English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අද , හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ උපන්දිනයයි!

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ උපන්දිනය අදයි(ජුනි 29). පළමුව අයට සුභ උපන්දිනයක් වේවා යැයි ප්‍රාර්ථනය කරන්නෙමි. ඇය ගැන ලිවීම වැදගත් වන්නේ, අද දින ඇයගේ උපන් දිනය නිසා පමණක් නොව, වත්මන් ආණ්ඩුව බලයේ සිටීමට මූලික හේතුව ඇය විසින් ගෙන ගිය අමිල අරගලය හේතුවෙනි. ඇතැමකුට එය අමතක වී ඇත. තවකෙකු එය බලෙන් යටපත් කිරීමට මාන බලමින් සිටිති. ජයග්‍රහණයට පියවරු රාශියකි, පරාජය අවජාතකය. මෙරට දේශපාලනයේ බොහෝ කතාන්දර ලියවෙන්නේ ඒ අනුවය. මන්ද, රටේ සිටින බොහෝ දෙනෙකුට තම පෞද්ගලික ජීවිතයෙන් ඔබ්බට ගිය සැබෑ වුවමනා නැත. සත්‍යය කුමක්ද යන්න සියල්ලෝම දනිති. එය නොදන්නා බව පෙන්වමින් රඟති. ජනාධිපතිවරයෙන් පසු සහ ඊට දින කිහිපයකට පෙර, සෑම මාධ්‍යක්ම අවදානයට යොමු කළ ඇය, හිටි අඩියේ මාධ්‍යය තුළ නිශ්ප්‍රභාහ කොට ඇත. සුපුරුදු පරිදි බොහොමයක් මාධ්‍යයන් ඇය මේ වන විටත් අමතක කොට තිබේ. හිටපු ජනාධිපතිනිය ගැන පුරෝකථනයක් වත්මන් භූමිකාව තුළ අත්‍යවශය වන්නේ මේ නිසාය.

චන්ද්‍රිකා මහත්මිගේ දේශපාලනය වූ කලී, කියවීමට ඉතා දුෂ්කර නමුත් කියවීමට සහ අවබෝධ කරගැනීමට උත්සහ කළ යුතු චරිතයකි. ඇය, මෙම රට නගා සිටුවීමට සැබෑ වුවමනාවක් තිබෙන චරිතයක් සේම රටේ ගැටලුව ගැන මනා අවබෝධයක් ඇති චරිතයක්ය. එය ඇගේ පවුල් පරිසරය මූලික කොටගෙන පමණක් නොව ඇය ස්වාධීනව තීන්දු තීරණ ගැනීමට යුහු සුළු වූ චරිතයක් නිසා මුවහත් වූ ජීව ගුණයක් විය හැකිය. රටේ සම්ප්‍රදායික සමාජ ධූරාවලිය සහ සමාජ අපිළිවෙල, තම පෞද්ගලික ජීවිතය මට්ටමින් ප්‍රශ්න කිරීමේ සහ ඊට ප්‍රභලව එරෙහිවීමේ සිට රටේ මූලික සංස්ථාවල ඇති රෝග නිධාන හඳුනා ගැනීම දක්වා ඇය ඉතාමත් වැදගත් මෙහෙවරක් සිදු කරනු ලැබුවාය.

විශේෂයෙන්ම, තම පියා වූ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ මූලිකත්වයෙන් නීතිගත කරනු ලැබූ “සිංහල රාජ්‍යය භාෂාව” කිරීම වැනි පනත්, අනුවණ කටයුත්තක් ලෙස විවෘතව පිළිගැනීමට සහ විවේචනය කිරීමට ඇය නොබියව ඉදිරිපත් වූවාය.( සිංහල රාජ්‍යය භාෂාව කිරීම නමැති අදහස 56ට පෙර කාලාන්තරයක් තිස්සේ මෙරට දේශපාලනය තුළ රැව් පිළිරැව් දුන් අදහසක් විය.) එසේම, සමාජ පද්ධතිය තුළ පවතින බොහොමයක් ව්‍යාකූලතා නිවැරදිව හඳුනා ගැනීමට ඇය සමත් වූවාය. මෙහි මූලික ප්‍රතිඵලය ලෙස, ස්වාධීන කොමිසන් සභා බලගැන්වීමට තීන්දු කරනු ලැබුවාය. එය, රටක රාජ්‍යය සංස්ථාව මූලික වගවීමකට සහ විනිව්දභාවයකට නතුකළ හැකි මූලික පියවර වේ.

