English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ග‍්‍රැහැම් ඊ. ෆුලර්: ඉස්ලාමීය ආගම නැති ලෝකයක්(අවසාන කොටස)

ඉස්ලාම් ආගම ගැන දැන් කතා කෙරෙන්නේ ත‍්‍රස්තවාදයට ඈඳමිනි: ‘‘හැම මුස්ලිම් ආගමිකයෙකුම ත‍්‍රස්තවාදියෙකු නොවෙතත්, හැම ත‍්‍රස්තවාදියෙක්ම මුස්ලිම් ආගමිකයෙකි’’. මගේ ‘‘ඉච්ඡාභංගත්වයේ පාලන සමය’‘ නැමැති පොතේ ලියා ඇති පරිදි, කෙනෙකුට ත‍්‍රස්තවාදියෙකු වෙන කෙනා තවත් කෙනෙකුට විමුක්ති සටන්කරුවෙකි. එය ඒ දෙස බලන විදිහ පිළිබඳ ප‍්‍රශ්නයකි. 1980 ගණන්වල ඇමරිකාව ඇෆ්ගනිස්ථානයේ කඳවුරු බැඳ සිටි රුසියානු හමුදාවන්ට එරෙහිව එරටේ දියත් කෙරුණු ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයන්ට යහමින් උදව් කෙළේය. ‘ත‍්‍රස්තවාදය’ යනු, අනිත් සියල්ල වාරණය කළ හැකි තර්කයි. එය තර්කයක් වශයෙන් ගත් පසු, මොනම දේශපාලනික ප‍්‍රවේශයක්වත්, සාකච්ඡාවක්වත් අවශ්‍ය නොකෙරේ. විරෝධතාවන් අතුගා දැමීමට ප‍්‍රචණ්ඩත්වය පාවිච්චි කිරීමේ පූර්ණ සදාචාරමය අයිතිය රාජ්‍යයන් විසින් තමන් වෙත පවරාගෙන තිබෙන්නේ එයාකාරයෙනි. (පිටු:329). මීට පෙරත් පෙන්වා දී ඇති පරිදි, ත‍්‍රස්තවාදීන් විසින් දුසිමක් දෙකක් හෝ සිය ගණනක් ඝාතනය කරනු ලැබිය හැකි අතර, රාජ්‍යයන් විසින් ලක්ෂ ගණන් ඝාතනය කොට තිබේ. ඒ අතරේ ළමුන් සහ කාන්තාවන් ඇතුළු සිවිල් වැසියන් අනන්තවත් ය. මිනිස් ජීවිත සහ විඳවීම ගැන නොතකා රාජ්‍යයන් විසින් කෙරෙන එවැනි සංහාරයන්, ‘නොවැළැක්විය හැකි හානි’ වශයෙන් හඳුන්වා පසුව අත් හෝදා ගනු ලැබේ.

ත‍්‍රස්තවාදය යනු දේශපාලනික ප‍්‍රචණ්ඩත්වයේ එක් ආකෘතියකි. එහෙත් මර්දනකාරී රාජ්‍යයන් විසින් නිරතුරුවම ප‍්‍රචණ්ඩත්වය පාවිච්චි කරයි. (පිටු:330). ත‍්‍රස්තවාදය පිළිබඳ අර්ථකථනය, තැනේ හැටියට වෙනස් වෙයි. (පිටු:334). රාජ්‍යයක් සතු බලය අනුව, ඊට එරෙහිව අභ්‍යන්තරිකව නැගෙන ඕනෑම විරෝධයක්, ‘ත‍්‍රස්තවාදීන්’ වශයෙන් හංවඩු ගැසීමට රාජ්‍යයකට බලය ලැබේ. ත‍්‍රස්තවාදය ඇත්ත වශයෙන්ම ගර්හා කටයුතු ය. එහෙත්, ඒ නිසාම, ඊට පිටුදුන් ‘දුක්ගැනවිලි අවලංගු වන්නේ’ නැත. (පිටු:338) මේ නිසා ත‍්‍රස්තවාදය ගැන කතා කිරීමේදී, දුක්ගැනවිලි ගැන අමතක කළ යුතු නැත.

