English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අපහාස කිරිමට අධිකරණයක් තව ඉතිරිව තිබේද?

ගෙවුණ සති අන්තයේ හැම මාධ්‍යයක්ම අධිකරණයට අපහාස සිදුවන සිදුවීම් රාශියක් වාර්තා විය. ඒ ලංකාවේ විනිශ්චය කාරයන් දෙදෙනෙකු වන තිලින ගමගේ සහ කණිෂ්ක විජේරත්න යන දෙදෙනාගේ කි‍්‍රයාකාරකම් නිසාය. එක් සති අන්ත පුවත් පතක තිලින ගමගේ කට්ටි පැන්න මහේස්ත‍්‍රාත් ලෙසද, කණිෂ්ක විජේරත්න හිතවත් මහේස්ත‍්‍රාත් ලෙසද, දක්වා තිබිණ. විනිසුරුවෙකුගේ හැසිරිම ගැන එසේ කරුණු වාර්තා කිරිම, අනර්ථකාරි නිර්වචන දැක්විම අධිකරණයේ ගෞරවයට යහ පැවැත්මට අහිතකරය. හෙවත් ඍජුව කියයි නම් අධිකරණයට කරන අපහාසයකි. ඒ අපහාසය නිසා කැත වන්නේ එකී චෝදනා වලට ලක්වූ නඩු කාරයන්ගේ උප්පැන්න සහතික වල දැක්වෙන කුල පරම්පරා නොවේ. අධිකරණ ධූරාවලින් පිළිබඳ පැවති මහජන විශ්වාසය ගෞරවය ආහෝසි විමය. එකී නඩු කාරයන්ගේ හැසිරීම, ‘‘හරි අපි උසාවියේදී බලා ගනිමු ….’’ කියා ආවේගය අඩු කර ගැනීමට, පුරවැසියන්ට පැවති එකම අවස්ථාව අහිමිව යාමකි. ප‍්‍රශ්නය තියෙන්නේ අන්න එතනය. තක්කඩියෙකුවූ සැමියාට ඇප ගන්න උසාවි යන තරුණ බිරිය බලෙන් ගෙන ගොස් දූෂණය කළ විනිසුරුවන් නඩු ඇසූ අධිකරණ කාල පරිච්ඡේදය රටාව අවසන්ව නැති බව පෙනේ. ඇතැයි අප විශ්වාස කළෙමු. ඒ කියන්නේ තවමත් උසාවිය නිශ්ශබ්ද වෙනු කී පසුව විනිසුරු අසුනට ගොඩ වන්නේ ලෙනින් රත්නායකලා අනුව යන තිලින ගමගේලා කනිස්ක විජේරත්නලා මතු නොව ගිහාන් පිලපිටියලා ය.

විනිසුරු ගිහාන් පිලපිටිය පසුගියදා අධීකරණයට අ`ථත් ව්‍යතිරේකයක් හඳුන්වා දෙනු ලැබීය. ඒ නායක හාමුදුරුනමක් එවන ලිපියක් මත විවාදිත හොර අලි පැටව් සැක කාරයන්ට ආපසු භාරදීමට නියෝග කළේය. ඒ නියෝගය මාධ්‍ය විසින් පමණක් නොව, සාමාන්‍ය ජනතාවගේද සමච්චලයට ලක් විය. එය හරියට පොලිසිය ඇල්ලූ කසිප්පු තොගය ගමේ මගුල් ගෙදරක් වෙනුවෙන් පෙරූ බවට ලැබුණ ලිපියක් නිසා, කසිප්පු තිත් පොලකින් අල්ලා ගත් හොර සුරා බැරල් ආපසු සැකකාර කසිප්පු කාරයාටම භාර දුන්නා වැනිය. විනිසුරුවරයෙකු දුන් නියෝගයකට ඉහළ අධිකරණයක අභියෝග කිරිම නෛතික අයිතියකිි. ඒවා නෛතික කාරණා වෙති. ඒ අනුව කොළඹ මහාධීකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා විනිසුරු ගිහාන් පිලපිටිය දුන් නියෝගය තාවකාලිකව අත් හිටුවා ඇත.

