English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


‘බ්‍රෙක්සිට්’: ඔව් ද, නැත් ද.. යුරෝපීය ඒකාබද්ධතාව තීරණාත්මක කඩඉමක

ඉංග‍්‍රීසි බස නොදත්, බි‍්‍රතාන්‍ය යටත්විජිත රටක විසූ ගැමියෙක් ඉංග‍්‍රීසි භාෂාවේ වචන දෙකක් අහුලා ගත්තේය. ඒ, ‘ඔව්’ සහ ‘නැහැ’ යන වචන දෙකයි. එහෙත් ඒ වචන දෙකේ තේරුම ඔහු දැන සිටියේ නැත. දිනක්, ඔහු නොකළ වරදකට ඔහුව අත්අඩංගුවට ගැනුණි. අනතුරුව, ඉංගී‍්‍රසි ජාතික මහේස්ත‍්‍රාත්වරයෙකු ඉදිරියට ඔහුව පමුණුවන ලද අවස්ථාවේ, අසන ප‍්‍රශ්නවලට ඉංග‍්‍රීසියෙන් පිළිතුරු දුන්නොත් තමන්ට නිදහසක් ලැබෙතැයි ඔහු සිතීය.

මහේස්ත‍්‍රාත්වරයා: තමා මේ අපරාධය කළාද?

ගැමියා: ඔව්.

මහේස්ත‍්‍රාත්වරයා: මේ අපරාධයට තවත් අය හවුල්ද?

ගැමියා: නැහැ.

මහේස්ත‍්‍රාත්වරයා: තමාට තේරෙනවද, මේ අපරාධය සම්බන්ධයෙන් තමාට හිරේ යන්නට වෙන බව?

ගැමියා: ඔව්.

තමා කළ මෝඩකම ගැමියා වටහා ගත්තේ හිරේට ගිය පසුවයි. මේ කතාවේ උපදේශය වන්නේ: ඔව් හෝ නැහැ යනුවෙන් පිළිතුරු දීමට බල කෙරෙන ඕනෑම අවස්ථාවකදී, ප‍්‍රශ්නය නිවැරදිව තේරුම් ගැනීම වැදගත් බවයි.

ලබන ජුනි 23 වැනි දා පැවැත්වීමට නියමිත ජනමත විචාරණයේදී බි‍්‍රතාන්‍ය ජාතිකයන් ස්වකීය ඉරණම වෙනස් කරන පැනයකට, ඔව් හෝ නැහැ යනුවෙන් පිළිතුරු දිය යුතුව තිබේ.

ඔවුන් ඉදිරියේ ඇති ප‍්‍රශ්නය වන්නේ, එක්සත් රාජධානිය යුරෝපා සංගමයේ සිටිය යුතුද, නැත්ද යන්නයි. මේ ප‍්‍රශ්නය (‘බ්‍රෙක්සිටි’ යන්න යෙදෙන්නේ, ‘බි‍්‍රතාන්‍ය ඉවත්වීම’ යන අරුතිනි) ආමන්ත‍්‍රණය කෙරෙන්නේ බි‍්‍රතාන්‍ය පුරවැසියන්ට වෙතත්, ඊට ඔවුන් දෙන පිළිතුර මගින් ලෝක ආර්ථික ක‍්‍රමයම සොලවාලීමට ඉඩ තිබේ. මේ සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය පුරවැසියන් හරි හරියට දෙපැත්තට බෙදී සිටින හෙයින්, යුරෝපයේ වෙනත් රටවල් මේ වන විට සිටින්නේ බලවත් චකිතයෙනි.

සාමාජික රටවල් 28 කින් සමන්විත යුරෝපා සංගමයෙන් බි‍්‍රතාන්‍ය ඉවත් වේදෝ යන කණස්සල්ලෙන් පසුවන ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා සහ ජර්මනිය, ප‍්‍රංශය ඇතුලූ වෙනත් බටහිර යුරෝපා රටවල නායකයෝ, මේ ජනමත විචාරණයේදී ‘ඔව්’ යනුවෙන් පිළිතුරු දී යුරෝපා සංගමයේ රැඳී සිටීමට පියවර ගත යුතු බවට බි‍්‍රතාන්‍ය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී. එසේ නොවුණහොත්, චීනයේ ආර්ථික නැගීම ඉදිරියේ ලෝක ආර්ථිකය කෙරෙහි යුරෝපය සතු බලපෑමේ ශක්තිය හීන වී යා හැකි බව ඔවුන්ගේ අදහසයි.

