English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජිනීවා: ශ්‍රී ලංකාවේ මානව හිමිකම් යළි කරළියට

2015 ජනවාරි විප්ලවය විසින් උදා කරන ලද ඉතිහාසීය අවස්ථාව දුර්වල වෙමින් තිබෙන බවට එම පෙරළියට දායක වූ බොහෝ පිරිස්වලට දැන් ප්‍රසිද්ධියේම කියන්නට සිදු වී තිබේ. එසේ ප්‍රසිද්ධියේ කියන්නට සිදුව ඇත්තේ ආණ්ඩුවේ ප්‍රධානීන් දෙදෙනා වන ජනාධිපති සහ අගමැති සමඟ කරන ලද සාකච්ජාවලින් අපේක්ෂිත ප්‍රතිපල ලැබී නැති නිසා ය. ආණ්ඩුවේ කොටස්කරුවන් නොවන එහෙත් ජනවාරි පෙරළියට දායක වූ දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ පිරිස් විසින් මාස ගණනාවක් පුරා ඉදිරිපත් කරන ලද සාධනීය විවේනයන්ට ආණ්ඩුව සවන් දී ඇති පාටක් නොපෙනේ.

ජනාධිපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහ දූෂණ විරෝධී ක්‍රියා පිළිවෙතට මන්දගාමී කර ඇති බවට කොළඹ සිවිල් සමාජය චෝදනා කැරන අතර දෙමළ සිවිල් සමාජ පිරිස් චෝදනා කරන්නේ පිළිගත හැකි දේශපාලන විසඳුමක් ඇති කිරීමට සහ යුද සමයේ සිදු කෙරුණූ අපරාධ සම්බන්දයෙන් නිසි පියවර ගැනීමට ආණ්ඩුව මැළිකමක් දක්වන බවයි.

කොළඹ සිවිල් සමාජ පිරිස් කියන්නේ ආණ්ඩුව අපේක්ෂිත පරිදි ඉදිරියට නොයන්නේ රට ගැන සිතනු වෙනුවට සිය පක්ෂ ගොඩ නගා ගැනිම අවධාරණය කරමින් නායක දෙපළ කල් ගත කරන නිසා බවය. දෙමළ සිවිල් සමාජ පිරිස් කියන්නේ සිංහල ආණ්ඩු පසුගිය 60 වසර පුරා කළපරිදි මෙවරත් දෙමළ ජනයා රවටමින් සිටින බවය.

ශ්‍රී ලංකාව තුළ මෙම සංවාදය ප්‍රසිද්ධයට පැමිණ ඇත්තේ ඉතා යෝග්‍ය අවස්ථාවකදීය. එනම් ජිනීවාහි මුළුදෙන මානව හිමිකම් කවුන්සිලයේ 32වන සැසිවාරය අතරතුරවීමය. මෙම මස 29දා මානම් හිමිකම් මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් විසින් ජිනීවා යෝජනාවට අදාළව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රගතිය ගැන වාචික වාර්තාවක් ඉදිරිපත් කරනු ඇත.

මානව හිමිකම් සම්බන්ධයෙන් දෙමළ සන්ධානයේ ප්‍රකාශකයා වන පා.ම. සුමන්දිරන් පසුගියදා ජීනිවා නගරයට පැමිණියේද මෙම 32වන සැසිවාරය පිණිසය. ඔහු මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධාන පෙළේ තානාපතිවරුන් හමු වූ බව වාර්තා වේ. පසුගිය මාස දෙක තුනක කාලය පුරා ආණ්ඩුව කෙරෙහි දෙමළ සන්ධානය වඩ වඩා විවේචනාත්මක ස්ථාවරයකට මාරු වනු දක්නට ලැබුණි. ඊට හේතු සාධාරණය. මන්ද යත් දෙමළ ජනතාව සම්බන්ධයෙන් ආණ්ඩුව දුන් පොරොන්දු විශාල වශයෙන් කඩ කර ඇති නිසාය. මෙවර මානව හිමිකම් කවුන්සිලයේ අතුරු සාකච්ජාවන්හි මාතෘකා බවට පත්ව ඇත්තේ කොලඹ කතා කැරෙන දූෂණ විරෝධය නොව මූලික වශයෙන්ම දෙමළ ජනයාගේ මානව හිමිකම් ප්‍රශ්ණ සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන ඈලිමෑලි දුබලතාවයයි.

