English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ඔබ ඉටු කලයුත්තේ දෙවියන් විසින් ඔබට පැවරු කාරිය පමණි !
ගරු ජනාධිපති තුමන් වෙතයි,

ඔබතුමා ජනතාව අමතා කරපු කතාවේදී කීව දැන් හැම මාධ්‍යයක්ම බැලුවොත් සේරගේම තිබෙන්නේ ඔබතුමා විවේචනය කරන කතා කියල. එහෙම විවේචනය කරන්න පුළුවන් වෙලා තිබෙන්නේ ඔබතුමා ඒ නිදහස දීල තිබෙන නිසා කියල. ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න එක ගැනත් ඔබතුමා ඉන්නේ කනස්සලෙන් වග පෙනෙනවා.

අපි ඔබතුමාව ඔතනට ගෙනාවේ, ඔසවල තිබ්බේ ඔබතුමාව වර්ණනාකර කර ඔබතුමාගේ කතාවලට සවන් දිදී තාවකාලික තෘප්තියක් ලබන්න නොවේ. ඔබතුමා පත් කරගත්තේ පොරොන්දු උන වැඩ ටික කරව ගන්න ඊට නායකත්වය දීමටයි. අද ඔබ කලයුත්තේ ඒකයි. අන්න ඒ කටයුත්ත ඉවරඋන  දවසට ඔබතුමාගේ කාර්ය භාරයත් ඉවරයි. මේ ටික තේරුම් නොගත් නායකයන්ට අතීතයේ උන දේවල් වලින්වත් පාඩම් ඉගෙනෙගෙන තවත් පමා නොවී ජනතාව ඔබෙන් බලාපොරොත්තු උන වැඩේ පමණක් කරන්න. එදා ජේ ආර් උන්නැහැ 77 එනකොට එදා ජනතාව එතුමාගෙන් බලාපොරොත්තු උන දෙයක් තිබුන. ඒක කලාට පස්සේ එතුමාගේ කාරිය ඉවරයි. තව මට පුළුවනි කොරන්න කිය කියා ඉන්න අයිතියක් ඔහුට නැහැ.

ඊළඟට රටට මහා හෙණයක් වෙලා තිබුන විධායක ජනපති ක්‍රමය ගෙනත් වසර 10 ක් තුල රට තමුන්ගේම ජාතීන්  අතර යුද්ධ දෙකක් ඇතිවෙලා රටම විනාශ  වෙනකොට දෙවියන් තීරණය කළා මේක අහෝසිකලයුතු බවට. ඒ අනුව සෝභිත හාමුදුරුවෝ වගේම රටේම මහා සඟරුවන ඇතුළු සියලු ජනතාව ඒක රාශි වෙලා පක්ෂ 08 ක සන්ධානයක් හදාගන යනවිට ඊට නායකත්වය දීමට දෙවියන් තෝරාගත්තේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. එතුමිය හදවතින්ම රටට ආදරේ කළ කෙනෙක් නිසා රටම එතුමිය සමග එකතු උනත් අවසන් මොහොතේ කළ පාවාදීමක් නිසා ජනතා විමුක්ති පෙරමුණ ඉන් ඉවත් වීමෙන් සියල්ල අවුල් උනා. අන්තිමේ ඔවුන්  චන්ද වර්ජනයක් කිරීම නිසා  දෙවියන් පරදා මුල්ම වරට යක්කුන්ගේ සහයෙන් ප්‍රේමදාස මහතා ජය ගත්ත. ප්‍රේමදාස උන්නැහැ  භාර ගත්තේ   ජනතාව පෙලපු සංවිධානයක් නිසා රටම අකර්මන්‍ය වෙලා තිබුන වෙලේ ජේ.ආර් උන්නහැටවත් පාලනය කරගන්න බැරි උන ත්‍රස්තවාදී ක්‍රියා නවතා රටේ සංවර්ධන කටයුතු වලට නැවත පරිසරය හදල දෙන්නයි.