එහෙත් ලෝක ආර්ථිකය තුළ යුරෝපයට පැවරී ඇති කාර්ය භාරයට වඩා, බි‍්‍රතාන්‍ය පුරවැසියන් සැලකිල්ල යොමු කරන්නේ මේ සම්බන්ධයෙන් තමන්ට බලපාන දේශීය කරුණු කෙරෙහි ය. පසුගිය වසර පහක පමණ කාලය තිස්සේ, එක්සත් රාජධානියේ නිදහස් පක්ෂය වැනි ජාතිකවාදී දේශපාලනයේ නැගීමත් සමග, යුරෝපා සංගමයෙන් බි‍්‍රතාන්‍ය ඉවත් විය යුතු බවට අදහසක් බි‍්‍රතාන්‍ය වැසියන් තුළ තදින් රෝපණය විය.

1975 දී පැවති මෙවැනිම ජනමත විචාරණයකදී, යුරෝපා සංගමය තුළ තවදුරටත් රැඳී සිටිය යුතු බවට තීන්දු කිරීමෙන් පසු මේ දක්වා බි‍්‍රතාන්‍යයේ ජනතාවට වැඩි වැදගත්කමක් ලැබී නැතැයි ඔවුහූ තර්ක කරති. යුරෝපා සංගමය විසින් ගෙනා බි‍්‍රතාන්‍ය විරෝධී අණපනත් නිසා, යුරෝපා සංගමයේ වැඩි දියුණුවක් නැති රටවල වැසියන්ට බි‍්‍රතාන්‍යයේ රැකියා ඩැහැ ගැනීමට හැකියාව ලැබී ඇති බවත්, මැද පෙරදිග සිට සංක‍්‍රමණය වූ සරණාගතයන් විසින් බි‍්‍රතාන්‍යයේ ජන සංයුතිය වෙනස් කරනු ලැබ ඇති බවත් ඔවුහූ පෙන්වා දෙති. යුරෝපා සංගමයේ සාමාජික ගාස්තු වශයෙන් බි‍්‍රතාන්‍ය වසරක් පාසා ගෙවන පවුම් බිලියන 7.2 ක මුදලට සමානුපාතික වාසියක් බි‍්‍රතාන්‍යට අත්වී නැති බවත් ඔවුහූ තවදුරටත් පෙන්වා දෙති.

යුරෝපා සංගමය තුළ බි‍්‍රතාන්‍යයේ සාමාජිකත්වය පිළිබඳ විවේචනය උග‍්‍ර වෙද්දී, ඒ ගැන තවදුරටත් නොසළකා හැරීමේ හැකියාවක්, එරටේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ දේශපාලන පක්ෂ වන කොන්සර්වෙටිව් පක්ෂය, කම්කරු පක්ෂය සහ ලිබරල් පක්ෂයට නොවීය. ඒ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පවත්වන්නැයි කොන්සර්වෙට්ව් පක්ෂය ඇතුළෙන්ම ඉල්ලීමක් මතුවෙද්දී, 2015 මහ මැතිවරණයෙන් තමා ජයග‍්‍රහණය කළහොත් එවැනි ජනමත විචාරණයක් පවත්වන්නෙමැ යි අගමැති ඬේවිඞ් කැමරන් පොරොන්දු විය.

යුරෝපා සංගමයෙන් බි‍්‍රතාන්‍ය ඉවත් විය යුතු බවට කිට්ටු අදහසක මුලින් සිටි ඬේවිඞ් කැමරන් මේ වන විට ඊට වෙනස්ව, බි‍්‍රතාන්‍ය එයින් ඉවත් විය යුතු නැති බව උදක්ම කියා සිටී. ඒ පිළිබඳ අර්බුදය උග‍්‍ර වෙද්දී ඔහු පසුගිය ජනවාරි සහ පෙබරවාරියේ වෙනත් යුරෝපා නායකයන් සමග හදිසි සාකච්ඡා පැවැත්වීය. ඒ, බි‍්‍රතාන්‍ය වෙනුවෙන් යුරෝපා සංගමය තුළ විශේෂ ස්ථානයක් ලබා ගැනීමටයි. එම සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් වශයෙන්, සංක‍්‍රමණිකයන් සහ සරණාගතයන් සම්බන්ධයෙන් මතු වී ඇති ප‍්‍රශ්න ආදිය අරභයා, යුරෝපා නීතිරීතිවලට වෙනස්ව, බි‍්‍රතාන්‍යයට තමන්ගේම වන ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ අවසරය මේ වන විට ලැබී තිබේ. එහෙත්, යුරෝපා සංගමයෙන් වෙන් විය යුතු යැයි උද්ඝෝෂණය කරන පිරිස් මෙවැනි අනුග‍්‍රහයකින් සෑහීමකට පත්වන්නේ නැත.