‘ත‍්‍රස්තවාදය’ දුර්වලයාගේ අවියයි. (පිටු:320). පලස්තීනුවන්ට ජෙට් යානා සහ හෙලිකොප්ටර් තිබුණේ නම්, අද ඊශ‍්‍රායලය විසින් ගොඩගසාගෙන සිටින ‘ජන සංහාරක අවි’ තිබුණේ නම්, ඔවුන් ත‍්‍රස්තවාදය පාවිච්චි නොකරනු ඇත. 1979 නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ හවානා ප‍්‍රකාශනය මගින්, සෑම ආකාරයකම ආධිපත්‍යයන්, අතපෙවීම් සහ යටපත් කර ගැනීම් හෙලාදුටුවේය. නොබැඳි ව්‍යාපාරය ඊශ‍්‍රායලයට විරුද්ධ වුණේ, යුදෙව්-විරෝධයක් නිසා නොවේ. පලස්තීනුවන්ගේ අයිතීන් උල්ලංඝණය කරමින්, සෙසු සියල්ලන් නෙරපා හැරෙන සියොන්වාදි රාජ්‍යයක් ස්ථාපනය කර ගත් නිසා ය. පලස්තීන ප‍්‍රශ්නය සමග ඉස්ලාම් ආගමට කිසි සම්බන්ධයක් නැත. දෙවැනි ලෝක යුද්ධයේදී සිදු වූ ‘යුදෙව් ජන සංහාරයේ’ වගකීම භාර ගත යුත්තේ යුරෝපීයයන් ය. ඒ සංහාරයන් මස්තකප‍්‍රාප්ත කර ගත් යුරෝපීයයන්ගේ පාපයට අද වන්දි ගෙවන්නේ පලස්තීනුවන් ය. (පිටු:303). ‘පලස්තීන ප‍්‍රශ්නයේ මූලයන් ඇත්තේ, ‘ඉස්ලාම් ධර්මය තුළ නොව, යුරෝපා යුදෙව්වන්ව බටහිරයන් විසින් තාඩනපීඩනයට ලක් කිරීම සහ ඝාතනය කරනු ලැබීම තුළ ය.’ (පිටු: 5) (‘පලස්තීන ප‍්‍රශ්නය’ යන යෙදුම තුළම ප‍්‍රශ්නයක් තිබේ. එයින් ඇඟවෙන්නේ, විපතට පත්කරන ලද ජනතාවක් යන්නට වඩා, පලස්තීනුවන් ප‍්‍රශ්නයක් වන බව ය). පලස්තීන ප‍්‍රශ්නය ‘මුළු මුස්ලිම් ලෝකය පුරාම, වඩාත් බරපතල තනි සිදුවීම වශයෙන් හඳුනා ගැනෙන අතර, ඒ ප‍්‍රශ්නය හේතුවෙන්, එකී ජනතාව ඔවුන්ගේ ගම්බිම්වලින් පළවා හැර, අන්ත දුක්ඛිත සරණාගත කඳවුරුවලට ගාල් කොට තිබේ. ඊශ‍්‍රායාලය තුළ වෙසෙන පලස්තීනුවන්ව දෙවැනි පංතියේ පුරවැසියන් බවට පත් කොට තිබේ. තවත් දහස් ගණනක් ජනතාව විදේශයන්ට පලවා හැර තිබේ. ඒ ක‍්‍රියාදාමය දැන් අවුරුදු හැටකටත් වැඩි කාලයක් තිස්සේ ක‍්‍රියාත්මක වෙයි’. (පිටු: 345). ඒ අනුව, ජිහාඞ් ව්‍යාපාරය සහ ප‍්‍රචණ්ඩත්වය, ප‍්‍රශ්නයක ප‍්‍රකාශනයක් හෝ සංකේතයක් මිස, ප‍්‍රශ්නය නොවේ. (පිටු: 346).

