English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


තොරතුරු දැනගැනීමේ පනත යථාර්ථයක් වූ වගයි !
යහපාලනය සඳහා රජයට ඇති උනන්දුව, කැපවීම, මහජන අවශ්‍යතාවන් හා ඒ ආකාරයටම සමපාත නොවන මුත් පෙර පැවැති තත්ත්වයට සාපේක්ෂව එහි සෑහෙන වර්ධනයක්, 2015 ජනවාරි 08න් පසු දැක ගත හැකිය. ඒ බව නැවත වතාවක් පෙන්නුම් කරමින් තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත ලබන සතියේදී මහ පොළොවේ ඇත්තක් බවට පත්වීමට නියමිතය. තොරතුරුවලට ප්‍රවේශ වීමේ අයිතිය නීතිගත කිරීම සම්බන්ධව ප්‍රේමදාස සමයේ සිට කතාබහට ලක්වූ මුත් ඒ යථාර්ථයක් බවට පත්වීමට වසර විසි තිස් ගණනක් බලා සිටීමට ලාංකිකයන්ට සිදු වුණි. විවෘත වගකීම් සහගත ආණ්ඩුකරණයක් වෙනුවෙන් පාලකයන් තුළ පැවැති අඩු උනන්දුව තුළ මෙය දිනෙන් දින යට ගියේය. මැතිවරණ සමයන්හිදී උස් හඬින් මේ පිළිබඳව සාකච්ඡා සංවාද සිදු වුවද මෙය සැබෑවක් බවට පත් කිරීම තමන්ගේ දේශපාලන ශරීර සෞඛ්‍යයට අගුණ බව පාලකයින් තදින්ම විශ්වාස කළහ. එසේ වුවද අතරින් පතර එයට ව්‍යතිරේක නැත්තේ නොවේ.

2001 වසරේදී බලයට පැමිණි එක්සත් ජාතික පෙරමුණු රජය මෙය ඇත්තක් බවට පත් කිරීම වෙනුවෙන් මහත් කැපවීමෙන් යුතුව කටයුතු කළ අතර ජනමාධ්‍ය නිදහස හා පාරදෘශ්‍ය භාවය වෙනුවෙන් පෙනී සිටින සිවිල් සංවිධාන එකතුවකින් යුතු කමිටුවක් විසින් තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ අයිතිය ලබා ගැනීමේ නීතියක් පවා එවර කෙටුම්පත් කරන ලදී. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි වූ මුත් ඊට පෙර රජය විසුරුවා හැරීමට එවකට සිටි ජනාධිපතිනිය කටයුතු කළාය. ඒ නිසාම එය හමස් පෙට්ටියට විසි විය. ඉන් පසුව විපක්ෂයට ගිය ද එජාපය මේ වෙනුවෙන් තමන්ට ඇති උනන්දුව අත්හළේ නැත. 2010 වසරේ ජූලියේදී එවකට විපක්ෂ නායකයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මේ සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළේය. එය 2003 ජනවාරියේදී අමාත්‍ය මණ්ඩලය අනුමත කළ කෙටුම්පත මත පදනම්ව සකස් කර තිබිණි. නමුත් විපක්ෂ නායකවරයාට පෞද්ගලික මන්ත්‍රී යෝජනා ඉදිරිපත් කළ නොහැකි බව කියමින් එය භාර ගැනීම ප්‍රතික්ෂේප කිරිමට පාර්ලිමේන්තු මහලේකම්වරයා කටයුතු කරන ලදී. ඉන් අනතුරුව මෙම කාර්යය ඉදිරියට ගෙන යෑමේ වගකීම කරු ජයසූරිය මන්ත්‍රීවරයාගේ කර මත පැටවුණි. ශ්‍රී ලංකා දේශපාලනය තුළ යහපාලනය නමැති වදනට සැබෑ වටිනාකමක් ලබාදීමට දැවැන්ත අරගලයක නිරත වූ ජයසූරිය මහතා අවස්ථා දෙකකදී තොරතුරු ලබා ගැනීමේ පනත් කෙටුම්පත පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ මුත්, රාජපක්ෂ රජය එය ආපසු හැරවීම වෙනුවෙන් වැර යොදා ප්‍රහාර එල්ල කළේය. තොරතුරු දැනගැනීමේ පනත යථාර්ථයක් වීම ගැන උස් හඬින් කථා කරමින් අද එහි පේටන්ට් අයිතිය ගැන්මට උත්සාහ කරන ඇතැම් පුද්ගලයන් එදා සිටියේ මීට තඩි බාන තැනකය.