ඒක ඉවරකලත් ඊට පස්සේ එතුමා කොටි උගුලක පැටලුන නිසාත් , එතුමාගේ කකුලෙන් ඇදපු එතුමාගේම පිලේ උදවිය නිසාත්, එතුමාත් තමන්ගේ තැන අහිමිවෙයි කියල බයෙන් වැඩක් කරන්න පුළුවන් මිනිසුන් ඈත් කිරීම වගේ දේවල් කරන්න ගිහින් අනාගන අන්තිමේ අකාලේ නැතිඋනා. ඊලඟට දෙවියන් විසින් චන්ද්‍රිකා මැතිනිට  රට පැවරුවේ ජාතික එකමුතුව ඇතිකර විධායක ක්‍රමය අවසන් කරන්න. ඒක එයාට කරගන්න බැරි උනා. ඒකට හේතු උනෙත් එයාගේ කකුලෙන් ඇදල ව්‍යවස්ථාව ගිනි තියල කරපු නාඩගම් නිසයි.  රටට හිතකර යමක් කරන්න  ගිය හැම නායකයටම උනේ මේකයි. ඊට පස්සේ එයාගේ කාරිය ඉවරයි. නමුත් මොකද කලේ. එයාගේ කාරිය ඉවරඋන නිසා ඊළඟ කාරිය පැවරුනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. නමුත් එතුමාට ඒක කරන්න දුන්නේ නැහැ. අන්තිමේ සියල්ල අවුල්  ජාලාවක් උනා. ඒ වෙලේ දෙවියන් වහන්සේ තීරණය කළා වැදගත්ම කාරිය යුද්ධය ජයගැනීම බව. ඒ අනුව  2005 දී එම කාරිය මහින්ද මැතිතුමාට පැවරුණා.

එතුමා ඒක ඉවර කලාම එයාට දෙවියන් පවරූ කාරිය ඉවරයි. මේක  තේරුම් නොගත් එයා 2010 දෙවියන් විසින් රටේ මීළඟ විප්ලවය හෙවත් දුෂණයට, අක්‍රමිකතාවයන්ට, හොරකමට නැවතීම තබා රටේ නීතිය, විනය හැදීමේ කාරිය වැදගත්ම කාරිය ලෙස සලකා එම කාරියට දෙවියන් විසින් තොර ගත්තේ සරත් ෆොන්සේකාවයි . අන්තිමේ යක්කු එක්ක එකතු උන මහින්ද දෙවියන්ද පරදා එතුමාව පරාජය කලේ තමන්ට දෙවියන් පැවරු කාරිය අවසන් බව එතුමා තේරුම් නොගත් නිසයි. අන්තිමේ මුළු රටම අපායක් බවට පත් උනා. නීතියක්, යුක්තියක් නැතිව,  එක පවුලක් රට තමන්ට ලියල දීපු බුදලයක් කියල සිතාගන රට පාලනය කලේ තමන් මේ රටේ රජෙක් කියල සිතාගන. මේ නිසා රටට උන විනාශය  කෙතරම් දැයි අද තුන් වරක්ම අය වැය සකස් කරන්නට වීමෙන්ම පෙනෙනවා. රටම ණය උගුලක පටලවා සදාකාලික බලයේ ඉන්න ගියේ දෙවියන්ගේ අණට එරෙහිවයි. අන්තිමේ මොකද උනේ? මේ මොහොතේ රටේ ජනතාව අවදිවෙලා , ජනතාව දනුවත්වෙලා , ඊට නායකත්වය දුන් සෝභිත හිමි වැනි  සිවිල් සමාජ නායකයන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් , මාධ්‍යවේදීන්, උගතුන්, බුද්ධිමතුන් ,මහා සඟරුවන වගේම රටට ජාතියට හදවතින්ම ආදරේ කරපු දේශපාලකයොත්  තනතුරු පසෙක තබා දිවි පරදුවට තබා  රට වටේ යනවිට දෙවියන් මීළඟ කාරිය ඉටු කිරීම සඳහා තෝරාගත්තේ ඔබයි. අද ඔබේ කාරිය ඉවරවෙන දවසත් ඔබට ඒ කාරිය භාරදෙන දවසෙම දෙවියන් විසින් තීරණය කොට අවසන් බව ඔබ දන්නෙත් නැතුව ඇති. ඒක නිසා අද ඔබ කලයුත්තේ වහ වහා එම කාරිය ඉටු කිරීම මිස ඉන් පසු කරන්නේ මොනවාද කියල දැන්ම සිට කල්පනා කරන එක නොවේ.   ඔබ මේ බව තේරුම් ගෙන කටයුතු කලොත් පමණක් ජනතාව ඔබත් පසසන දිනක් උදාවේවි. මම නම් ඔබතුමාව පසසන්නේ මම ඔබෙන් බලාපොරත්තු උන දේවල් ටික මේ කාලය තුල ඉටු කලොත් පමණි. අඩුම තරම විධායක ක්‍රමය අවසන් කොට මනාප ක්‍රමය අවසන් කිරීමට 20 වන සංශෝධනය අද හෙටම පාර්ලිමේන්තුවට ගෙනාවොත් පමණි.