මෙයාකාරයෙන්ම, ඉස්ලාම් ආගම සමග චීනයට ස්වකීය දේශසීමා ප‍්‍රදේශවල ප‍්‍රශ්නයක් ඇතැයි කියැවේ. එහෙත් ඒ දෙස විපරමින් බැලූ විට පෙනී යන්නේ, ප‍්‍රශ්නය ඇත්තේ, එම පෙදෙස්වල ජීවත්වන මිනිසුන්ගේ වාර්ගිකත්වය සමග මිස ඔවුන්ගේ ආගම සමග නොවන බවයි. චීන ආණ්ඩුව හිතාමතාම, චීන හෑන් වාර්ගිකයන්ට ෂිංජියැන් ප‍්‍රදේශයට සංක‍්‍රමණය වීමට කටයුතු සිද්ධ කොට තිබේ. කාලයක් යන විට, මෙසේ සංක‍්‍රමණය වන හෑන් වාර්ගිකයන් ඉදිරියේ මිලියන 10 ක් පමණ වන උයිගූර් වාර්ගිකයන්ට තම අනන්‍යතාව සහ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමට දුෂ්කර වන්නේය. (272). එසේ වන විට, පසු කලෙක වෙනම ‘ජනවර්ගයක් වශයෙන් උයිගූර් ජනතාව චීනය විසින් ක‍්‍රම ක‍්‍රමයෙන් අතුගා දැමෙනු ඇත. (පිටු: 273). ටිබෙටය චීන්නුන් ඉදිරියේ යම් දවසක වැනසී යන්නේ, ඔවුන් සහ ටිබෙට් ජාතිකයන් අතර පවතින දෘෂ්ටිමය හෝ ආගමික වෙනස්කම් නිසා නොව, දේශ සීමා ඈඳා ගැනීමට චීනයට ඇති කෑදරකම නිසා ය. වාර්තා වන පරිදි, මියන්මාරයේ ජීවත් වන බෞද්ධයන් විසින් මුස්ලිම් ජනතාවට පහර දෙනු ලැබේ. තවුන්ටන් ගමට ඇතුලූ වන තැන, මේ විදිහේ දැන්වීම් පුවරුවක් තිබේ: ‘‘කිසි මුස්ලිම් ආගමිකයෙකුට මෙහි රාත‍්‍රිය ගත කිරීම තහනම් ය. කිසි මුස්ලිම් ආගමිකයෙකුට මෙහි නිවාස කුලියට ගැනීම තහනම් ය.’’ ආගම පිළිබඳ එරටේ වර්තමාන ඇමති, හිටුප් හමුදා ජෙනරාල් තුරා අවුං කෝ මුස්ලිම් ආගමිකයන් සහ හින්දු ආගමිකයන්ව හඳුන්වන්නේ, ‘සහකාර පුරවැසියන්’ වශයෙනි. (2016 මැයි 23, ලන්ඩනයේ ‘ද ගාඩියන්’ පුවත්පත). එහෙත් මෙහිදීත් ප‍්‍රශ්නය තුළට තරමක් කිඳා බැස්සොත් පෙනෙන්නේ, මේ ක්‍රෝධය ඇත්තෙන්ම පදනම් වී ඇත්තේ, ඉඩම් හිමිකාරීත්වය සහ සුළු ව්‍යාපාර කටයුතු කරගෙන යාම වැනි ලෞකික ප‍්‍රශ්න සම්බන්ධයෙන් මිස, ආගමික ප‍්‍රශ්න සම්බන්ධයෙන් නොවන බවයි. මේ කියන මුස්ලිම් ආගමික රෝහින්ගා ප‍්‍රජාව යම් හෙයකින් බෞද්ධ වුවත්, අද පවතින සමාජ තත්වයන් යටතේ, ඔවුන්ට සාධාරණත්වය සහ සමානාත්මතාවයේ අයිතිය නොලැබෙනු ඇත.

විශේෂයෙන් බටහිර ලෝකයේ මුස්ලිම් ජනතාවට එරෙහිව පවතින විරෝධය නිසා වැඩියත්ම ඇති කෙරෙන්නේ, සමාන අදහස් දරණ උම්මා සාධකය තවත් ශක්තිමත් කිරීමයි. බටහිර වෙසෙන මුස්ලිම් තරුණයන්, ඔවුන්ගේ මුල් රටවල ඇති සම්බන්ධතා දුර්වල කෙරෙන විට, ‘වාර්ගිකත්වයන් පරයා යන පොදු බැම්මක්’ ඉස්ලාම් ආගම හරහා ඇති කර ගනී. (පිටු: 221) ඉස්ලාම් ආගමෙන් තල්ලූවක්, හයියක් සහ ජවයක් සැපයෙන බව ඇත්ත. එහෙත්, එය සැබෑ ප‍්‍රශ්නය පැහැදිළි කිරීමක් නොවේ. ආගම මගින් ප‍්‍රශ්නය ව්‍යාකූල කළ හැක. බරපතල කළ හැක. එහෙත්, ප‍්‍රශ්නය ඇති කරන්නේ ඒ මගින් නොවේ. මෙසේ කියන විට තවත් කාරණයක් සිහියේ තබා ගත යුතුය. එසේ වූ පමණින්, මුස්ලිම් ආගම පැත්තකින් තැබිය හැකි නොවේ. ඒ ගැන ෆුලර් මෙසේ කියයි: ‘ඉස්ලාමීය දහම තුළ පැවති බුද්ධිමය ප‍්‍රාණය සහ ගවේෂණ කුහුල මරණයට පත්වීම නිසා, ඉස්ලාමීය දර්ශනය, විද්‍යාව සහ තාක්ෂණය කෙරෙහි ඉස්ලාමීය දේවධර්මවාදය තුළ පැවති නිර්මාණාත්මක චින්තනය පරිහානියට ගියේය. චින්තනය සහ විමර්ශනය පරයා, ආගමික පූජා විධි සහ පටු නෛතිකත්වයන් ඉස්මත්තට ආවේය. මුස්ලිම් බුද්ධිමය ප‍්‍රාණය නිරුද්ධ වීම, මුස්ලිම් විද්‍යාව පිරිහී යාමෙන් මොනවට පෙන්නුම් කෙරේ. ඊටත් වඩා, පොදුවේ ගත් විට, විද්‍යා සහ තාක්ෂණ වර්ධනය කෙරෙහි ඔවුන් තුළ ඇති වූ නිශ්ක‍්‍රීය භාවය ඊට දෙස් දෙයි. බොහෝ මුස්ලිම් ප‍්‍රතිසංස්කාරකවරුන් කෙළේ, බටහිර ලෝකය තාක්ෂණික දෘඩාංගවල ගබඩාවක් වශයෙන් ගැනීමයි. එය කෙරුණේ, එම ආගමේ සාරය තුළ පැවති ඉතා වැදගත් සංස්කෘතික සහ බුද්ධිමය මෘදුකාංග පරිහරණයට නොගනිමිනි. (පිටු:280).