රටක, පරිපාලන ව්‍යුහය ශක්තිමත් කිරීමටනම්, එම පරිපාලන ව්‍යුහය නීරීක්ෂණය කරන, ප්‍රශ්න කරන, සහ විඝනණයකට ලක්කළ හැකි සහ ලක්කළ යුතු ස්වාධීන මණ්ඩල හෝ කොමිෂන් සභා අත්‍යවශ්‍යය වේ. ඒ සියල්ල, අදාළ විෂය ක්ෂේත්‍රය ගැන මනා දැනුමක් ඇති සහ තම සේවා කාලය තුළ තමන්ගේ මෙන්ම රැකියාවේ ගරුත්වය රැකගෙන සේවය කළ නිලධාරීන්ගෙන් සමන්විත විය යුතු මණ්ඩල වේ. එවිට, තම කොමිසන් සභා හෝ මණ්ඩල වලට ස්වාධීනව කටයුතු කිරීමේ සහ තීන්දු ගැනීමේ බලය මෙන්ම ඥානය ලැබේ. එකල ආරම්භ වූ මෙම ක්‍රමය, ඉදිරියට රැගෙන යෑමට ඊට පසු බලයට පත් වූ අයවලුන් සමත් වූයේ නම්, වර්තමානයේ මුහුණ දෙන බොහොමයක් ගැටලු ඇති නොවීමට ඉඩ තිබුණි.

ඇයගේ ජනාධිපති ධූරකාලය සර්ව සම්පූරණ ලෙස නිවැරදිව කටයුතු කළ කලාවකවානුවක් ලෙස සඳහන් කිරීමට මෙහිදී මා උත්සහ ගන්නේ නැත. එහි වැරදුනු සහ වරද්දාගත් තැන් බොහෝය. ස්වාධීන කොමිෂන් සභා බලගන්වමින් රටට අතවශ්‍යය ස්වාධීන රාජ්‍යය පරිපාලන ව්‍යුහයක් තැනීමේ වුවමනාවක් තිබුණද, ප්‍රායෝගික තලය තුළ ඇයට මුහුණ දීමට සිදු වූ කටුක යතාර්ථය වෙනස් විය. විශේෂයෙන් අධිකරණයේ ස්වාධීනත්වය, නිදහස් සහ සාදාරණ මැතිවරණ පැවැත්වීම, රටේ ආරක්ෂක අංශ සහ හමුදාවන් අතර ඇති වූ ප්‍රභල අර්බුද මෙන්ම උතුරු නැගෙනහිර පැවති යුද්ධය බොහෝ දෑවල නීරස පැතිකඩ නියෝජනය කළේය. එම තත්වය, එක්සත් ජාතික පක්ෂය තම කැබිනට් මණ්ඩලය ලෙස තබාගෙන පරිපාලනමය කටයුතු සිදුකරන අවස්ථාවේදී තව දුරටත් ව්‍යාකූල විය. එහි ප්‍රතිඵලය වූයේ ඇය එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ඝාතන ඉලක්කයක් බවට පත් වීමය.

නමුත් ඇගේ නායකත්වයෙන් පසු ඉතා හෙමින් නිවැරදි වෙමින් තිබූ ට රාජ්‍යය පරිපාලනය බොහොමයක් සිදුවීම් ඔස්සේ මූලික පරිපාලන මූලධර්ම වෙනුවට මීළඟ මැතිවරණ ඉලක්ක කර ගැනීම සහ තම පෞද්ගලික බලය වැඩි කර ගැනීම සම්බන්ධයෙන් පමණක් සැලකිල්ල යොමු කළහ. එය වඩාත් තියුණු කිරීමට යුද්ධයෙන් පසු උදා වූ තත්වය හේතු විය. එය, කළ දුටු තැන වල ඉහ ගන්නා අයවලුන්ට පහල වූ කදිම නිධානයක් විය. පෙරේතයින්ට පල්ලමක් විය. බහිරවයින්ට දොළ පිදේණියක් විය. ඇතැමෙකු කිසිදා පරාජය නොවේ යැයි සිතා කයටුතු කළහ. තවකෙකු, නායකත්වයේ පෞද්ගලික ආශාවන්ට සරිලන දේ ඉටුකරමින් තම පැවැත්ම තහවුරු කර ගනු ලැබුවෝය. එහි කෙළවර වූයේ, මෙරට ප්‍රථම විධායක ජනාධිපතිනි නියෝජනය කළ දේශපාලන පක්ෂය විසින්ම ඇයගේ ඉතිහාසය මකා දැමීමට උත්සහ කිරීමය.