එක් උදාහරණයක් නම් 2015 දෙසැම්බර් 20 දා යාපනයට ගොස් එහි විසි පස්වසරක් විතැන්ව සිටින ජනයාගේ මුල් ඉඩම් මාස හයකදි ලබා දෙන බවට ජනධිපති සිරිසේන ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයයි. එය මහත් ප්‍රසිද්ධයට පැමුණුනි. එම මාස හය පිරෙන්නට දින කිහිපයක් තිබියදී දොරේඅප්පා ක්‍රීඩාංගනය විවෘත කිරීමට යාපනයට ගිය ජනාධිපතිවරයා සිය ඉඩම් ලබා දීම ගැන ප්‍රකාශයක් කරනු ඇතැයි එහි ජනයා බලාපොරොත්තු වූහ. ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් කිසිවක් නොකීවා පමණක් නොව මාස හය ගෙවුණු පසුගිය 20දා හෝ කිසිවක් කීවේ ද නැත. අඩුම වශයෙන් එම ඉඩම් ලබා දෙන්නේ කවදා ද කියා සඳහනක්වත් ජනාධිපති කාර්යාලයෙන් නිවේදනය වූයේ නැත. මේ එක් උදාහරණයක් පමණි.

උතුරු පළාතෙහි දෙමළ ජනයාගේ එදිනෙදා ජීවිතයට යුද හමුදා මැදිහත්වීම තවමත් නතර වී නැත. යුද හමුදාව උතුරෙහි බෞද්ධ විහාර ඉදි කරන අතර ජාතිවාදී සිංහල රාවය සංවිධානය සමඟ එක්ව සිංහල ජනපදක් ඇති කර තිබේ. දෙමළ ජනයාගේ අක්කර 20,000කට වැඩි ප්‍රමාණයක් තවමත් යුද හමුදාව අල්ලා ගෙන සිටී. එමෙන්ම එම පෙදෙස්හි මානව හිමිකම් ක්‍රියාධරයින් බිය ගන්වන සෝදිසි සහ ප්‍රශ්ණ කිරීම් ද යම් දුරකට තවමත් පවතී.

බලයට පැමිණ මාස 18ක් ගත වී ඇතත් පොරොන්දු වූ පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට ආණ්ඩුව අසමත් වී ඇති අතර දෙමළ දේශපාලන රුඳවියන් පිළිබඳ ප්‍රශ්ණය පසු පසට දමා තිබේ.

කණගාටුවකට මෙන් කොළඹ සිවිල් සමාජ පිරිස් මෙම ප්‍රශ්ණ ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ නැත. ඔවුන්ගේ මූලික ප්‍රශ්ණය බවට පත්ව ඇත්තේ රාජපක්ෂ සමයේ සිදුවූ සහ යළි සිදුවන බව පෙනෙන දූෂණ සහ වංචා පිළිබඳ ප්‍රශ්ණයයි.

මෙවර මානව හිමිකම් සැසිවාරයට සහභාගිවීමට ශ්‍රී ලංකාවේ සහ ඩයස්පොරාවේ දෙමළ පිරිස් බොහෝ පැමිණ සිටිති. ඒ සියල්ලන්ටම යළි යළි කීමට ඇති තරම් දුක්ගැනවිලි තිබේ.

ජනවාරි පෙරළියෙන් පසු පිහිටැවුණූ ආණ්ඩුව සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිවාරයක් දක්වන ලද එකම දෙමළ ඩයස්පොරා සංවිධානය වූ ලෝක දෙමළ සංසදය පවා මෙම 32වන සැසිවාරය ඉලල්ක කර නිකුත් කරන ලද නිවේදනයකින් කියා සිටියේ මානව හිමිකම් කවුන්සිලය දිගටම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බවය‍. තවද දෙමළ ජනයාගේ ප්‍රශ්ණ සම්බන්ධයෙන් ප්‍රමාණවත් ඉදිරි පියවර නොගැනීම සම්බන්ධයෙන් එය සිය කණගාටුවද පළ කළේය.

