English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පුංචි රෝමයෙන් යහපාලනයට අභියෝගයක් !
පුංචි රෝමය ලෙසට නම්කරන මීගමුව, කළු සල්ලි වලින් පාලනය වන බවත් , යහපාලනය තුළ තර්ජනයට මර්ධනයට හා මැර පාලනයකට ඉඩ දිය නොහැකි බවත් , යහපාලනයේ අවංක භාවය පෙන්වීමට හැකි හොඳම ක‍්‍රමය නම් මීපුර කතුවරයාට පොලූ පහර එල්ලකර මරණ තර්ජන එල්ලකරන්නට කොන්ත‍්‍රාත්තුව ලබාදුන් මහ මොළකරුවන් අත්අඩංගුවට ගැනීම යැයි පහර කෑමට ලක්වු කතුවරයා ඇතුලූ යහපාලන ආණ්ඩුව බිහිකිරිමට කැපවුණු සිවිල් සංවිධාන උද්ඝෝෂණයක් පවත්වමින් පසුගිය 4 වනදා යහපාලන ආණ්ඩුවට අභියෝගයක් එල්ල කළේය.

 
පිංතුරය - රයිටි ටු ලයිෆ් වීඩියෝ

"යහපාලන ආණ්ඩුවත් මාධ්‍යයට පහර දුන්නා. නීතිය නිසි ලෙසට ක‍්‍රියාත්මක කරන්න. සැබෑ වරදකරුවන් අත්අඩංගුවට ගන්න."යැයි විවිධ ක්‍ෂේත‍්‍ර නියෝජනය කරමින් පැමිණ සිටි පුද්ගලයින් කියා සිටියේය.

මාධ්‍යවේදින්ට පහරදීම් වලට විරුද්ධව නිදහසේ වේදිකාව ලෙසට තම කණ්ඩායම පෙනී සිටි බව සහ ෆ්‍රෙඩි ගමගේ වෙත එල්ල කළ පහර රජය විසින් හෙළා දැක තිබීම ගැන සතුටු වන බව පැවසු බී‍්‍රටෝ ප‍්‍රනාන්දු මෙය මහා අභයෝගයක් ලෙසට රජය ඉදිරියේ තබන බව පැවසීය.


පිංතුරය - රයිටි ටු ලයිෆ් වීඩියෝ

"ෆ්‍රෙඞී සහෝදරයා ඔහුගේ කටඋත්තරයේ පැහැදිළිව කියනවා, යහපාලනය යටතේ මේ නගරයේ ඉන්න උප නගරාධිපති , යහපාලනය යටතේ ඉන්න උප ඇමති කෙනෙක්වන නිමල් ලාන්සව විවේචනය කිරිම පිළිබඳව තමන්ට පසුතැවිලි වෙන්නට සිදුවෙයි කියා කියා ඇති බවක්. ඒ නිසා මේ යහපාලන රජය බිහිකරන්නට දායකවුණු කොටස්කරුවන් හැටියට අපි මේ රජයට කියනවා, මාධ්‍යවේදින්ව මරා දමපු යුගය අපි අවසන් කළා මහින්ද රෙජීමයත් සමග. එය නැවත කුමන ආකාරයටක හෝ කුමන දේශපාලන සම්බන්ධතාවයකට හෝ මතු වෙන්නට ඉඩ දෙන්න බැහැ. ඒ නිසා යහපාලන අගමැති ජනාධිපති සැමදෙනාට අපි කියනවා දේශපාලන හිතවත්කම් පසෙක තබා තමන්ගේ අවංක භාවය පෙන්වන්න මෙය හොඳම අවස්ථාවක් කියා. ෆ්‍රෙඩිගේ සාක්‍ෂි අනුව ගොඩනැගෙන පහරදීම පිටුපස සිටින මහ මොළකරුවන් වගඋත්තර කරුවන් වශයෙන් නම්කරලා මේ නගරයට පෙන්වන්න මාධ්‍යවේදින්ගේ ආරක්‍ෂාව තහවුරු කරන බව." යැයි අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති මෙන්ම වීදියේ විරෝධයේ හා නිදහසේ වේදිකාවේ කැඳවුම්කරුවකු වන බි‍්‍රටෝ ප‍්‍රනාන්දු ප‍්‍රකාශ කළේය.
                                                                                