2010 වසරේ සැප්තැම්බර් 23 දා කරු ජයසූරිය මහතා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කළ අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ මාස 6ක් ඇතුළත තම රජය තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඒ සඳහා අවශ්‍ය මූලික වැඩ කටයුතු සිදු වෙමින් පවතින බවය. එම පොරොන්දුවෙන් පසු තම යෝජනාව ඉවත් කර ගැනීමට ජයසූරිය මහතා කටයුතු කළමුත් මාස 6ක් ගිය තැන එය ඇත්තක් වූයේ නැත. ඒ නිසාම 2011 මැයි 25 දින යළි පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස කරු ජයසූරිය මන්ත්‍රීවරයා යළි මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. තොරතුරු දැනගැනීමේ පනත රාජපක්ෂ පාලනයට වහකදුරු බව ඒ අවස්ථාවේ පැහැදිලිවම දැකගත හැකි විය. රාජපක්ෂ රජයේ “අප්‍රකාශිත අගමැතිවරයා” වූ බැසිල් රාජපක්ෂ මෙම පනත විග්‍රහ කර තිබුණේ ආණ්ඩුව වැට්ටවීමට ගෙනෙන පනතක් ලෙසය. වාද විවාද රැසක් මැද ඒ වතාවේදී පනත් කෙටුම්පත පිළිබඳව විවාදයකට රජය එකඟ වූ අතර අපේක්ෂා කළ යුතු ආකාරයටම එක්සත් ජනතා නිදහස් සන්ධානය ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළේය. පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්ද 99ක් ලැබුණු අතර පක්ෂව ලැබුණේ ඡන්ද 32ක් පමණි. 2011 ජුනි 21 දින පැවැති එම විවාදයේදී පනත් කෙටුම්පත් ඉදිරිපත් කරමින් කරු ජයසූරිය මන්ත්‍රීවරයා කළ කථාව ඓතිහාසික එකක්ම විය.

රාජපක්ෂ පාලනයේ සළුපිළි එකිනෙක ගලවා දමමින් ඔවුනගේ නිරුවත හෙළි කළ ජයසූරිය මහතා එදා තම කථාව අවසන් කළේ හිටපු ඇමෙරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ සුප්‍රසිද්ධ කියමනක් උපුටා දක්වමිනි. “සත්‍ය හෝ අසත්‍යය කුමක්දැයි තීරණය කිරීමේ අයිතිය සිය ජනතාවට ලබා දීමට බිය පත් වන ජාතිය තමන්ගේ ජනතාව ගැන බියෙන් පසු වන ජාතියකි. ජනතාවට බලපාන කරුණු සැඟවීමට ගන්නා අනවශ්‍ය උත්සාහයන්හි පවතින අනතුරු, එසේ සාධාරණීකරණය කිරීමට තැත් දරන අනතුරු ඉක්මවා යයි” යනුවෙන් ජයසූරිය මහතා සඳහන් කළේය. තොරතුරු දැන ගැනීමේ නිදහස මූලික මානව හිමිකමක් සේම එක්සත් ජාතීන් විසින් කැපවීමට බැඳී සිටින්නා වූ පූර්ව නිදහස උරගා බලන උරගල බව එක්සත් ජාතීන්ගේ මහා සභාව 1946 වසරේදී පිළිගෙන ඇත. ජගත් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 19 වැනි වගන්තියේ තොරතුරු ලබා ගැනීම මූලික අයිතියක් ලෙස අවධාරණය කර ඇති අතර එය ප්‍රවර්ධනය කිරීමට හා ආරක්ෂා කිරීමට දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම පිළිගත් රාජ්‍යයක් අනිවාර්යයෙන් බැඳී සිටියි. ශ්‍රී ලංකාව 1980 වසරේදී එම ගිවිසුමට ඇතුළත් විය.