රාජපක්ෂ සමයෙහි මෙරට සියළු ජනයාගේ මානව හිමිකම් වෙනුවෙන් තිරසාර ලෙස පෙනී සිටි අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන හයක් මහ කොමසාරිස් සෙයිඩ්ට විවෘත ලිපියක් ලියමින් කියා සිටියේ ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසු මතු කළ කරුණු පවා ශ්‍රී ලංකාන්ඩුව ක්‍රියාවට නඟා නැති බවය‍. තත්වය දිගටම මෙළෙස පැවතුන හොත් 2017 මාර්තු වන විට ශ්‍රී ලංකාව සම්බන්ධ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියා මාර්ගය කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටෙනු ඇතැයි ද එම ලිපිය පෙන්වා දී තිබුණි.

2017 මාර්තු මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයෙහිදී ශ්‍රී ලංකාව සම්බන්ධ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 දරන යෝජනාව ක්‍රියාත්මක වි තිබෙන අන්දම ගැන සවිස්තර වාර්තාවක් ඉදිරිපත් වනු ඇත. තීරණාත්මක කඩ ඉම වනු ඇත්තේ එයයි.

ශ්‍රී ලංකාණ්ඩුවේ මානව හිමිකම් පිළිවෙතෙහි අක්‍රමවත් සහ මන්දගාමී ස්වභාවය විවේචනයට ලක් කරන අතරවාරයෙහි ඉහත කී සංවිධාන ජනවාරි පෙරළියෙන් පසු ඇතිව තිබෙන සාධනීය වෙනස්කම් අගැයීමට ලක් කර තිබුණි.

එසේ නමුත් ජනවාරි වෙනස අතිශය ලුහුකොට පෙන්වන සිවිල් සමාජ පිරිස්ද සිටිති. ඔවුන් විසින් මෙම 32වන සැසිවාරය ඉලක්ක කොට නිකුත් කරන ලද ප්‍රකාශයක කියන්නේ ශ්‍රී ලංකාවේ අද ඇත්තේ පටු අවකාශයක් බවයි. එයද ඉක්මනින් අහෝසිවනු ඇතැයි එය අනාවැකියක්ද පළ කර තිබේ. අද මෙරට උදාවී ඇත්තේ ඉතිහාසීය අවස්ථාවක් බවත් එම අවස්ථාව පැහැර නොහැර ඉදිරියට ගෙන යායුතු බවත් එම පිරිස් සිතන්නේ නැත. ඔවුන් ඇත්ත වශයෙන්ම නම් ‘ලෝක විනාශ අනාවැකිකරුවන්ය’.

ඊළාම්වාදී ඩයස්පෝරා කණ්ඩායම් දරන්නේ ද එවැනිම අදහසකි. ඔවුන් සතු අතිශය විශාල සම්පත් මගින් ලොව ප්‍රසිද්ධ පිරිස් ජිනීවා නගරයට කැඳවා විවිධ සාකච්ජා සභා මේ දිනවල පැවැත්වෙයි. එය ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතියකි. ආණ්ඩුවේ මන්දගාමී මානව හිමිකම් පිළිවෙත හමුවෙහි ශක්තිමත් වන්නේ ‘ලෝක විනාශ සිවිල් සමාජ අනාවැකිකරුවන්’ සහ එවැනි බෙදුම්වාදී පිරිස්ය.

සියළු දෙනා දැන් ඇස් ගසාගෙන සිටින්නේ මහ කොමසාරිස් සෙයිඩ්ගේ වාර්තාව එනතුරුය. එම වාචික වාර්තාව නියමිත 29වන අගහරුවාදාට පෙරදා එනම් 28 වන සඳුදා විදේශ අමාත්‍ය මංගල සමරවීර සහභාගිවන සමාන්තර රුස්වීමක් ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සංවිධානය කර තිබේ. එයද සැහෙන උනන්දුවක් ජනනය කරනු නොඅනුමානය.

  සුනන්ද දේශප්‍රිය


-  මෙලනි 





2016-06-26
Advertisement

Find us on Facebook