English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


අතුරුදහන් මධුෂ්ක වෙනුවෙන් මයුරිගේ ඉල්ලීම් වලට බාලගිරි දෝෂය !

මහින්ද රාජපක්‍ෂ රෙජිමය තුළදී පැවති සුදු වෑන් සංස්කෘතිය විසින් පැහැරගෙන ගොස් අතුරුදහන් කළ සිය සැමියා වෙනුවෙන් යුක්තිය ඉල්ලා විථි බසිමින් උද්ඝෝෂණවල නිරත වෙන අනුරාධපුරයේ මයුරි ඉනෝකා ජයසේ්නට, අද (08) කොළඹ දි පැවති විරෝධතාවය නතර කරදමා ජනාධිපති ලේකම් කාර්යාලයේ අද නෙවෙයි හෙට - බාලගිරි දෝෂයට නතු වන්නට සිදුවිය. ඇගේ ඉල්ලීම් සහිත ලිපියට සතියක ඇවැමෙන් පිළිතුරක් ලබාදෙන බවට ජනාධිපති අතිරේක ලේකම් කොඩිකාර ප‍්‍රකාශ කර ඇත.

”මට දෙවැනි වතාවටත් ජනාධිපතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්ව මුණගැහිල කථාකරන්න අවස්ථාව ලැබුණා. සතියක් ඇතුලත මට සාධාරණ පිළිතුරක් දෙනවා කියලා කිව්වා, මගේ අසරණකමටම මම අදත් ඒ වචනේ විශ්වාස කරනවා, දරුවො දෙන්නත් එක්ක මට ඉන්න තැනක් නැහැ. සතියක් මම ඉවසීමෙන් බලාගෙන ඉන්නවා මට පිළිතුරු ලැබෙනකම්. පසුගිය අවුරුද්ද පුරාම ලිපි 30ක් ලැබිලා තියෙනවා, නමුත් විසදුම් සහිත ඒවා නෙවෙයි. නමුත් මේ සතිය තුළ මට සාධාරණ පිළිතුරක් ලැබෙයි කියලා මම බලාගෙන ඉන්නවා. නොලැබුණොත් මම ආයෙත් ඇවිත් මෙතන වාඩි වෙනවා මගේ දරුවො දෙන්නත් එක්ක.” යැයි මයුරි ඉනෝකා ප‍්‍රකාශ කළේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඇගේ ඉල්ලීම සහිත ලිපියට ලැබුණු ප‍්‍රථිචාරය පිළිබඳව මාධ්‍යට ප‍්‍රකාශ කරමිනි.



2013 වසරේ සැප්තැම්බර් මස 02 වෙනිදා සුදු වෑන් රථයකින් පැමිණි "අපි පොලීසියෙන් යැයි කියු පිරිසක්" විසින් අත් මාංචු දමා පැහැරගෙන ගිය අනුරාධපුරයේ මධුෂ්ක හරිෂ් ද සිල්වා පිළිබඳව යුක්තිය ඉටුකරන්නැයි ඉල්ලා සිටිමින් මධුෂ්කගේ බිරිඳ, මයුරි ඉනෝකා මධූෂ්කගේ පැහැරගැනීමට දින 1010 වන අද දිනදී (ජුනි 08 වෙනිදා) ජනාධිපති ලේ්කම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ සිටියේ වසර දෙකක් පුරා ඇගේ සැමියාගේ පැහැරගෙන යැම පිළිබඳව සිදුකරන පරීක්‍ෂණ නිසි ආකාරයෙන් දියත් නොකරන නිසාත් ඇයට හා දරු දෙදෙනාට ජීවත්වීමට නිවසක් ලබාදෙන බවට පොරොන්දු වූවත් එ් කිසිවක් ඉටු නොවී ඇති නිසාත් මෙම කරුණු ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරවීමට යැයි ඇය අයිතියට පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපස ප‍්‍රදේශය අධි ආරක්‍ෂිත කළාපයක් වන බැවින් මයුරි අපේක්‍ෂාකළ ආකාරයට එම ස්ථානයේ දි විරෝධතාව දක්වන්නට ඇයට ඉඩ නොලැබුණු අතර, පොලීසියේ දැඩි අවශ්‍යතාවය වුයේ එකී ස්ථානයෙන් මඳක්ව ඇත්ව පදික වේදිකාවෙන් ද මයුරිව ඉවත්කර උද්ඝෝෂණය නවතා දැමීමටය.



අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විසින් අද පැවැති විරෝ්ධතාව සංවිධානයකර තිබු අතර, පහත දැක්වෙන්නේ මයුරි ඉනෝකා සහ අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විසින් ජනාධිපතිවරයා වෙත අද ඉදිරිපත් කළ ලිපියේ් පිටපතකි.


 


සටහන සහ පිංතුර  -  මෙලනි මානෙල් පෙරේරා

විරෝධතාවයේ අවස්ථා පිංතුර තීරයෙන් බලන්න.




2016-06-08
Advertisement

Find us on Facebook