විවේචනය කරන එක හරිම පහසු දෙයක්.ඕනෑම කෙනෙකුට කරන්න පුළුවනි. නමුත් වැඩ කරන එක කියන තරම් පහසු නැහැ. හැමෝටම කරන්නත් බැහැ.ඒක නිසා ඔබතුමා විවේචනය කරන අය ගැන කලබලවෙන්නේ නැතුව පොරොන්දු උන පරිදි වැඩටික කරන්න. කතාව වගේම වැඩත් පෙන්නපු දවසට ඔය කටවල් සේරම වැහිලා ඔබව පසසන දිනක් එනවා. හැබැයි ඔබතුමා ඔය පුටුවේ ඉන්න තුරු ඒක වෙන්නේ නැහැ. ඒ තමා අපේ රටේ මිනිසුන්ගේ හැටි. හැබැයි ඔබ නියම මහත්මා ගුණයෙන් සපිරුණු අයකු ලෙස කලයුත්තේ කතා කර කර ඉන්න ගමන් පොරොන්දු උන පරිදි විධායක ජනාධිපති ධුරය ඉවත්කොට මනාප ක්‍රමය අහෝසි කරන 20 වන සංශෝධනය හැකි ඉක්මනට පාර්ලිමේන්තුවට ගෙන ඒමයි. අලුත් ව්‍යවස්ථාව හදන එක ඔය යන විදියට ඒ කරන උදවියට කරගන යන්න කියන්න. මොකද අද මේ තිබෙන වාතාවරණය තව වසරක් යනවිට මුළුමනින්ම වෙනස් වෙනවා. එදාට අපට විධායක ක්‍රමය අහෝසි කිරීම කරගන්න බැරි උනොත් යලි කිසිම දවසක මේක කරන්න බැරි වෙනවා. එහෙම උනොත් ආයෙත් ඉදිරි කිසිම මැතිවරණයකදී මේක ඉස්සරහට දමල කිසිම චන්දයක් ඉල්ලන්න වෙන්නේ නැහැ. ඒක දැන් අහෝසි කම්ම වෙලා. අනික මේක අහෝසි කලාම අලුත් එකක් හැදීම අනිවාර්යයෙන් කලයුතුම වෙනවා.