ත්‍රස්තවාදයට එරෙහිව පැවැති යුද්ධය අවසන් වී මෑත ඉතිහාසයේ අන් කිසිදු අවස්ථාවක නොතිබූ ස්වර්ණමය මොහොතක් උදාවී තිබියදී කරළියට ආ එම යෝජනාව රාජපක්ෂ වරුන්ට වගක් නොවීය. තොරතුරු දැනගැනීමේ අයිතිය සහතික කරනවා වෙනුවට ඔවුන් කටයුතු කළේ ඊට ඉඳුරාම වෙනස් ආකාරයකටය.
ඒ වෙනුවට ජනමාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් සකස් කිරීමට වෙහෙසුණු රාජපක්ෂ රෙජිමය සාමාජිකයන් පත් නොකර අත්හැර දමා තිබු පුවත්පත් මණ්ඩලය වැනි සුදු අලි යළි පණ නැංවීමට ද කටයුතු කළේය; තොරතුරු දැනගැනීමේ අයිතිය සහතික කරනවා වෙනුවට රාජපක්ෂ පාලනය ඍජු හා වක්‍ර ලෙස නියමින් හා අනියමින් මාධ්‍ය තම පාලනයට ගත්තේය. ඉන් නොනැවති තම රජය පවතින තාක් කල් තොරතුරු දැනගැනීමේ පනත ගෙන ඒමට ඉඩ නොදෙන බවට ඇතැමුන් වහසිබස් ද දෙඩූහ. එබඳු ඉතිහාසයක් තුළ එළඹෙන සතියේදී සැබෑවක් වනුයේ ඓතිහාසික තත්ත්වයකි.

මැතිවරණ සමයේ ලබාදුන් පොරොන්දුවලට කිසිදු හිරිකිතයකින් තොරව එරෙහි වීම පශ්චාත් නිදහස් ශ්‍රී ලංකා දේශපාලනය තුළ පොදුවේ දැකගත හැකි තත්ත්වයකි. එවැනි සන්දර්භයක් තුළ මැතිවරණ සමයේ තමන් පොරොන්දු වූ දෑ ඉටු කිරීමට කටයුතු කිරීම පිළිබඳ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ඇතුළු යහපාලන රජයට කෘතවේදීත්වය හිමි විය යුතුමය. සාමාන්‍යයෙන් බලයේ සිටින රජයක් මෙවැනි දෑකට සිත එකඟ කර ගන්නේ තම පාලනයේ සැඳෑ සමයේ වුවද යහපාලන රජය වේලාසනින්ම මීට හිත හදා ගැනීම සැබැවින්ම ප්‍රශංසනීයය. යහපාලනය යනු හුදු අලංකාරකයක් හෝ කටගැස්මක් නොවන බව ඔවුන් ප්‍රායෝගිකව පෙන්වීම වඩාත් යහපත් වූ දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමට යන ගමනේදී තීරණාත්මක වනවා නිසැකය.