අරාබි ලෝකයේ බහුතරයක් ඡන්දයෙන් බලයට පත්වන නායකයන් නොවේ. එසේම ඔවුන්ගේ රටවල බහුතරයක් ජනතාව අතරේ අප‍්‍රසාදයට පත්ව ඇති බටහිරවාදී ප‍්‍රතිපත්තිවලට එම නායකයෝ මුල් තැන දෙති. (පිටු:289). බටහිර ලෝකය මොන තරම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කෑගැසුවත්, මේ කියන මුස්ලිම් රටවල පවතින මානව හිමිකම් සහ සිවිල් අයිතීන් උල්ලංඝණයන් ඉවසා වදාරති. ඇත්ත වශයෙන්ම බටහිර ලෝකය කර තිබෙන්නේ, මැද පෙරදිග පැවති සැබෑ විමුක්ති ව්‍යාපාර පොඩිපට්ටම් කර දැමීමයි. එයම, ලතින් ඇමරිකාවේදීත් සිදු කෙරුණි. මෙවැනි මුස්ලිම් රටවල ආගමික නායකයන් ඉන්නේ, පාලන තන්ත‍්‍රයේ සාක්කුවේය: (පිටු:325). එසේම, ඒකාධිපති පාලන තන්ත‍්‍රයන් බොහොමයක් පවතින්නේද මුස්ලිම් ලෝකයේ ය.

අවසාන වශයෙන්, ‘ඉස්ලාම් ආගමෙන් තොර ලෝකයක්’ තිබුණත්, වෙනත් ග‍්‍රහ ලෝකයකින් පිරිසක් පැමිණ පෘථුවිය ආක‍්‍රමණය කරනු ලැබුවොත් මිස, මේ ලෝකයේ ගහමරා ගන්නා ගැටුම් දිගටම පවතිනු ඇත. එසේ නම් අප සියල්ලන්ම කළ යුත්තේ, වාර්ගිකත්වය, පාට සහ ආගම කුමක් වුවත්, ඒ ගැටුම්වලට එරෙහිව නැගී සිටීමයි. (පිටු:162).

මේ අදහස පිළිබඳ මගේ නම් එතරම් විශ්වාසයක් නැත. මන්ද යත්, අවස්ථාවේ හැටියට, පිටස්තරින් එන මුළුමණින් නන්නාඳුනන බලවන්තයන් සමග එක් වී, තමන් සමග එකට වෙසෙන, අඩු වෙනස්කම් සහිත අසල්වාසී පිරිස්වලට එරෙහිව කටයුතු කළ අවස්ථා ඉතිහාසයේ අනන්තවත් සඳහන් වන බැවිනි. බෙදා වෙන් කොට පාලනය කිරීම කවදත් සාර්ථක වන්නේය. හෝමෝ සේපියානුවන් වන අපේ, බොහෝ විට, ‘සිතීමේ’ අඩුවක් පවතී. (හෝමෝ සේපියන් යනු, ලතින් භාෂාවෙන් ගත් විට, ‘සිතනපතන මිනිසා’ ය). ගැඹුරු ව්‍යුහයන් තේරුම් ගැනීම, මූල හේතු සහ පේ‍්‍රරණයන් තේරුම් ගැනීම වැදගත් ය. මන්ද යත්, ඒ මගින් විසඳුමකට ළඟා වීමක් ගැන විශ්වාසය තැබිය හැකි බැවිනි. කළ යුතුව ඇත්තේ, පහසුවෙන් සුදනා වීමට බැලීම නොව, අවබෝධය ඇති කර ගැනීමට අරගල කිරීමයි.

මහාචාර්ය චාර්ල්ස් සර්වන්

(2016 මැයි 27 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Graham E Fuller: A World Without Islam නැමැති ලිපියේ සිංහල පරිවර්තනය (අවසාන කොටස)‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)


-  මෙලනි



2016-06-04
Advertisement

Find us on Facebook