එසේම විනිසුරු ගිහාන් පිලපිටිය තිලින ගමගේ සම්බන්ධව නිකුත් කළ නියෝග නිශේධ කළේ ඊට අවනත විය යුතු තිලින ගමගේ නම් විනිසුරු විසිනි. තිලින ගමගේ ඒ නියෝග තඹ දොයිතුවකට මායිම් නොකළ බැවිනි. මැයි මස 12 වෙනි දින තිලින ගමගේ ඇතු`ථ සිව් දෙදෙනකුගෙන් ප‍්‍රකාශ ලබාගෙන අධීකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරු ගිහාන් පිලපිටිය නියෝග කළේය. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව මැයි 13 වෙනි දින රහස් පොලිසියට පැමිණ ප‍්‍රකාශයක් ලබාදෙන ලෙස තිලින ගමගේට දැන්විය. රහස් පොලිසිය තිලින ගමගේට භාර දුන්නේ අධිකරණ නියෝගයකි. තිලින ගමගේ ඊට අවනත විය. ඔහු පසුව, නීතිඥයෙකු මගින් දන්වා සිටියේ 13 දින පැමිණිය නොහැකි බවය. එසේම එකී අධිකරණ නියෝගය අනුව මැයි 18 වෙනි දින පැමිණ තම ප‍්‍රකාශය ලබා දෙන බවට සපත කළේය. එහෙත් මැයි 18 වෙනි දින තිලින ගමගේ රහස් පොලිසියට පැමිණ අදාල ප‍්‍රකාශය ලබා දුන්නේ නැත. එතෙක් කතාව හරහා තිලින ගමගේ කියන්නේ කුමක්ද? විනිසුරු ගිහාන් පිලපිටිය දුන් අධිකරණ නියෝගයට තිලින ගමගේ අවනත නොවූ බවද? නැත. තිලින ගමගේ මැයි 18 වෙනි දින දන්වා සිටියේ කුමක්ද? අධිකරණ නියෝගය අනුව මැයි 25 වෙනි දින පැමිණ තම ප‍්‍රකාශය ලබා දෙන බවය. එදිනද ඔහු පැමිණීයේද නැත.

අධිකරණ නියෝග සමච්චලයට ලක් කරමින් මෙසේ හැසිරෙන තිලින ගමගේ යනු නඩු කාරයෙකු මිස කුඩු කාරයෙකු නොවේ. කලූතර සුප‍්‍රකට රත්තරන් මෙන් කෝච්චියට පැන මාල කඩන්නෙක්ද නොවේ. ප‍්‍රසිද්ධ ස්ථානයක බි මතින් හැසිරෙණ කඩප්පුලියෙකු හෝ අපතයෙකු ද නොවේ. තිලින ගමගේ යනු කුඩු කාරයන්, මාල කඩන්නන්, පාදඩයන්ට එරෙහිව නඩු ඇසූ නීතියේ ආරක්‍ෂාව, අධීකරණයේ ගෞරවය මහජනයාගේ විශ්වාසය ආරක්‍ෂා කළ යුතු විනිසුරුවෙකි. එහෙත් මැයි මස 12 වෙනි දින සිට තිලින ගමගේ හැසිරුණේ කුඩු කාරයෙකුට, මාල කඩන්නෙකුට පාදඩයෙකුටත් වඩා අවිනිත තක්කඩි ආකාරයට නොවේද? ඊට අනුබල දුන්නේ කනිස්ක විජේරත්න නම් තවත් නඩු කාරයෙකි. මේ සියල්ල බලා සිටින රටේ ජනතාව නඩු කාරයන්ගේ පරිපාලකයා වන අධිකරණ සේවා කොමිෂන් සභාවේ භූමිකාව ප‍්‍රශ්ණ කරමින් සිටිත්. අධිකරණ සේවා කොමිෂන් සභාව මේ විනිසුරුවන් ගැන කරන්නේ කුමක්ද? අප දන්නා ආකාරයට තවමත් රට හිනස්සන අධීකරණය පාච්චල් කරන තිලින ගමගේට අදටත් අනුෂ පැල්පිටට රණවකට මෙන් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වැටුප් ගෙවමින් සැලකුම් ලබයි.