ශ්‍රී ලංකාවට නවමු අත්දැකීමක් වුවද තොරතුරු දැන ගැනීමේ අයිතිය නීතිගත කිරීම පිළිබඳව ඉතිහාසය මේ සම්පූර්ණ කරනුයේ තම 250 වැනි වසරය. 1766 දී ස්වීඩනය මෙම අයිතිය තම ජනතාවට ලබා දුන් අතර මේ වන විට රටවල් සිය ගණනක් එම වරප්‍රසාදය භුක්ති විඳිමින් සිටිනු දැකගත හැකිය. තාක්ෂණයේ දියුණුවත් සමඟ තොරතුරු සන්නිවේදනය වේගවත් පිම්මක් පැන ඇති පසුබිමක තොරතුරු පොදු සම්පතක් බවට පත්ව ඇත. සැබැවින්ම අද නූතන ප්‍රජාතන්ත්‍රවාදි රටවල් තුළ එය ප්‍රධාන මෙවලමක් බවට පත්ව තිබේ. නවසීය අනූව දශකය ඇරැඹෙද්දී මෙම අයිතිය භුක්ති විඳීමේ හැකියාව ලැබී තිබුණේ රටවල් 13කට පමණක් වුවද අද එය රටවල් සිය ගණනකට ව්‍යාප්තව තිබීමෙන් සිදුව ඇති විප්ලවයේ තරම පෙනී යයි. තොරතුරු දැන ගැනීම මහජනතාව පිරිසුදු වාතය හා පානීය ජලය ලබාගැනීම මෙන් පොදු කාර්යයක් බවට පත්ව ඇත. එය අයත් වනුයේ රජයට හෝ රාජ්‍ය නිලධාරීන්ට නොවේ ජනතාවටය.

නිලධාරීන් තොරතුරු නිර්මාණය කළ යුත්තේ තම යහපතට නොව තමන් සේවය කරන ජනතාවගේ යහපත උදෙසාය. එකී තොරතුරු නිර්මාණය වන්නේ රාජ්‍ය නිලධාරීන් විසින් මහජන මුදල් ඒ සඳහා උපයෝගී කරගනිමින් සිදු කරන්නා වූ කාර්යයන්ගෙනි. එබැවින් එම තොරතුරු හේතුවකින් තොරව කිසි විටෙකත් ජනතාවගෙන් සඟවා තබා නොගත යුතුය. සැබැවින්ම තොරතුරු සඟවන්නෝ හොර තක්කඩියෝය. වංචනිකයෝය. එම තත්ත්වය නිසා අනන්තවත් පීඩා විඳි රාජ්‍යයකි ශ්‍රී ලංකාව. ගමේ පාර බෝක්කුව තැනීමේ ක්‍රියාවලියේ පටන් යුද්ධය, සුනාමිය, ගංවතුර දක්වා අප රට තුළ දූෂණය ඉහවහා ගොස් තිබිණි. ශක්තිමත් තොරතුරු දැනගැනීමේ පනතක් තිබුණේ නම් සුනාමි ව්‍යසන අවස්ථාවේදී මහජන මුදල් තම පෞද්ගලික ගිණුම්වලට බැර කරගත් තක්කඩියන් මෙන්ම යුද්ධයට මුවා වී තම මඩි තර කරගත් වංචනිකයන්ගේ සැබෑ වැඩකිඩ රටට අනාවරණය වීමට ඉඩ තිබිණි. එහෙත් කිසිදු වගවීමේ ක්‍රියාවලියක්, සංවරණයක් හෝ තුලනයක් නොතිබූ තත්ත්වයක් තුළ සිදුවූයේ හොරකම වංචාව සාමාන්‍යකරණය වීම පමණි. අප මෙය ස්වර්ණමය අවස්ථාවක් ලෙස නම් කරනුයේ ඒ අර්ථයෙනි. ශ්‍රී ලංකාවට වඩා බෙහෙවින් පසුගාමි මොංගෝලියාව වැනි රටවල් වසර ගණනාවකට පෙර තොරතුරු දැනගැනීමේ අයිතිය තම ජනතාවට ලබාදුන් තත්ත්වයක් තුළ සිදුවූ පමාව ගැන එක් අතකින් අප කනගාටුවට පත් විය යුතුය.