යුරෝපා ඒකාබද්ධතාවේ ආරම්භය සනිටුහන් වුණේ යුරෝපා කවුන්සිලය තුළයි. 1949 අගෝස්තු මාසයේ පිහිටුවා ගැනුණු එහි මූලස්ථානය වුණේ ප‍්‍රංශයේ ස්ට‍්‍රාස්බර්ග් නුවරයි. එය, පශ්චාත්-යුද සමයේ පිහිටුවා ගැනුණු ඉතා වැදගත් කලාපීය එකමුතුවක් වශයෙන් එදා පිළිගැනුණි. එසේම එය, ‘යුරෝපා එක්සත් ජනපදයක්’ බිහි කර ගැනීමේ ආරම්භක ළදරු අවස්ථාවක් වශයෙන්ද සැළකුණි.

දෙවැනි අවස්ථාව ඊට වඩා ප‍්‍රබල එකමුතුවක් විය. බෙල්ජියම, ප‍්‍රංශය, ඉතාලිය, ලක්ෂෙම්බර්ග්, නෙදර්ලන්තය සහ බටහිර ජර්මනිය එක්ව 1952 දී පිහිටුවා ගත් එය හැඳින්වුණේ, ‘යුරෝපා ගල් අඟුරු සහ වානේ හවුල’ වශයෙනි.

අනතුරුව, 1958 දී මේ රටවල් හය එක්ව ‘යුරෝපා ආර්ථික හවුල’ පිහිටුවා ගත්තේය. වඩාත් බලාපොරොත්තු සහගත එකමුතුවක් වූ එය ‘පොදු වෙළඳපොළ’ වශයෙන් එදා හැඳින්වුණි. ඒ සමගම, ඊට කලින් තවත් එකතුවක් ඇතිව තිබුණි. එය, ‘යුරෝපා පරමාණු බලශක්ති හවුල’ නමින් හැඳින්විය. අනතුරුව මේ සංවිධාන තුනම ඒකාබද්ධ වී, 1967 දී ‘යුරෝපා හවුල’ නමින් මහා සංවිධානයක් පිහිටුවා ගැනුණි. 1973 දී බි‍්‍රතාන්‍ය මේ ‘යුරෝපා හවුලට’ එක් විය.

ඊළඟ යෝධ පියවර වුණේ, 1992 මැෂ්ටි‍්‍රට් ගිවිසුමයි. යුරෝපීය මූල්‍ය එකමුතුවට පාදක වුණේ එයයි. එහෙත් බි‍්‍රතාන්‍ය ඒ මූල්‍ය එකමුතුවට එක් වුණේ නැත. කෙසේ වෙතත්, යෝධ වෙළඳපොලක් සහිත විශාලතම ලෝක ආර්ථික බල කේන්ද්‍රය වුණේ එයයි. මෙහි සාමාජික රටවල්, තමන්ට මුහුණදීමට ඇති සමාජ ආර්ථික ප‍්‍රශ්නවලට විසඳුමක් වශයෙන් සාමූහික ඒකාබද්ධතාවක ඇති වැදගත්කම තේරුම් ගනිමින්, තම තමන්ගේ ස්වෛරීත්වයන් පිළිබඳ ප‍්‍රශ්නය පසෙකින් තිබ්බේය.