අප ආපසු අතීතයට යමු. මහින්ද රාජපක්‍ෂ සහ ඊට පෙර යුගවල ලෙනින් රත්නායකලා විනිසුරු බලය පා සැක කරුවන්ගේ බිරියන් දූෂණය කළ කතා නැවත සිහිපත් කළ යුතුවේ. මේ විනිසුරුවන් ලෝකයට කියන්නේ කුමක්ද? යුධ අපරාධ නඩු තබා කසිප්පු නඩුවක් අසන තරමට හෝ තිලින ගමගේලා කනිස්ක විජේරත්නලා නියෝජනය කරන ශී‍්‍ර ලංකාවේ අධීකරණය ස්වාධීන නැති බවය. නඩු අසන නිතිය සුරකින විනිසුරුවන් මෙසේ හැසිරෙන විට, ශ්‍රේෂ්ඨාධීකාරණය නඩු නො අසාම, කැඳවා නීතිය කැත නොකරන ලෙස දන්වා රස්සාවෙන් අස්වි යන ලෙස නියම කළා පමණකි. යහ පාලන ආණ්ඩු කාල පරිච්චේදයේ ඒ ටිකවත් සිදු නොවන බවට තවත් සාක්කි අනවශ්‍යය. අභියාචනාධීකරණයෙන් ශ්‍රේෂ්ඨාධීකරණයට විනිසුුරු වරුන් නිර්දේශ කිරිමේදී ඉහළ ජ්‍යෙෂ්ඨත්වයක් සහිත විනිසුරු වරියක නම් නොතකා හළ බවට විවිධ චෝදනා නැගිණ. තවමත් රාජපක්‍ෂ පාලන හෙවනැල්ලෙන් ශී‍්‍ර ලංකා අධීකරණය නිදහස්ව නැත. කොතන මොන ආකාරයෙන් යහ පාලනය බැබලූනද රටේ අධිකරණය තවම ස්වාධීන නැත. තමන්ට ආවේනික විශිෂ්ඨත්වය වෙත ශ‍්‍රී ලංකා අධීකරනය සමිපවි නැත.

අපේ අධීකරණයේ විනිසුරුවරයෙකුට එරෙහිව නීති විරෝධිව අලියෙකු සන්තකයේ තබා ගත් බවට අවලාද නැගෙමින් පවතී. ඔහු තම වෘතිය ගෞරවය සලකා ඉන් නිදහස් විමට කල්පනා කරන පාටක් නැත. ඔහු උත්සාහ කරන්නේ එයින් මගහැර යාමට ය. එයින් විරූපි වන්නේ දුර්වර්ණ වන්නේ ශී‍්‍ර ලංකා අධිකරණයේ විශිස්ඨත්වයයි. එවැනි විනිසුරුවරයෙකු ගැන අනෙක් ශී‍්‍ර ලංකා විනිසුරුවරුන්ගේ සංගමය දක්වන නිහඬ භාවය මහා ඛේදවාචකයකි. එහෙත් ශී‍්‍ර ලංකා නීතිඥ සංගමය යෝධ හයියෙන් කතා කිරිම ගැන අප හිස නමා සිටිමු. අවාසනාවට වර්තමාන අධිකරණ ඇමති වරයා ජනාධීපති නිතිඥයෙකි. ඔහු කලක් ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ සභාපති විය. එහෙත් ඇවන්ගාර්ඞ් රකින ඔහු රටේ අධීකරණය රැුකීමට කැප වෙන්නේ නැත.

අග විනිසුරු ෂීරාණී බණ්ඩාරනායක අර්බුදය මතුවන විට විජේදාස රාජපක්‍ෂ ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ සභාපති වරයාව සිටියේය. ප‍්‍රශ්නය මතුවූ සැනෙන් ඔහු දෙවන ධුර කාලයටද මුහුණ නොදි පැන ගියේය. ඒ ඇයි? රාජපක්‍ෂලාට බියෙන් විය නොහැක. එදා අධීකරණය වෙනුවෙන් පෙනී නොසිටි විජේදාස රාජපක්‍ෂ අධිකරණ ඇමති වරයා ලෙසද සිය වගකීම් පැහැර හරිමින් සිටී. එක් යුගයක රටේ අධිකරණ අමාත්‍ය ධුරයට පත් කළේ පවත්නා ආණ්ඩුවට සම්බන්ද දේශපාලන පක්‍ෂයට අයත් නීතිඥ සංගමයේ සභාපති වරයාය. මෙහිදි සිහිපත් වන්නේ විජේදාස රජපක්‍ෂගේ අනුප‍්‍රාප්තිකයා ලෙස ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ සභාපති තනතුරට පත්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් ජයසූරියයි. ඔහු ශක්තිමත් ලෙස අග විනිසුරු ශිරාණී බණ්ඩාරනායක අර්බුදයට නීතිඥ සංගමය මෙහෙයවිය. ඔහු සම්ප‍්‍රදාය බිඳීමින් තම නිල උත්සවයට රාජපක්‍ෂ පාලනය පත් කළ අගවිනිසුරු වරයා ගෙන්වූයේ නැත. මේ කියන්නේ ශී‍්‍ර ලංකා නීතිඥ සංගම් ගෝනියේ හොර පොල් කලටි සහ පුහු පොල්ද පවත්නා බවය.