එය මනාව කියවීමට සමත් වූ චන්ද්‍රිකා මහත්මිය, තමන්ගේ මීළඟ පියවර මහත් අවබෝධයෙන් සැලසුම් කරනු ලැබුවාය. එය හුදු පෞද්ගලික කෝන්තරයක් පිරිමසා ගැනීමට නොව රටේ පොදු කාරණයක් අරඹයා නාභිගත කරනු ලැබුවාය. එහි, ප්‍රතිඵලය වත්මන් ආණ්ඩුවයි. උග්‍ර මර්දනයක් යටතේ නොයෙකුත් තාඩන පීඩන වලට ලක්වෙමින්, වෙනස් කිරීමට අවශ්‍යය ස්ථානය සහ වේලාව, ඒ සඳහා අවශ්‍යය පුද්ගලයින් මහත් අවබෝධයකින් තෝරාගැනීමට ඇය සමත් වූවාය. ඊට, මෙරට බෞද්ධ පන්සල නියෝජනය කළ, මාදුළුවාවේ සෝභිත වැනි හිමිවරුන් මෙන්ම නම් හෙළිකිරීම අදටත් ප්‍රතික්‍ෂේප කරන මුස්ලිම් සහ දෙමළ බුද්ධිමතුන් රාශියක් අනුග්‍රහය දක්වනු ලැබූහ.

ආරම්භයේදී හුදෙකලා සටනක් වූ එය, බොහෝ දෙනෙකුගේ සමච්චලයට ලක් වූ කාරණයක් පමණක් විය. නමුත් ඇගේ අරගලය ජාත්‍යන්තර දේශපාලන කාරණා හමුවේ අතිශය තීරණාත්මක ලෙස බලපෑ සාධයක් විය. ඉන් පසු, පැවති පරිපාලනය ධූරයෙන් පහකරන තෙක්, ඇය තම අරගලය වඩාත් තීක්ෂණව ඉදිරියට රැගෙන ගියාය. මෙහි ඇති වඩාත් ආකර්ෂණීය කාරණය හඳුනා ගැනීම වැදගත් වේ. එනම්, දේශපාලන ව්‍යාපාරයක තමන් නියෝජනය කළයුතු ස්ථානය, මෙහෙයවිය යුතු ආකාරය නිවැරදිව හඳුනා ගැනීමට ඇය සමත් වීමය. එය මෙරට බොහෝ දේශපාලනඥයින්ට ආගන්තුක ලක්ෂණයකි. මෙම සන්දර්භය හමුවේ, සැබෑ චන්ද්‍රිකා කියවීම සහ ඇය තේරුම්ගෙන ඇයගේ අපේක්ෂාවන් රටේ පරිපාලන මූලධර්ම වලට යොදා ගැනීමට විශාල කාලයක් ගතවනු ඇත.

නමුත්, මෙරට සැබෑ රාජ්‍යය ප්‍රතිව්‍යුහගතකරණයකට යොමු වීමට කිසිවෙකු හෝ අපේක්ෂා කරන්නේ නම්, තම පෞද්ගලික කුහකකම් පැත්තකින් තබා, නිදහසේ සහ නිරවුල්ව චන්ද්‍රිකා නමැති දේශපාලන සාධකය කියවීම අත්‍යවශ්‍යය කාරණයක් යැයි සිතේ. ඇය වූ කලී, සංකීරණ නමුත්, නිවැරදිව කියවියයුතු අවබෝධ කර ගැනීමට උත්සහ කළයුතු, මූලික සහ අත්‍යවශ්‍යය දේශපාලන සංසිද්ධියකි. ඇය ගැන ලිය වී ඇති කැලෑ පත්තර පන්නයේ විවේචන හැරෙන්නට, විචාරාත්මක විමසීම් මෙරටට අහිමිවීම සැබවින්ම කණගාටුදායක කාරණයකි. නමුත්, ඒ සඳහා අත්‍යවශ්‍යය කාලය උදා වී තිබේ.

                                          - නිලන්ත ඉලංගමුව

උපුටා ගැනීම - විකල්ප

-  මෙලනි 



2016-06-30
Advertisement

Find us on Facebook