසියන්ට තමන්ගේය යන හිමිකමක් පිළිබඳ හැඟීමක් ලැබේ. එය ඒකාධිපති රටක වැසියන්ට සිහිනයකට පමණක් සීමා වන්නකි. ඡන්දයකින් තේරී පත් නොවන, විදග්ධ පිරිසක් අතේ තිබෙන බලය ආපසු තමන් වෙත පවරා ගැනීමට ඇතැම් විටෙක යම් ජනතාවකට අවශ්‍ය විය හැකිය. පසුගිය දා බි‍්‍රතාන්‍ය වැසියන්ට අවශ්‍ය කෙළේ එයයි. තමන්ගේ රටේ ස්වෛරීත්වය කෙරෙහි අණසක පවත්වතියි ඔවුන් විශ්වාස කළ, ඉතා බලවන්ත යුරෝපා සිවිල් සේවාවෙන් එම බලය තමන් වෙත ආපසු පවරා ගැනීමට බි‍්‍රතාන්‍ය වැසියන්ට අවශ්‍ය විය.

එවැනි හදිසි උද්වේගයන්ට උඩගෙඩි දීමට දේශපාලඥයෝ පෙළඹෙති. සමහර විට, නොදැනුවත් කම නිසා විය හැකිය. බොහෝ විට, දේශපාලනික අවස්ථාවාදී භාවය නිසා ය. හිටපු අගමැතිනි සිරිමා බණ්ඩාරනායක රාජ්‍ය සේවා කොමිසම අහෝසි කළාය. හේතුව, ඡන්දයෙන් පත්වන දේශපාලඥයාගේ අභිමතයන් ඉටු කිරීම, ඡන්දයෙන් තේරී පත්නොවන නිලධාරීන්ගේ වගකීමක් ලෙසින් ඈ සැළකීමයි. ඒ අනුව ඈ ලංකාවේ රාජ්‍ය සේවය දේශපාලනීකරණයට තල්ලූ කෙරෙන මාර්ගය එදා විවර කළාය.

දැන් බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්ට එල්ල වන එක් විවේචනයක් වන්නේ, ටෝරි පක්ෂයේ පසු පෙළ සාමාජිකයන්ගේ සිත් සතුටු කිරීම සඳහා, ජනතාව ඉල්ලා නොසිටි ඡන්දයක් ජනතාව මත පැටවීය යන්නයි. එය තමන්ට ජය ගත හැකි ඡුන්දයකැයි ඔහු සිතීය. එහෙත් ඒ සූදුවෙන් ඔහු පරාජය විය. එම ප‍්‍රතිඵලයේ වගකීම භාර ගනිමින් දැන් ඔහු අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට යන රට, පෙරට වඩා දුර්වල, පෙරට වඩා දුප්පත්, පෙරට වඩා බිඳුණු, බි‍්‍රතාන්‍යයකි.

මේ සිද්ධිය මගේ මතකයට නංවන්නේ, අපේ ඉතිහාසයේ වඩාත් ගොරතර වැරදි ගණනයක් පිළිබඳ තවත් සිද්ධියකටයි. 1956 මහ මැතිවරණයට ඉදිරිපත් වෙමින් එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක, සිංහල එකම රාජ්‍ය භාෂාව කිරීමට පොරොන්දු වුණේය. එය, රටේ ජනතාව ඔහුගෙන් ඉල්ලා සිටි දෙයක් නොවේ. ඔහු කෙළේ, සිංහල බෞද්ධ සුළුතරයකගේ පටු ඉල්ලීමක තැරැව්කාරයෙකු වීමයි. කෙසේ වෙතත්, ඒ ප‍්‍රතිඥාව යථාර්ථයක් කර දුන් විට, ජනතාව ප‍්‍රසාදයෙන් යුතුව එය පිළිගත්හ.

තමාගේ බල කූටෝපායයේ ඇති මැතිවරණමය වාසිය බණ්ඩාරනායක නිවැරදිව ගණනය කළත්, ඊට ඈඳුණු දීර්ඝ කාලීන ප‍්‍රතිවිපාක සහිත වඩාත් පුළුල් චිත‍්‍රය ඔහු සැළකිල්ලට ගත්තේ නැත. සිංහලය රාජ්‍ය භාෂාව කිරීමෙන් සවිබල ගැන්වීමට ඔහු අපේක්ෂා කළ ජනතාව, ඒ සඳහා අත්‍යාවශ්‍ය කොන්දේසියක් වන ආර්ථික බලගැන්වීමට නැතිවම බැරි ඉංග‍්‍රීසියෙන් වියෝ කැරැවීම නිසා, ඇත්තෙන්ම දුබලයන් බවට පත් කෙරුණි. එතැනින් පසු ඇරැඹුණු දශක කිහිපය තුළ, මේ රටේ ලේ හලන නැගිටීම්/කැරලි තුනක්ම ඇති වුණි. බණ්ඩාරනායක විසින් දේශපාලනිකව බලගන්වන ලද මුත්, ආර්ථික වශයෙන් නිර්බල කොට සිටි රැකියා විරහිත දකුණේ තරුණයෝ දෙවරක්ම ආයුධ අතට ගත්හ. අනිත් පැත්තෙන්, බණ්ඩාරනායකගේ ස්වභාෂා පනත නිසා, ආර්ථික වශයෙන් මෙන්ම දේශපාලනික වශයෙන්ද නිර්බලගැන්වූ උතුරේ දෙමළ තරුණයෝ අවුරුදු තිහක නිර්දය සිවිල් යුද්ධයක් දියත් කළහ.

එදාට වඩා අද අප දුප්පත් ය. බිඳී විසිරී ගිය, ඒකාබද්ධතාව නැති සමාජයක් බවට අප පත්ව ඇත. ඊට බොහෝ කොට හේතු වුණේ, බණ්ඩාරනායක කළ ඒ මහා වැරැද්දයි. එම තීරණය නිසා ඇති විය හැකි ප‍්‍රතිවිපාක එදා ජනතාවට දැන ගැනීමේ ක‍්‍රමයක් විණි නම්, කිසි ලෙසකින්වත් බණ්ඩාරනායකගේ එම තීරණයට ජනතා අනුමැතිය නොලැබෙනු ඇත. එසේම, බණ්ඩාරනායකද එහි හදිසි සහ දීර්ඝ කාලීන ප‍්‍රතිවිපාක දැන සිටියේ නම්, අද ඬේවිඞ් කැමරන් මෙන්, ඒ භයානක සූදුවට අත නොගසනු ඇත.

රංග ජයසූරිය

(2016 ජුනි 26 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Brexit & Sinhala Only Limits of Popular Mandate නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)

-  මෙලනි



2016-07-03
Advertisement

Find us on Facebook