English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ ට පහරදීම රජය හෙලා දකී

B37A9655..

මාධ්‍යවේදියකුට පහර දීම ශ්‍රී ලංකාවේ වත්මන් රජය විසින් පළමු වතාවට හෙලා දැක තිබේ.

මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ අද පෙරවරුවේ මීගමුව මහනගර සභාවේ මාසික රැස්වීම වාර්තා කිරීමට පැමිණ රැස්වීම් ශාලාවෙන් පිටතට පැමිණ තම මෝටර් රථයට නගින්නට උත්සාහ කළ අවස්ථාවේ පොලු ප්‍රහාරයක් දීම නිවට බියගුළු ක්‍රියාවක් ලෙස හඳුන්වන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, එය හෙලා දකිමින් නිවේදනයක් නිකුත් කර ඇත.

පහර දීම පිළිබඳව සොයා බලා සැකකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙසත්, මාධ්‍ය නිදහස පිළිබඳ ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරුවකුද වන ෆ්‍රෙඩී ගමගේ ට ආරක්ෂාව සලසන ලෙසත් පොලිසියට උපදෙස් දී ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක ගේ අත්සනින් යුත් නිවේදනයේ සඳහන් වේ.

එල්ල කල ප්‍රහාරය බරපතල නොවන අතර  ඔහුගේ ජීවිතයට හානියක් සිදුවීමට තිබූ අවස්ථාව මඟහැරී ඇති බව ෆ්‍රෙඩී ගමගේ ගේ සංස්කාරකත්වයෙන් මීගමුව කේන්ද්‍ර කොට පල කෙරෙන මීපුර ප්‍රකාශනය විසින් දැනුම් දී ඇත.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව ෆ්‍රෙඩී ගමගේ පොලිසියේ පැමිණිල්ලක් කර තිබේ.

මීගමුව නියෝජ්‍ය නගරාධිපති

මීගමුවේ නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසා තමන්ට මැර තර්ජනය කර ඇති බව සඳහන් කරන ප්‍රෙඩී ගමගේ කියා ඇත්තේ ඔහුට සම්බන්ධ පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට තමන්ට සැක පළවන බවයි.

දයාන් ලංසා සහ නියෝජ්‍ය ඇමති නිමල් ලංසා ඇතුළු ඔවුන්ගේ ඥාතීන් සම්බන්ධ චෝදනා රැගත් වාර්තා මීපුර වෙබ් අඩවියේ දිගින් දිගටම පල වී තිබුණි.

මෑතදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා  අධිකරණ භුමියේදී  මාධ්‍යවේදීන්ට අසභ්‍ය වචනයෙන් බැණ වැදීමත් කිලිනොච්චියේ මාධ්‍යවේදියකු වන ධර්මලිංගම් පරමසිවම් ට  ව්‍යාපාරිකයකු විසින් එල්ල කරන ලද මරණ තර්ජන සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ නොපවත්වන බවත් ජනමාධ්‍ය ඔස්සේ පල විය.

ඊට ඉහතදී පොලිසිය හා ගැටී මියගිය අයකු පිලිබඳ අධිකරණ පරීක්ෂණයක් වාර්තා කිරීමට ඇඹිලිපිටියට ගිය මාධ්‍යවේදීන්ට පොලිසිය බාධා පැමිණවීම පිළිබඳව රජය කණගාටුව පල කොට තිබුණි.

එහෙත්, ඒ කිසිම අවස්ථාවක රජය විසින් හෙලා දැකීමක්, වගකිව යුත්තන් නීතිය ඉදිරියට පැමිණවීමක් හෝ අදාළ මාධ්‍යවේදීන්ට ආරක්ෂාව සැපයීමක් සිදු වී නොමැත.

උපුටා ගැනීම - ගගන http://www.radiogagana.com

ඡාය - මීපුර


2016-06-02
Advertisement

Find us on Facebook