English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අලුත් ‘වධහිංසා වාර්තාව’ හැදුවෙත් පරණ ආණ්ඩුවේ අයමද? – පිලිප් දිසානායක
2015 ජනවාරි 08 මේ රටේ සියලු‍ම ජාතීන් එකට එකතු වී නව ආණ්ඩුවක් ගෙන ආවේ බොහෝ වෙනස්කම් බලාපොරොත්තුවෙන්. නමුත් අපි බලාපොරොත්තු වූ වෙනස තවම පෙනෙන්න නැහැ. රාජ්‍ය ආයතන හා නිලධාරීන් තවමත් ක්‍රියාකරන්නේ පැරණි ආකාරයටමයි. ඔවුන්ගේ ක්‍රියාමාර්ග හෝ ආකල්ප තවම වෙනස් වෙලා නැහැ.

අපරාධ මැඩලීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ යුතු පොලිසියේ ක්‍රියාකාරීත්වයේ පැහැදිලි වෙනසක් තවම පෙනෙන්න නැහැ. අපරාධ පරීක්ෂණ මන්දගාමියි. තොරතුරු ලබා ගැනීම සදහා සැකකරුවන්ට පහරදීම් තවමත් බොහෝ පොලිස් ස්ථානයන්හි සිද්ධ වෙනවා. සැකකරුවන් වෙත බොරු නඩු පැවරීම් පෙර පරිදිමයි. මෙවර වධහිංසාවට පාත්‍රවූවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනයේ දී මෙන්න මේ පිළිබදව යම් සංවාදයක් ගොඩනැගීමට අපි බලාපොරොත්තු වෙනවා.

වධහිංසාවට එරෙහි සම්මුතියට අත්සන් කර ඇති ලංකාවත් එහි පාර්ශ්වකාරයෙක්. අවුරුදු 4කට වරක් සෑම රටක්ම ඒ රටේ වධහිංසාව වැලැක්වීම සදහා ගෙන ඇති ක්‍රියා මාර්ගයන් හි ප්‍රගතිය පිළිබදව වාර්තාවක් එක්සත් ජාතීන්ගේ  වධහිංසාවට එරෙහි කමිටුව වෙත  ඉදිරිපත් කළ යුතුයි. මේ නොවැම්බර් මාසයේ දී ජීනීවා නුවරදි රැස්වෙන කමිටුව ලංකාවේ වාර්තාව සමාලෝචනය කරනවා. රජය දැනටමත් තම වාර්තාව  එම කමිටුව වෙත ඉදිරිපත් කර තිබෙනවා.

2DDFE0FC00000578-3293493-image-a-30_1446045987862

වධහිංසාවට එරෙහි කමිටුව විසින් තම සමාලෝචනය අවසානයේදී ලංකාවේ වධහිංසාව වැලැක්වීම ඇතුලු‍ මානව හිමිකම් ආරක්ෂා කිරීම සදහා ගත යුතු ක්‍රියා මාර්ග සදහන් නිර්දේශ මාලාවක් රජය වෙත ඉදිරිපත් කරනු ලබනවා. එසේ 2011 වසරේ දී රජය වෙත ඉදිරිපත් කළ නිර්දේශ කොපමණ ප්‍රමාණයක් ඉටුකර තිබේ ද යන්න රජය විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තාවේ සඳහන් කල යුතුයි. නමුත් එය සැලකිල්ලට ගත් බවක් නම් රජය ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ පෙනෙන්නට නැහැ.

මෙම කමිටුව වෙත රජයන්ට අමතරව සිවිල් සංවිධාන හෝ පුද්ගලයන්ට පවා ඡායා වාර්තා ගොනු කළ හැකියි. 2011 වසරේ දී පැවැති කමිටුවට අප සංවිධානය තවත් සංවිධාන 09 ක් හා එක්ව ඡායා වාර්තාවක් එම කමිටුවට වෙත ඉදිරිපත් කළා. එදා රජය විසින් ඉදිරිපත් කර තිබූ වාර්තාව විවේචනය කරමින් සුනන්ද දේශප්‍රිය, බ්‍රිටෝ ප්‍රනාන්දු හා මා ලංකාවේ සිවිල් සංවිධාන නියෝජනය කරමින් එම කමිටුවට කරුණු ඉදිරිපත් කළා. එම වසරේ දී රජය නියෝජනය කරමින් මෙම කමිටුව සහභාගී වූ හිටපු නීතිපති මොහාන් පීරිස් ඇතුලු‍ කණ්ඩායම එම කමිටුව හෑල්ලු‍වට ලක්කරමින් ලංකාවේ වධහිංසාව හා මානව හිමිකම් තත්ත්වය පිළිබදව අමූලික බොරු ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේ දී අපට කරණු දැක්වීමට කාලයක් ලබා නොදුන් නිසා මොහාන් පීරිස්ගේ ඒ කෙප්ප අසා සිටින්නට සිදු වුනා. “මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වී නොමැති බවත් විදේශ රටක දේශපාලන රැකවරණ ලබා ජීවත්වන බවත්”‍ මොහාන් පීරිස් ප්‍රකාශ කලේ මෙම කමිටුවේදී තමයි. එම ප්‍රකාශය මත මොහාන් පීරිස් සාක්ෂිකරුවෙකු වශයෙන් අධිකරණයට කැඳවූ විට ඔහු කිව්වෙ ආරක්ෂක අංශ එසේ පැවසූ නිසා ජිනීවාහි වධහිංසාවට එරෙහි කමිටුවේ දී එසේ ප්‍රකාශ කළ බවයි. ප්‍රගීත් එක්නැලිගොඩ ඉන්න තැන දන්නෙ “දෙවියන් පමනක්”‍ බව ඔහු අධිකරණයට කිව්වා. මේ වගේ පැරණි අත්දැකීම් සැලකිල්ල ගනිමින් වගකීමෙන් කටයුතු කරන නිලධාරීන් මෙවර කමිටුවට යැවීමට නව රජය කටයුතු කළ යුතුයි.