එදාට ඒකට කිසිවකුට විරුද්ධ වෙන්නත් බැහැ. සිදු කරන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් බැවින් ජනාධිපතිට යම්  බලතල තබාගන ඔය විදියටම මෙම ව්‍යවස්ථාව  අනුව රට පාලනය කළහැකි නිසාත්, මේ  වෙනස නිසා කිසිම කුඩා පක්ෂයක මන්ත්‍රී ආසන වලට හෝ ද්‍රවිඩ පක්ෂවලට  ප්‍රශ්නයක් නොවන නිසා මෙය සියල්ලන්ගේම කැමැත්තෙන් පහසුවෙන්ම කල හැකිය. අද මහින්ද මහතාද අවධාරණය කරන්නේ ද රටට පොරොන්දු වූ පරිදි විධායක ක්‍රමය අහෝසි කොට මනාප ක්‍රමය ඉවත් කරන සංශෝධනය ගෙන එන ලෙසයි. විධායක ක්‍රමය අහෝසි කරන පොරොන්දුව යලි කිසිම දවසක මැතිවරණ පොරොන්දුවක් ලෙස ගෙන චන්දයකට යාම අහෝසි කම්ම උනත් මේ වෙලාවේ මේක නොකලොත් මහින්දට ඉතාම පහසුවෙන් මේක ඔහුගේ අරමුණ සඳහා තවමත් පාවිච්චි කල  හැක. මොකද රටේ මිනිසුන්ගේ එකම පැතුම උනේ මේක අහෝසි කිරීමයි. ඒ වගේම තවම මිනිසුන් ඉන්නේ එතන. ඒක පමාකිරීම ගැන මිනිසුන් ඉන්නේ කනස්සල්ලෙන්. නව ව්‍යවස්ථාව හැදීමේ කටයුතු වඩා සක්‍රිය පරිදි, විධිමත් පරිදි, කාලය ගෙන මෙම සංශෝධනයෙන් පසු මීළඟ මැතිවරණයට පෙර ඉටු කලාම හොඳටම ඇති. පුළුවනි නම් 2017 දී කිරීම වඩා උචිත වනු ඇත. නමුත් ඒක හේතුවක් කරගෙන 20 වන සංශෝධනය පමාකිරීම මෙම විධායක ක්‍රමය අවසන් කිරීමට අපට ලැබුන නොව ජනතාව දිවිපරදුවට තබා අපට ලබා දුන් සව්ර්ණමය අවස්ථාව අහෝසි කිරීමකි. නමුත් මේක අදම අහෝසි නොකලොත් මිනිස්සු අපට ශාප කරනු ඇත.

සෝභිත හාමුදුරුවන්ට ද කරන ලොකුම අපහාසය වනු ඇත . ඔබට මතක ඇති සෝභිත හමුදුරුවෝ වරක් මතක් කළා අපි දෙවියන්ට භාරයක් උනා ඒක වෙලාවට නිසි  පරිදි ඉටු නොකලොත් දෙවියෝ කෝප වෙන්න පුළුවනි කියල .  මට හිතෙන්නේ දැන් දෙවියන් කෝප වෙන්න ඉතාම ලඟයි. ඔබ අද කලයුත්තේ අද දවසේ කළයුත්ත මිස 2020 දි කළයුත්ත කුමක්ද යන්න ඔබට වැදගත් විය යුතු නැහැ. ඔබට රටේම මිනිස්සු චන්දෙ දුන්නේ මේක කරන්න මිස 2020 දී හදන ආණ්ඩුව ගැන සිතන්න නොවන බවත් ඔබට මේ සියල්ල ලැබුනේ ඔබ එදා සියල්ල අත හැර තම පවුල පවා අතහැර ජනතාව එක්ක හිටගත්තු නිසා බවත් අමතක නොකරන්න. එම නිසා ඔබ හැමදාම සිටිය යුත්තේ ජනතාව සමග මිස එහාට මෙහාට එක එක වරදාන වලට පනින, තමුන්ගේ හොරකම් වසාගන්න ලංවෙලා ඔබව පසසන  දේශපාලුවන් සහ උන්ගේ ඇම්බැට්ටයන් සමග නොවේ. ඔබ බාරගත් කටයුතු ටික පොරොන්දු වූ පරිදි ඉටු කලොත් ඔබේ කාලය අවසාන උන දවසට නෙල්සන් මැන්ඩෙලා කෙනෙක් වගේ ඉතිහාසගත වෙයි.

යම් ලෙසකින් බලය පිලිබඳ අරගල එක්ක පැටලිලා යලි දේශපාලුවන්ගේ උගුල් වල වැටුනොත් ,  අර කලින් ඔය තනතුරේ ඉඳල නනන්ත්තාර උන අයට උන දේ ඔබටත් වෙන්න පුළුවනි. මිනිසුන් සිතන්නේ අල්ලා ගැනීම , බදා ගැනීම තුල, බලයට ඇති තණ්හාවෙන් තම බලය ගැනම සිතීම තුලින් සහනයක් ලබනු ඇත කියායි. නමුත් සත්‍යය නම් සියලුම සහනය සැනසිල්ල ඇත්තේ අත් හැරීම තුල මිස බදා ගැනීම තුල නොවේ.ඊට හොඳම උදාහරණය ඔබයි. ඔබ බදාගන අල්ලගන හිටපු කාලේ කොහොම ඉන්න ඇතිද කියල එදා ඒ සියල්ල අතහැර ජනතාව සමග එකතු උන වෙලේ ඔබේ හැඩුම්බර කතාවෙන්ම ඔප්පු උනා. අන්තිමේ ඒ සියල්ල අත හැරීම නිසා අද ඔබට සහනයක් සමග සියල්ල ලැබුන.