ආර්.පේ‍්‍රමදාස අධීකරණ ඇමතිකමට පත් කළේ වින්සන්ට් පෙරේරාය. ඔහු වෘතියෙන් නොතාරිස් ලිපිකරුවෙකි. නොතාරිස් ලිපිකරුවෙකුවූ වින්සන්්ට පෙරේරාගේ යුගයේ හෝ අධීරණය මෙහෙම කඩා වැටුනාද නොදනිමු. මේ සංසන්ධනාත්මක විග‍්‍රහය අනුව, ජනාධිපති නීතිඥ විජේදාස රජපක්‍ෂ සිය වගකීම් මග හරිමින් සිටියි. ඔහු හිටපු නීතිපති වෙනුවෙන් පෙනි සිටින බව කිය. එහෙත් අධීකරණය වෙනුවෙන් පෙනී නොසිටියි. ඔහු ෂීරාණී බණ්ඩාරනායක අර්බුදයේදී සභාපතිකම හැර ගියාක් මෙන් ඇමතිකම නම් හැර යන්නේ නැති බව සහතිකය. මේ වන විට ශී‍්‍ර ලංකා නීතිඥ සංගමය මේ තත්වය අධිකරණ සේවා කොමිෂන් සභාවේ අවධානයට ලක් කර හමාරය. එහෙත් තමන් නිදි වැදී සිටිම ගැන වර්තමාන අධිකරණ ඇමති වරයා තම ස්ථාවරය ප‍්‍රකාශ කළ යුතුව ඇත. රටේ නීතියට අවනත, අධීකරණයට බය පක්‍ෂපාත අවනත රටේ ජනතාව වර්තමාන අධිකරණ ඇමති වරයා ගැන කල්පනා කරන්නේ එහෙමය.

එහෙත් අධීකරණ සේවා පරිපාලනය භාර, අධිකරණ සේවා කොමිෂන් සභාව පවත්නා තත්වය ගැන වඩාක් සැලකිලිමත් විය යුතුවේ. එක් යුගයක මාධ්‍ය වේදින් අධිකරණ සේවා කොමිෂන් සභාව සලකන ලද්දේ ද අධීකරණයක් හැටියටය. කිසි විටෙකත් අධීකරණ සේවා කොමිෂන් සභාවට අපහසුවක් වන පුවතක් පළ කළේ නැත. එහෙත් විනිසුරු තිලින ගමගේ නිසාම, අධිකරණ සේවා කොමිෂන් සභාව ඞීල් තිත් පොලක් ලෙස සැලකෙන්ට බැරි නැත. ඉහතින් විස්තර කළ සංසිද්ධින් සමග ගංගොඩවිල මහේස්ත‍්‍රාත් වරයාගේ හැසිරිම ගැන මේ වන විට අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිනිලි කර ඇත. මහෙස්ත‍්‍රාත් කනිස්ක විජේරත්නගේ අපක්‍ෂපාති භාවය නිතිඥවරු ප‍්‍රශ්න කළහ. රාති‍්‍රය පසුවන තෙක් නඩු ඇසීමෙන් කනිස්ක විජේරත්න සිය වෘතිය ගෞරවය කෙළෙසාගෙන හමාරය.

හොර අලින් නිති විරෝධිව තමන් සන්තකයේ ගබා ගැනිම් ගැන අධීකරණ කටයුතු ගණනාවකි. ඊට අදාල සැක කරුවන් විශාල පිරිසක් රිමාන්ඞ් භාරයට පත් විය.ඔවුන් රිමාන්ඞ් කළේ සොරබඩු පොදු දේපල යන පදනම අනුවය. පොදු දේපල සම්බන්ධ වරදකට අත් අඩංගුවට පත්වූ කිසිදු සැක කරුවෙකුට මහේස්ත‍්‍රාත් අධීකරණයක් ඍජුව ඇප නියම නො කරයි. කළ හැක්කේ චෝදනාව පොදු දේපල සම්බන්ධ නිසා ඇප නියම කළ නොහැකි බවට නියෝග කිරිම පමණකි. හෝ සුවිශේෂ කරුණු හරහා තම නියෝගය තහවුරු කළ යුතුවේ. තිලින ගමගේ සහන පතා මුලින්ම ගියේ ශ්‍රේෂ්ඨාධිකරණයටය.එහිදි ඔහු අහිංසක නොවන බව තහවුරු විය. කනිස්ක විජේරත්න එදා තිලින ගමගේට ඇපදීම ශී‍්‍ර ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය පාච්චල් කිරිමකි. නියම කළ මුදල් ඇපය භාර නොගෙනම තිලින ගමගේ මුදා හැරිය බවට තොරතුරු හෙළිවේ.

