English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


‘යහපාලනය’ සිංහල වැඩිමහල් පිරිමින්ගේ ව්‍යාපෘතියක්ද?

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රීයකරණය හුදෙක් සිංහල පිරිමන්ගේ ව්‍යාපෘතියක් ද යන ප්‍රශ්ණය සද්දයට අසන්නට කාලය දැන් පැමිණ තිබේ. ඊට ආසන්නම හේතුව නම් ‘යහපාලනය මේකද‘ යනුවෙන් මෙම මස ජූනි 21දා පැවැත්වීමට නියමිත මහජනය සභාවේ කථිකයින් සියලු දෙනාම සිංහල වැඩිමහල් පිරිමින් වීමය.

මෙම සභාව ඇමැතීම එකද ස්ත්‍රියක් හෝ සොයා ගැනීමට මේ සිංහල ක්‍රියාදරයින්ගේ ව්‍යාපාරයන්ට බැරි වී ඇත්තේ ඇයි? එම ප්‍රශ්ණයට ඔවුන් දෙන පිළිතුර වනු ඇත්තේ ක්‍රියාකාරී ස්ත්‍රීන් සොයා ගැනීමට නැතැයි යන්නද? ඉන් අදහස් වන්නේ රාජපක්ෂ පෙරළා දැමීමේ දේශපාලන ව්‍යාපාරය තුල ස්ත්‍රීන් නොසිටියේය යන්නද? එම ව්‍යාපාරය තුළ තරුණ පිරිස් සිටියේ නැත්ද? දෙමළ සහ මුස්ලිම් ක්‍රියාධරදරයින් සිටියේ නැත්ද?

මෙයට පෙර ලාල් විජේනායක කමිටුවේ යෝජනා සාකච්ජා කිරීමට සැළසුම් කරන ලද සාකච්ජා සභාවක කතා කිරීමට යොදා ගෙන තිබුනේද සිංහල වැඩිමහල් පිරිමින් පමණි.

මෙම ව්‍යාපාරය ප්‍රජාතන්ත්‍රවාදීවනු ඇත්තේ ඊට දෙමළ, මුස්ලිම් ප්‍රජාවන්හි නියෝජිතයින්ද තරුණ පිරිස් ද ජනගහනයෙන් අඩක් වන ස්ත්‍රීන්ද ක්‍රියාකාරී ලෙස සහභාගිකර ගැනීමට එය සමත් වන්නේ නම් පමණි. මා සහභාගි වූ මෙවැනි රැස්වීම් සියල්ලෙහිම සිටියේ වැඩමහල් සිංහල පිරිමින්ය.

මෙම යහපාලන සිංහල පිරිමින්ගේ කණ්ඩායම පසුගියදා ජනාධිපති සහ අගමැතිවරයා හමුවී සකච්ඡා කර තිබුනේ ද සිංහල පිරිමින්ගේ දේශපාලන ව්‍යාපෘති ගැන පමණි.

අද මෙරට උතුරු නැගෙනහිර මෙන්ම අන්තර් ජාතික වශයෙන් ද ප්‍රධාන ප්‍රශ්ණ බවට පත්ව තිබෙන යුදකරණය, දෙමළ ජනයාගේ ඉඩම් නොනැවත යුද හමුදා විසින් අල්ලා ගෙන සිටීම සහ දෙමළ දේශපාලන සිරකරුවන් පිළිබඳ ප්‍රශ්ණය සහ දේශපාලන විසඳුමක් පිළිබඳව කිසිදු ප්‍රශ්ණයක් ඔවුන් විසින් ජනාධිපති හෝ අගමැතිගෙන් අසා තිබුණේ නැත.