පිංතුරය - රයිටි ටු ලයිෆ් වීඩියෝ

"ඩයලොග් වාර්තා අනුව මීගමුව නගර සබාවේ නියෝජ්‍ය සභාපති දයාන් ලාන්සා සංවාධ පවත්වපු හැටි පෙන්වා දෙනවා. පොලීසියට වාර්තා ලබා දී තිබෙනවා. ඒ වගේම ෆ්‍රෙඞී ගමගේ ප‍්‍රකාශකරලා තිබෙනවා මට ගැහුවේ දයාන් ලංසා කියලා. එසේනම් මොන සාක්‍ෂිද. අපි පොලීසියට කියනවා තරාතිරම නොබලා පරීක්‍ෂණ පවත්වලා අධිකරණයට ඉදිරිපත් කරලා නීතිය යුක්තිය සාධාරණත්වය ඉටුකරන්න කියලා." යනුවෙන් රොයිස් ප‍්‍රනාන්දු ප‍්‍රකාශ කළේය.  
 
මීගමුව පුරවරය තුළ සැළකිය යුතු මාධ්‍ය මෙහෙවරක යෙදෙන මීපුර පුවත්පතෙහි සහ මීපුර වෙබ් අඩවියෙහි කර්තෘ ෆ්‍රෙ‍්‍රඞී ගමගේ හට ජුනි 02 වෙනිදා, මීගමුව නගර සභා පරිශ‍්‍රයේදි නගර සභාවේ ම සේ්වකයින් දෙදෙනෙකු විසින් හිසට පොලූ පහරක් එල්ලකරමින් ජිවිත තර්ජනයක් එල්ලකර තිබුණි. එය මිගමුව නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති දයාන් ලාන්සා විසින් ලබාදුන් කොන්ත‍්‍රාත්තුවක් බවත් තමන් ඝාතනය කරන්නට ඔවුන් පැමිණි බවත් ෆ්‍රෙ‍්‍රඩි ගමගේ ප‍්‍රකාශ කළේය.
 
එමෙන්ම, යහපාලනය තුළ මර්ධන තර්ජන මැර බලයට සහ කළු සල්ලිවලින් පාලනයකට ඉඩ දිය නොහැකි බවත් යහපාලන ආණ්ඩුව තුළ මහින්ද රාජපක්‍ෂගේ න්‍යාය පත‍්‍රයන් කි‍්‍රයාත්මක වීමට ඉඩ දෙන්නට බැරි බවත් ෆ්‍රෙඞී ගමගේ පැවසීය.


පහර දි ඇති අවිය - දිරාපත්වන්නට පටන්ගෙන ඇති පොලු කැබැල්ලක්
පිංතුරය - මි පුර වෙබි අඩවිය


පොලූ පහර එල්ලකළ සේවකයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිය කෘතඥතාවය පළකර සිටින ෆ්‍රෙඞී ගමගේ ඇතුළු මැර ප‍්‍රහාර දැඩිසේ හෙළාදකින විරෝධතාකරුවන් තරයේ කියා සිටියේ පහර එල්ලකළ එම පුද්ගලයින් දෙදෙනා පමණක් නොව, ඔවුන් හට එම කොන්ත‍්‍රාත්තුව භාරදුන් මහ මොලකරුවන් අත්අඩංගුවට  ගැනිමෙන් පමණක් යහපාලන ආණ්ඩුවේ අවංක භාවය ඔප්පු කළ හැකි බවයි.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ද මාධ්‍ය නිදහස සඳහා ක‍්‍රියාකාරි කමිටුව සහ කිතු හඬ ව්‍යාපාරය ද පහරදීම හෙළා දකිමින් මාධ්‍ය නිවේදන නිකුත් කර තිබිණි.

ෆ්‍රෙඞී ගමගේ වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු වශයෙන් ද මානව හිමිකමි සුරැකිමෙි ක‍්‍රියාධරයෙක් ලෙසට ද කටයුතු කරයි.

-    මෙලනි




2016-06-06
Advertisement

Find us on Facebook