පොදු දේපල නීතිය ගැන විග‍්‍රහක් කළ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා කීවේ සමුපකාර කඬේ ගත් ගිනි පෙට්ටියක්ද, පොදු දේපල ලෙස සැලකෙන නිසා, ඇප ලබා ගැනීමට අසීරු වනු ඇත. එක් අලි පැටවෙකු ලක්‍ෂ 25 ඉක්මවන හෙයින් චෝදනාවේ බරපතලකම වටහා ගැනිම අසීරු නැත. එහෙත් හොර අලි පිළිබඳ හෙළිදරව්වූ සමහර සැක කරුවන් රිමාන්ඞ් කළ අධීකරණය උඩුවේ ධම්මාලෝක භික්‍ෂුව සහ තිලින ගමගේ යන සැක කරුවන් ගැන කි‍්‍රයා කළේ කෙසේද? කෝටි ගණනක මුදල් අවභාවිතයක්වූ සිල් රෙදි නඩුවේ ලලිත් විරතුංග සහ අනුෂ පැල්පිට ගැන කි‍්‍රයා කළේද එසේමය. අපේ අධිකරණ සේවයට වෙන්න තවත් යමක් ඉතිරිව පවතීද? ඒ ටික කළේ විනිසුරුවන් නොව නීිතිපති දෙපාර්තමේන්තුව විසිනි. නීතිපති දෙපාර්තමේන්තුව එසේ හැසිරුණේ තමන් වෙනුවෙන් අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ පෙනී සිටින බව දන්නා නිසාය.

ගෙවුන විසි වසර තුල අධීකරණයට රාජ්‍ය පාලනයට සිදුවූ දේ ගැන අටුවා ටීකා අවශ්‍ය නැත. ඒ කතා සිහිපත් කරන විට ජේ.ආර්. ජයවර්ධන විනිසුරුවන්ගේ ගෙවල් වලට ගැසුවාය කියන්න පු`ථවණ. එහෙත් අතීතයේ පාලකයන් එහෙම කළාට, නඩුකාරයන් මෙහෙම හැසිරුනේ නැත.

ලිපිය අවසන් කිරිමට එක් උදෘතයක් උපුටා දක්වනු කැමැත්තෙමි.
‘‘ විනිසුරු යාපා මහතා.
ප‍්‍ර –  මහේස්ත‍්‍රාත්ට ගහපු එක (අසූචි මල්ල) වැදුණාද?

උ – වැදුණා. හරියටම මූණටම වැදුණා. දෙවනුව නඩුකාරයාට ගහපු පාර ගිහිල්ලා වැදුණේ පෑන් එකට.’’ (නොනිමි අරගලය වික්ටර් අයිවන් 157-158 පිටු.) ලෙනින් රත්නායකගේ මුහුණට එල්ල කළ අසූචි මල්ල උසාවියේ විදුලි පංකාවේ වැදි හාත්පස අපිරිසිදු විය. එදා විත්ති කූඩුවේ සිට අධීකරණයට අසූචි ගැසූ චන්දන පුෂ්ප රුවන්ය. අද විනිශ්චාසනයේ සිට අසුචී ගහන්නේ කවුද? අග විනිසුරු, අධිකරණ සේවා කොමිසම හෝ අධීකරණ ඇමති එසේ නොවේ නම් ජනාධීපති වරයා හෝමේ තත්වය වෙනස් කිරිමට වහා මැදිහත් විය යුතුව ඇත. යහ පාලනය යටතේද අපේ අධිකරණය අසූචි බෑග් ගබඩාවක් විය යුතු නැත. යහ පාලනය අවදි කළ නොහැකි නින්දක පසුවන බව පමණක් ජනතාව තේරුම් ගෙන ඇත.

  චන්ද්‍රසිරි සෙනෙවිරත්න


උපුටා ගැනීම - කළම්බො ටෙලිග‍්‍රාෆ්

-  මෙලනි





2016-06-13
Advertisement

Find us on Facebook