GettyImages-492877202-640x480

කෙසේ, වෙතත් මෙවරත් රජය විසින් මෙම කමිටුව ඉදිරිපත් කර ඇති වාර්තාව අපිට කිසිසේත් පිළිගත නොහැකියි. සිවිල් සමාජය සමඟ ඉතා සමීපව කටයුතු කළ නව රජය මෙම වාර්තාව සැකසීමේ දී කිසිම සිවිල් සමාජ නියෝජිතයෙකු ගේ අදහස් ලබා ගැනීමක් සිදු කර නැහැ. වැඩි එකක් තබා මෙම වාර්තාව සැකසීමේ දී අනිවාර්යෙන් සම්බන්ධ කළ යුතු ආයතන දෙකක් වන ජාතික පොලිස් කොමිෂන් සභාව හා මානව හිමිකම් කොමිසන් සභාවෙන් කිසිම කරුණු විමසීමක් සිදු කර නැහැ. ඒ නිසා මෙම වාර්තාව පැරණි රජය යටතේ සිටි නිලධාරීන් විසින් තනි මතයට සිදු කළ ලියවිල්ලක් ලෙසයි අපි දකින්නෙ.

දැනටමත් මෙම වාර්තාවේ අඩංගු කරුණු පසුගිය මැයි මාසයේ ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ වධහිංසා එරෙහි විශේෂ වාර්තාකරු ජුවාන් මෙන්දෙස් මහතා විසින් වක්‍ර ආකාරයෙන් ප්‍රතික්ෂේප කර තිබුනා. මෙවර රජය වාර්තාව අනුව වධහිංසා කිරීමේ විශාල අඩුවීමක් පෙන්නුම් කර තිබුනත් ලංකාවේ වධහිංසා සිදු වීම් තවමත් සිදු වන බවත් එහි අඩුවීමක් සිදු නොමැති බවත් ඔහු ප්‍රකාශ කර තිබුනා.

මෙම තත්ත්වයන් යටතේ ලංකාවේ වදහිංසාව ඇතුලු‍ මානව හිමිකම් කඩවීම් පිළිබදව පැහැදිලි කෙරෙන සවිස්තරාත්මක ඡායා වාර්තාවක් වධහිංසාවට එරෙහි කමිටුව වෙත ඉදිරිපත් කරනවා. මේ සම්බන්ධව ලංකාවේ ප්‍රධාන පෙළේ මානව හිමිකම් සංවිධාන විස්සක් පමණ සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත් වුවා. දැන් කමිටුවක් විසින් මෙම වාර්තාව සැකසීම කරගෙන යනවා.

මෙම වාර්තාව වධහිංසාවට එරෙහි කමිටුවට ඉදිරිපත් කරන්න ප්‍රථම රජය වෙතත් නිල වශයෙන් ඉදිරිපත් කරන්නට අප බලාපොරොත්තු වෙනවා. එමෙන්ම අප ඉදිරිපත් කරන විකල්ප වාර්තාවත්,  වධහිංසාවට එරෙහි කමිටුව විසින් ලබා දෙන නිර්දේශයන් ද ඇතුළත් කර සිංහල හා දෙමළ භාෂාවෙන් පරිවර්තනය කර පොදු මහජනයා අතර සාකච්ඡාවට ගැනීමටත්, කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා රජය වෙත මහජන බලපෑමක් ඇති කරන්නත් අප බලාපොරොත්තු වෙනවා.

පිලිප් දිසානායක

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක ලේකම් 

උපුටා ගැනිම 2016.06.26 වැනි දින රාවය සමබිම ඉරිදා සංග්‍රහය තුළින්




2016-06-24
Advertisement

Find us on Facebook