English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


තොරතුරු දැන ගැනීමේ අයිතිය: පියවර නිවැරදියි, එහෙත් ගමන දුරයි ...

යුරෝපා සංගමය තුළ බි‍්‍රතාන්‍ය රැඳෙන්නේද නැත්ද යන්න සම්බන්ධයෙන් එරට පැවැත්වෙන ජනමත විචාරණය කෙරෙහි ලෝක අවධානය යොමුව තිබෙන අතරේ, ශ‍්‍රීලංකාවේත් අද ඓතිහාසික පිටුවක් පෙරැලෙන්නේය. ඒ වූ කලී, බොහෝ කාලයක් තිස්සේ බලා සිටි සහ නැවත නැවතත් පමා කරන ලද ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ පිළිබඳ පනත් කෙටුම්පත (23)  පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමයි. ඒ වෙනුවෙන් පාර්ලිිමේන්තුව හෙට ඒකමතිකව ‘ඔව්’ යනුවෙන් පිළිතුරු දෙනු ඇතැයි, ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක
කීවේය.

කීර්තිමත් නීතිඥ ජයම්පති වික‍්‍රමරත්නගේ සභාපතිත්වය යටතේ පිහිටුවන ලද කමිටුවක් මගින් යාවත්කාලීන කොට ඔප් නංවන ලද එම කෙටුම්පත, මහජන අරමුදල් සහ ඊට අදාළ වෙනත් කරුණු සම්බන්ධයෙන් වන අවංක භාවය සහ සුපිළිපන් භාවයත්, වගවීම සහ පාරදෘෂ්‍ය භාවයත් පවත්වා ගැනීම අරභයා වන වඩාත් පුළුල් දැක්මක් කෙරෙහි තැබූ වැදගත් පියවරක් වශයෙන් බොහෝ දෙනා දකිති. මෙය කරලියට පැමිණෙන්නේ, ඩොලර් බිලියන 20 කට අධික යෝධ ධනස්කන්ධයක්, ගත වූ දශකයේ ඉහළ පෙළේ දේශපාලඥයන් සහ නිලධාරීන් විසින් කොල්ලකන ලද බවට සහ රටින් පන්නනු ලැබ ඇති බවට චෝදනා නැගෙන පසුබිමේ ය.

බොහෝ විශ්ලේෂකයන්ට අනුව, ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ පිළිබඳ පනත් කෙටුම්පත, පොදුවේ ගත් විට, යහපත් එකක් වන මුත්, ක‍්‍රියාත්මක කිරීමේදී සහ අභ්‍යාස කිරීමේදී එය මීට වඩා ක‍්‍රමවත් සහ වැඩි දියුණු විය යුතුව තිබේ. බොහෝ රටවල්වලට කලින්, එනම් මීට අවුරුදු 85 කට කලින් අප සර්වජන ඡන්ද බලය ලබා ඇතත්, ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ ලබා ඇති ලෝකයේ රටවල් අතරින් අප 110 වැන්නා වීම අවාසනාවකි. මේ පිළිබඳ කෙටුම්පතක් අප මුල් වරට ඉදිරිපත් කොට දැන් අවුරුදු 13 ක් වන්නේය. එහෙත් එය මෙසේ අප නීතිගත කර ගන්නේ, දකුණු ආසියානු කලාපයේ අවසාන රට වශයෙනි. පැවති රජය, නීතියේ ආධිපත්‍යය කඩා ඉහිරවන ආකාරයන් කටයුතු කිරීමත්, තොරතුරු දැන ගැනීමට හෝ අදහස් ප‍්‍රකාශ කිරීමට ඇති අයිතිය ඉල්ලා සිටි අයවළුන් ඝාතනය කරනු ලැබීම, තුවාල කරනු ලැබීම හෝ පැහැරගෙන යනු ලැබීමත් නිසා මෙය මෙතරම් පමා විණැයි කිව හැක.

මේ නීතිය පිළිබඳ නිදසුන් සහ ආදර්ශ මාදිලි  ඕනෑතරම් තිබේ. උදාහරණයක් වශයෙන් අපේ අසල්වැසි ඉන්දියාවේ 2015 දී ඇති කර ගත් ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ පිළිබඳ නීතිය ඉතා බලසම්පන්නව එරටේ ක‍්‍රියාත්මක වෙයි. එය සාර්ථක කර ගැනීම සඳහා සටන් කෙළේ සහ පෙරමුණ ගත්තේ, එරට සිවිල් සමාජ ක‍්‍රියාකාරීත්වයට නායකත්වය සැපයූ, ‘මැග්සේසේ’ සම්මානලාභී අර්වින්ද කෙජ්රිවාල් ය. සාමකාමී ජනතා බලය කුළුගැන්වුණු ලංකාවේ ජනවාරි 8 විප්ලවය තුළත් සිවිල් සමාජ ක‍්‍රියාකාරීත්වය වැදගත් ස්ථානයක් ගත්තේය.

යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය අරභයා ජාතික සමගි ආණ්ඩුව නිර්ව්‍යාජව කැපවන තැනට වගබලා ගැනීමත් දැන් ඒ සිවිල් සමාජ ක‍්‍රියාකාරීත්වය වෙත පැවරෙන වගකීමකි.

පසුගිය දා පැවති ඒකාබද්ධ රැස්වීමකදී මේ සිවිල් සමාජ සංවිධාන බොහොමයක්, වර්තමාන ආණ්ඩුවේ ප‍්‍රධාන පෙලේ ප‍්‍රතිඥා සාධනයේ මන්දගාමී ස්වරූපය ගැන කණස්සල්ල පළ කළ අතර, යුක්තිගරුක සහ සාධාරණ සමාජයක් තුළ ජනතා අභිිලාෂයන් මුදුන්පත් කර ගන්නා තෙක් තමන් නොපසුබටව ඉදිරියටත් හඬ නගන බවට සහ ක‍්‍රියා කරන බවට සපථ කොට සිටියහ.

ජනතා බලය කුළුගැන්වුණු එකී විප්ලවයට ඉදිරියටත් නායකත්වය සපයන ලෙසත්, තිරසාර සහ පරිසර හිතකාමී සකල සංයුක්ත සංවර්ධන මූලෝපායක් සහිත සාධාරණ සමාජයක් ස්ථාපිත කර ගැනීමටත් පෙරමුණ ගන්නා ලෙස, ‘ඬේලි මිරර් පුවත්පත ද එම සිවිල් සංවිධානවලින් මේ අවස්ථාවේ ඉල්ලා සිටී.

යෝජිත ‘තොරතුරු කොමිසම’, සර්ව පාක්ෂික ව්‍යවස්ථා සභාවේ’ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබුවද, තොරතුරු දැන ගැනීමේ නීතියේ විධිවිධාන ක‍්‍රියාත්මක කිරීමට තරම් වන දණ්ඩන බලතල එකී කොමිසමට පවරා නැති බව, මේ පිළිබඳ විවේචකයෝ පෙන්වා දෙති. එහෙත් ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව, සිර දඬුවම් හෝ දඩ ගැසීම් වැනි බලයක් ඇත්තේ නෛතික අධිකරණවලට පමණක් බව අමතක නොකළ යුතුය. කෙසේ වෙතත්, යෝජිත නව ව්‍යවස්ථාව තුළ මෙය නිවැරදි කර ගත හැකි බවට විශ්වාසයක් සිවිල් සමාජ ව්‍යාපාර තුළ තිබේ. එසේ වතුදු, නව නීතිය තුළ, යම් තොරතුරක් ලබා ගැනීමේ අයිතියෙන් පිටමං කරනු ලබන  ඕනෑම කෙනෙකුට අධිකරණය ඉදිරියට යා හැකි වන අතර, රාජ්‍ය අංශයේ චූදිත නිලධාරියා හෝ නිලධාරිනිය එම තොරතුරු නොදී සිටීම සම්බන්ධයෙන් වැරදිකරු වුවහොත්, ඔහුව හෝ ඇයව අධිකරණය මගින් සිර දඬුවමකට හෝ දඩයකට යටත් කළ හැකිය. තවද, ද්වි-පාර්ශවීය සහ බහු-පාර්ශවීය ගනුදෙනුවලට අදාළ රාජ්‍ය ගිවිසුම් සම්බන්ධයෙන් මේ පනතේ සඳහන් රහස්‍ය භාවය ආරක්ෂා කිරීම පිළිබඳ ව්‍යතිරේක වගන්ති සංශෝධනය විය යුතු බවත් ඇතැම් විවේචකයෝ පෙන්වා දෙති. ඉන්දියාව සමග ඇති කර ගැනීමට යෝජිත ‘එට්කා’ ගිවිසුම’ වැනි අවස්ථා ඊට උදාහරණ වශයෙන් ඔවුහූ ගෙනහැර දක්වති.

අඩුපාඩුකම් සහ නුගුණ කෙසේ වෙතත්, ශ‍්‍රී ලංකාව සාධාරණ සමාජයක් කරා වන යහපත් හෙට දවසක් වෙතට මේ මගින් වැදගත් පියවරක් තබන බව කිව හැකිය. තොරතුරු දැන ගැනීම හරහා ජනතාවට අවදියෙන් සිටිය හැකි අතර, නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා එම අයිතිය ඔස්සේ ශක්තිමත් බලවේගයක් බවට පත්විය හැකි වන්නේය.

(2016 ජුනි 23 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ RTI: The Right Step but A Long Way to Go නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි. )

-    මෙලනි




2016-06-26
Advertisement

Find us on Facebook