මහජන සභාවන්හි ස්ත්‍රී සහ ජනවාර්ගික නියෝජනය පිළිබඳ ප්‍රශ්ණය තනිකරම සිංහල පිරිමින් විසින් සිය දේශපාලන බලාධිකාරය බෙදා ගැනීමට දක්වන අකමැත්ත නියෝජනය වීමකි. මෙම සභාවේ කතා කිරීමට නියමිත ගාමිණී වියන්ගොඩ, සමන් රත්නප්‍රිය, ධර්මසිරි බණ්ඩාරනායක, ජේ.සී. වැළිඅමුණ, සරත් විජේසූරිය, කේ.ඩබ්ලිව්. ජනරංජන සහ නිර්මාල් රංජිත් දේවසිරි යහපාලන ක්‍රියාධරයින්ට තනිකරම සිංහල පිරිමි කණ්ඩායමක් ලෙස වේදිකාවෙහි අසුන් ගැනීමට ලැජ්ජාවක් ඇති වන්නේ නැත්ද? ඇත්ත වශයෙන්ම නම් උග්‍ර ස්ත්‍රී විරෝධී අදහස් ඇති ජිප්සීස් සුනිල් පෙරේරා ද මෙම සභාව ඇමැතීමට නියමිත අතර ඔහු සහ ඉහති කී යහපාලන ක්‍රියාධරයින් අතර වෙනසක් ඇත්ද යන්න අප විමසිය යුතුය‍.

පසුගියදා පැවැත්වූ ජනමාධ්‍යවේදීන්ගේ අන්තර් ජාතික සම්මේලනයේ (IFJ)ලෝක සමුළුවෙහි ආරම්භක සැයිය අමතන ලද්දේ සුදු ජාතික වයස්ගත පිරිමින් විසින් පමණි. එහි සාමාජිකත්වය දරන අප්‍රිකානු, ආසියානු හෝ ලතින් ඇමෙරිකානු කිසිවකුට එම අවස්ථාව නොදීමට එහි නායකත්වය වගබලා ගත්තේය. එසේ නමුත් ලොව පුරා ජනමාධ්‍යවේදීන්ට අයිඑෆ්ජේ දේශනා කරන්නේ විවිධත්වය ජනමාධ්‍ය ප්‍රජාතන්ත්‍රීයකරණයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙසය‍.

එලෙසම 21දා කොළඹදී පැවැත්වෙන සභාව ඇමැතීමට නියමිත ඉහත කී ක්‍රියාධරයින්ගෙන් අප ප්‍රජාතන්ත්‍රවාදය ගැන අසා සිටිය හොත් ස්ත්‍රී නියෝජනයේ අත්‍යවශ්‍යබව ගැන කියා සිටිනු නොඅනුමානය.

ලෙනින් කී පරිදි ලොව ඇති ලොකුම ප්‍රතිවිරෝධක් ඇත්තේ කතාව සහ භාවිතාව අතරය.

ලොව පුරා ජනමාධ්‍යවේදයෙහි කැපී පෙනෙන ස්ත්‍රීහු බොහෝ වෙති. එනමුත් ඉහතකී IFJ වසර 90ක ඉතිහාසයෙහි එකද ස්ත්‍රියක හෝ එහි ප්‍රධානියා වී නැත. ඊට එක් හේතුවක් වන්නේ එය වාමාංශික ව්‍යාපාරයක් වීමයි. ලොව ධනපති ප්‍රජාතන්ත්‍රවාදය ඇති රටවල් බොහොමයක දේශපාලන නායකත්වයට ස්ත්‍රීන් පත්ව ඇතත් රුසියාවේ හෝ චීනයේ, වියට්නාමයේ හෝ චීනයේ එවැනි අවස්ථා ඇත්තේම නැත. විප්ලව මගින් බලය අල්ලා ගත් අලුත මෙම රටවල දේශපාලන නායකත්ව මංඩළයන්හි සැළකිය යුතු දේශපාලන නියෝජනයක් තිබුණි. නමුත් විප්ලවයන්ගෙන් පසු යළි පිරිමින් විසින් එම රටවල දේශපාලන බලය අල්ලා ගන්නා ලදී. ශ්‍රි ලංකාවේ ද වාම ව්‍යාපාරයෙහි මුල් කාලයෙහි ස්ත්‍රීන් නායකත්වයෙහි සිටි අතර අද ඒවාද පිරිමි බලය සහිත ව්‍යාපාර බවට පත් වී තිබේ. ජනතා විමුක්ති පෙරමුණ ද එසේ ය. සටන් පෙරමුණහි බොහෝ ස්ත්‍රීන් සිටි නමුත් ජවිපෙ එකද ස්ත්‍රියක හෝ පාර්ලිමේන්තුවට යැවීමට සමත්වී නැත.