එහෙත් පමා වී හෝ ඒ මොහොත දැන් උදා වී තිබේ. වඩා වැදගත් වනුයේ එයයි.

තොරතුරු දැනගැනීමේ පනත එදා වහකදුරු වූ අද ඒකාබද්ධ විපක්ෂය යැයි පෙනී සිටින කණ්ඩායම මේ කාර්යය සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර පිළිබඳව අවධානයෙන් යුතුව බලා සිටීම දේශපාලනය පිළිබඳව උනන්දුවෙන් පසු වන්නෙකුට පාඩුවක් නොවේ. ඇතැම් විට මෙම පනත් කෙටුම්පතේ තොරතුරු දැනගැනීම සම්බන්ධව ඇති විශේෂ ව්‍යතිරේක තත්ත්වයන් අල්ලා ගනිමින් ඔවුන් ඩෙඟා නැටුමක් නැටීමේ ඉඩ නැත්තේ නොවේ. මෙය අංග සම්පූර්ණ තොරතුරු දැනගැනීමේ පනතක් නොවේ යැයි කෙනෙකුට තර්ක කළ හැකි මුත් පැවැති තත්ත්වය තුළ වඩාත් ඉදිරිගාමි පියවරක් ලෙස එය මෙහි දීප්තිය කිසි ලෙසකින් හෝ අඩු නොකරයි.

කැනඩාව කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක සෙන්ටර් ෆෝ ලෝ ඇන්ඩ් ඩිමොක්‍රසි නම් ආයතනය දැනටමත් මෙම පනත ලොව හත්වැනි හොඳම තොරතුරු පනත ලෙස ශ්‍රේණිගත කර තිබේ. ජාතික ආරක්ෂාව, පෞද්ගලිකත්වයට බලපාන කාරණා, විදේශ වෙළෙඳ ගිවිසුම් පිළිබදව සාකච්ඡා කරන සමයේ පූර්ව තොරතුරු ආදිය ලබාදීම සම්බන්ධයෙන් සීමා පනවා ඇතිමුත් එය මෙහි ඓතිහාසික අගය අඩු නොකරන්නේ එබඳු තත්ත්වයන් ලෝකයේ බොහෝ රටවල ද දක්නට ලැබෙන බැවිනි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාවේ පරමාධිපත්‍ය බලය ජනතාව සතු බවත් රාජ්‍ය බලයේ මූලාශ්‍රය ජනතාව බවත් සඳහන් පැවැතිය ද අද පවා යටත් විජිත යුගයේ රහස්‍ය භාවය ආරක්ෂා කිරීමේ අරමුණින් පැනවූ බොහෝ අණපනත් තවමත් දැකගත හැකිය. උදාහරණයක් ලෙස 1955 දී සම්මත කරන ලද රාජය රහස් අඥා පනතට පාදකව ඇත්තේ 1911 දී පැවැති ඒ හා සමාන නමකින් යටත්විජිත පාලකයන් ක්‍රියාත්මක කළ ආඥා පනතකි.

ජනතාව සතු වැදගත් මූලික අයිතියකට නෛතික පිළිගැනීමක් ලබා දෙමින් විවෘත වගවීම් සහිත ආණ්ඩුකරණයක් වෙනුවෙන් ගත් සාධනීය උත්සාහයක් වූ මෙම කටයුත්ත වඩාත් අංග සම්පූර්ණ කිරීම සඳහා ඒ වෙනුවෙන් වූ අධ්‍යාපනික ක්‍රියාවලියක් ඉදිරියේදී දියත් කිරීම ද අතිශයින්ම වැදගත්ය.

චාමර ලක්ෂාන් කුමාර

උපුටා ගැනීම - ශ‍්‍රි ලංකා නිවුස් වෙබ් 

 -  මෙලනි





2016-06-20
Advertisement

Find us on Facebook