මේ ‘යුරෝපා හවුලේ’ සාර්ථකත්වය ඉදිරියේ යුරෝපා ෆෙඩරල්වාදීන්ගේ සිත්සතන් තුළ ‘යුරෝපා දේශපාලන ඒකාබද්ධතාවක’ සිහිනයක්ද බිහි වුණි. 1945 දී දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු, මෙවැනි එක්සත් භාවයක් තුළ යුරෝපා සාමාජික රටවල් අතරේ සාමය සහ ආරක්ෂාව ප‍්‍රවර්ධනය වූ බවට ඔවුහූ තර්ක කළහ. තවද, යුරෝපා මහද්වීපය තුළ යම් ගැටුමක් ඇති වූ අවස්ථාවක, එය විසඳීම සඳහා මේ හවුල වහා ඉදිරිපත් විය. යුගෝස්ලාවියාව සහ කොසෝවෝ වැනි තැන්වල ගැටුම්වලදී එවැනි මැදිහත්වීමක් දක්නට ලැබුණි.

එහෙත්, නැගෙනහිර යුරෝපයේ පැරණි කොමියුනිස්ට් රාජ්‍යයන්ට ‘යුරෝපා සංගමයේ’ සාමාජිකත්වය ලබා දීමට ඉක්මන් වීම නිසා ප‍්‍රශ්න මතු වන්නට විය. කලින් තිබූ දැඩි නීතිරීති, මේ අලූත් සාමාජිකයන් වෙනුවෙන් ලිහිල් කරන ලදි. එහෙත් පසුගිය දශක තුනක කාලයක් තිස්සේ ‘යුරෝපා සංගමයේ’ සාමාජිකත්වය ඉල්ලමින් සිටින තුර්කියට එහි සාමාජිකත්වය මේ දක්වා ලැබී නැත. ගිය වසරේ ග‍්‍රීසියේ ණය අර්බුදයට මගපෑදුවේද, සාමාජිකත්වය ලබා දීමේ එවැනි අක‍්‍රමවත් පිළිවෙතක් නිසා යැයි චෝදනා නැගේ. ග‍්‍රීසිය ණය අර්බුදයට මුහුණදෙන සෑම අවස්ථාවකදීම එම රට ගලවා ගැනීමට වඩාත් පොහොසත් රටවලට සිදු විය. මන්ද යත්, ග‍්‍රීසිය ‘යුරෝපා සංගමයෙන්’ ඉවත් වුවහොත් සහ ණය නොගෙවා සිටියොත්, සෑම රටකටම මුහුණදීමට සිදුවිය හැකි අනතුර අනිත් රටවල් තේරුම් ගෙන සිටි බැවිනි.

මේ ආකාරයට, ග‍්‍රීසියේ ණය අර්බුදයත්, පසු කලෙක සිරියාවෙන් ලක්ෂ ගණන් සරණාගතයන් පැමිණීමට පටන් ගැනීමත් නිසා, ‘යුරෝපා හවුල’ පිළිබඳ විචිකිච්ඡා වර්ධනය වීමට වූ අතර, ‘යුරෝපා හවුලෙන්’ ඉවත් වන්නැයි හඬ නගන නව-නට්සිවාදීන්ගේ උද්ඝෝෂණ ප‍්‍රබල වන්නට විය.

කෙසේ වෙතත්, බි‍්‍රතාන්‍යයේ ජනතාව මේ ජනමත විචාරණයේදී ’ඔව්’ යනුවෙන් පිළිතුරු දුන්නත්, ‘නැහැ’ යනුවෙන් පිළිතුරු දුන්නත් එය ලෝකයටම බලපාන කාරණයක් වනු ඇත. ‘ඔව්’ යනුවෙන් පිලිතුරු දුන්නොත්, බි‍්‍රතාන්‍ය ‘යුරෝපා සංගමය’ තුළ, විශේෂ කොන්දේසි සහ වරප‍්‍රසාද යටතේ තවදුරටත් රැඳී සිටිනු ඇත. එසේ වුවහොත්, අනිත් සාමාජික රටවල්ද එවැනි වරප‍්‍රසාද තමන් වෙනුවෙන්ද ඉල්ලා සිටිනු ඇත. එවිට මුළු ‘යුරෝපා සංගමයම’ අර්ථ විරහිත හවුලක් වීමට ඉඩ තිබේ.

අමීන් ඉසඞීන්

(2016 ජුනි 10 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Brexit: YES or NO.. European Integration at Crossroads නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)

-  මෙලනි 



2016-06-14
Advertisement

Find us on Facebook