නමුත් අද ඔබගේ අලුත් අල්ලාගැනීම නිසා ඔබ කොතරම් පීඩාවකින්, වගකීම් සම්භාරයකින් පිරුණු අවිවේක ජීවිතයක් ගතකරනු ඇති දැයි ඔබ කරන කතා වලින්ම පෙනෙනවා. එහෙම නම් මේ සියල්ල ඇත හැර යලි සහනය සුවය ලබන්නට අවශ්‍ය නම් හැකි  ඉක්මනින් ජනතාවට පොරොන්දු උන ඒ වගේම මේ වෙනුවෙන් දිවි පිදු සෝභිත හාමුදුරුවන්ගේ ඒකායන ප්‍රාර්ථනය වූ විධායක ක්‍රමය අහෝසි උන රටක ජීවත් වීමට අපට වාසනාව හැකි ඉක්මනින්ම උදා කර දෙන්න. වහාම 20 වන සංශෝධනය ගෙන එන්න. මේක කලොත් ඔබ ඉතිහාසගත වෙනවාමයි. අපේ එකම පැතුම මේ රට එක්සේසත් කොට යුක්තිය, සාධාරණය රජයන රටක මිනිසුන්ට දේශපාලුවන්ගේ අතකොලු බවට තවදුරටත් පත් නොවී නිදහසේ ජීවත්වන්න හැකි රටක් පමණි. එදාට මේ මිනිස්සු එකතුවෙලා මේ රට මේ ලෝකේ දියුණුම රටක් කිරීමට කැප වේවී. ඒක බලෙන් කරන්න ඕන වෙන්නේ නැහැ. ඊට අවශ්‍ය පරිසරය හැදුවාම, ක්‍රමය හැදුවාම, මිනිස්සු හැදෙයි. තවත් දවසක් හෝ පමා නොකර කතාව  කරන ගමන්  අදම මේ පොරොන්දුව ඉටු කිරීමේ වගකීම ඔබම පවරාගන්න.

ඔබ මේ රටේ තවම විධායක ජනාධිපති නම් රටේ යහපත පිණිස එහි බලය පාවිච්චි කරන්න.  ඔබේ කාරිය අවසන් උන විට දෙවියන් විසින් මීළඟ වැදගත්ම කාරිය එනම් මේ රට ස්වයංපෝෂිත රටක්, දියුණු රාජ්‍යයක් කිරීමේ කාර්ය සඳහා ඒ මොහොතේ ඊට  සිටින සුදුසුම කෙනාව තොර ගනීවි. ඒ ගැන ඔබ දැන්ම කලබල විය යුතු නැහැ. සැලසුම් කල යුතුත් නැහැ. යම් හෙයකින් දෙවියන්ගේ පරීක්ෂණයෙන් ඒ වනවිට ඔබ ඉහලින්ම සමත්වෙලා තිබුනොත් සමහර විට එම කටයුත්ත සඳහා ඔබවම තොරගන්නත් පුළුවනි.

එබැවින් දෙවියන් ඔබ ගැන ඉතාම සුපරික්ෂාවෙන් පසුවන බව අමතක නොකර ඔබට පැවරු කාරිය පමණක් හරියට ඉටු කරන්න. අවසන් වශයෙන්ද කීමට ඇත්තේ   දෙවියන්ගේ කටයුත්ත කිරීමට ඔවුන්ට  ඉඩදී දෙවියන් හෙවත්  මේ රටේ පොදු ජනතාව ඔබට භාරදුන් කටයුත්ත පමණක් ඔබ ඉටු කරන්න.  

කථිකාචාර්ය  සිසිර ජයමහ
27/8 කොළඹගේ මාවත
නාවල, නුගේගොඩ
31.03.2016


උපුටා ගැනීම -  ශ‍්‍රි ලංකා නිවුස් වෙබ් 


-  මෙලනි 






2016-06-20
Advertisement

Find us on Facebook