මා දන්නා තරමට මෙම 21 දා යහපාලන සභාව ඇමැතීමට නියමිත බහුතරයද දන්නේ වාමගාමී අදහස්ය. බොහෝ විට වාමගාමීන්ට ප්‍රජාතන්ත්‍රවාදයට වඩා අරමුණ වැදගත්ය. අරමුණ කරා යන මාවත ප්‍රජාතන්ත්‍රවාදී වියයුතු යැයි වාමගාමීන් විශ්වාස කරන්නේ නැතිවා විය යුතුය‍.

එසේ නමුත් ප්‍රශ්ණය නම් සිය ලේඛන සහ සිනමා කලාවන්හිදී ප්‍රජාතන්ත්‍රවාදී අගයන් නියෝජනය කරන යහපාලන ක්‍රියාධාරයන්ද තනිකරම සිංහල පිරිමින්ගේ වේදිකාවක කොටස්කරුවන්වීමය. ඔවුන් විසින් කළ යුත්තේ තමන්ගේ ස්ථානය යහපාලන ක්‍රියාකාරිනියකට හො දෙමළ හෝ මුස්ලිම් ක්‍රියාධාරියකුට ඉඩ දී ඉවත්වීම නොවේද?

දේශපාලන නියෝජිතයයින් තෝරා ගැනීමේදී ස්ත්‍රී නියෝජනය සියයට 30ක් විය යුතු යැයි අද මෙරට ඇති සංවාදය එළෙසින් යහපාලන ක්‍රියාධරයින් අතර නැත්තේ ඇයි? ව්‍යවස්ථා සංශෝධනයට පවා එම යෝජනා ඇතුල්විය යුතු නම් යහපාලන සිවිල් සමාජයට එය අදාළ නොවිය යුත්තේ ඇයි?

ප්‍රජාතන්ත්‍රවාදය ඉබේ ඇති වන්නේ නැත. එය මහජනයා අතරට එය ගෙන යා යුත්තේ අවබෝධයක් සහිත ව්‍යාපාර ගොඩ නැගීමෙනි. ස්ත්‍රී – පුරුෂ සමාන භාවයද එසේ ය. වැඩ කරන ජනයාගේ අයිතීන් පිළිබද ප්‍රශ්ණය හුදෙක් එම ජනයාගේ ප්‍රශ්ණයක් ලෙස අප සළකන්නේ නැත. එය සමාජ සාධාරණත්වය පිළිබඳ ප්‍රශ්ණයකි. එනයින්ම ස්ත්‍රී – පුරුෂ සමානබාවය පිළිබද ප්‍රශ්ණයද හුදෙක් ස්ත්‍රීන්ගේ ප්‍රශ්ණයක් නොවේ. එය ද සමාජ ප්‍රශ්ණයකි. ප්‍රජාතන්ත්‍රවාදය අගයන දැනුවත් ක්‍රියාකාරී පිරිමින්ට ස්ත්‍රී නියෝජනය හුදෙක් ස්ත්‍රීන්ට පවරා ඇඟබේරා ගත නොහැකිය. ජනවාර්ගික නියෝජනය මෙන්ම තරුණ නියෝජනය ද එසේ ය.

ආණ්ඩුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඉල්ලා සිටින අප අතර කොතරම් ප්‍රජාතන්ත්‍රවාදයක් තිබේද යන්න පෙන්වනු ඇත්තේ සංඛ්‍යාත්මක සුලුතරයන් සහ ස්ත්‍රී සහ තරුණ නියෝජනය ගොඩ නඟා ගැනීමට අප කොතරම් උනන්දු වන්නේ ද යන්න උඩ මිස හර බර කතා උඩ මිස නොවේ.

සහෝදර පිරිමි ක්‍රියාධරයිනි, කල්පනා කර බලන්න.

සුනන්ද දේශප්‍රිය

-  මෙලනි 



2016-06-20
Advertisement

Find us on Facebook