English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පොලිසිය විසින් සැකකරුවන් අමානුෂික වධහිංසා වලට ලක් කරනු ලබන බව එක්සත් ජාතීන්ගේ නියෝජිතයා හෙළිකරයි
වධහිංසාව හා කෲර, අමානුෂික හෝ අවමන්සහගත සැලකීම් හෝ දඬුවම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ජුවාන් ඊ මෙන්ඩෙස් පසුගිය අප්‍රේල් 29 දා සිට මාර්තු 7 වන දා දක්වා ශ්‍රී ලංකා රජයේ ආරාධනාව අනුව ලංකාවේ සංචාරයක නියුක්ත විය. මෙම සංචාරයේ දී දිවයින පුරා වූ බන්ධනාගාර, ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් පවත්වාගෙන යන රැඳවුම් ස්ථාන, හමුදා කඳවුරුවල රැඳවුම් ස්ථාන හා පුනරුත්ථාපන කඳවුරුවල තත්වය ඔහු විසින් නිරීක්ෂණය කළ අතර ආරක්ෂක අමාත්‍යංශය, විදේශ අමාත්‍යංශය ඇතුලු රජයේ අමාත්‍යංශවල නියෝජිතයින් සමග ද අදහස් හුවමාරු කර ගනු ලැබීය. මෙම සංචාරය අවසානයේ වධහිංසාව සම්බන්ධව ලංකාවේ දැනට පවතින තත්වය පිළිබඳ නිරීක්ෂණ හා නිර්දේශ ඇතුළත් ප්‍රකාශනයක් ඔහු විසින් නිකුත් කරන ලදී. පහත දැක්වෙන්නේ 2016.05.29 දින සමබිම රාවය ඉරිදා සංග්‍රහය තුල පලවු එම ප්‍රකාශනයේ ඇතුළත් ප්‍රධානතම නිරීක්ෂණ කිහිපයක් ආශ්‍රයෙන් සකස් කළ සාරාංශගත සටහනකි.

2015 ජනවාරි මාසයේ හා එම වර්ෂයේම අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවේ පැවැති මැතිවරණවලදී ජනතාව ලබා දුන් තීන්දුව ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ලබා දුන් ජනවරමක් ලෙස සැලකිය හැක. මේ ජනවරම සමග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව නැවත පිහිටුවීම ආදී ප්‍රශංසනීය ප්‍රතිසංස්කරණ ඇති කිරීමට නව රජය ක්‍රියාකොට තිබේ. 

කෙසේ වූවද රට තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා කළ යුතු තවත් බොහෝ ප්‍රතිසංස්කරණ පවතී. වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් ලංකාව සතුව තිබෙන අතීත වාර්තාව ප්‍රශ්න සහගත වාර්තාවකි. වධහිංසා සිදුවීම වැළැක්වීම සඳහා ප්‍රතිසංස්කරණ මාලාවක් සිදුවිය යුතුව තිබෙන අතර එම ප්‍රතිසංස්කරණවල දී පහත දැක්වෙන ප්‍රශ්න විශේෂයෙන් ආමන්ත්‍රණය විය යුතුය. 

වධහිංසා පැමිණවීමේ සුලභත්වය

ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 11 වගන්තිය අනුව වධහිංසාව හෝ කෲර, අමානුෂික හා අවමන්සහගත සැලකීම්වලින් නිදහස්ව ජීවත් වීම ලංකාවේ ජනයා සතු මූලික අයිතිවාසිකමකි. 1994 දී ලංකාව වධහිංසාව පිළිබඳ පනත සම්මත කළ අතර එය විසින් වධහිංසාව අපරාධ වරදක් බවට පත්කොට තිබේ. මෙම පනත සම්මත කරන ලද්දේ වධහිංසා වැළැක්වීමේ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ විධිවිධාන අනුව යමිනි. කෙසේ වූවද රැඳවුම්භාරයේ සිටින රැඳවියන් හා රැඳවුම්භාරයෙන් නිදහස් කළ අය සමග කළ සාකච්ඡාවල දී පැහැදිලි වූයේ වධහිංසාව යොදාගැනීම ලංකාව තුළ තදබල ලෙස මුල්බැස ගෙන තිබෙන බවත් විශේෂයෙන් අපරාධ විමර්ශන අංශය විසින් කරනු ලබන විමර්ශනවල දී වධහිංසාව සුලභ ලෙස යොදාගැනෙන බවත්ය. තවද ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් කරනු ලබන විමර්ශනවල දීද සැකකරුවන්ට වධ දීම බහුල ලෙස සිදු වේ. යුද්ධය පැවැති කාලයට වඩා එවැනි සිදුවීම්වල යම් අඩුවීමක් වර්තමානයේ දී දැකගැනීමට පුළුවන් වූව ද අවාසනාවකට මෙන් ශාරීරීක හා මානසික වධදීම් තවමත් ලංකාවේ පොලිසිය විසින් යොදාගනු ලැබේ. රැඳවියන් විසින් ලබාදුන් ප්‍රකාශ මෙන්ම අපරාධ වෛද්‍ය විද්‍යා සාක්ෂි ද අධ්‍යයනය කළ විට මෙම කරුණ වඩාත් පැහැදිලි වේ. 

මිට මොලවා පහර දීම, කම්මුල් පහර දීම, පොළු හා ක්‍රිකට් පිති ආදියෙන් පහර දීම ආදිය බහුල වශයෙන් යොදාගන්නා වධහිංසා ක්‍රමවේදයන්ය. මෙවැනි පහරදීම් විසින් ප්‍රකටව පෙනෙන තුවාල ශරීරයේ ඇති නොකරයි. ඇතැම් අවස්ථාවල මීට වඩා දරුණු වධහිංසක ක්‍රමවේදද යොදාගනු ලැබ ඇත. පොලු හා වයර් පාවිච්චි කොට යටිපතුලට පහර දීම, රැඳවියන්ගේ හිස පහලට එල්ලෙන පරිදි වහලයේ එල්ලා පහර දීම, භූමිතෙල්වල පෙඟවූ ප්ලාස්ටික් මලු තුළට රැඳවියන්ගේ හිස ඇතුළු කොට හුස්ම ගන්නා ලෙස බල කිරීම, මුහුණේ හා ඇස්වල මිරිස් කුඩු තැවරීම, ලිංගික අවයවවල මිරිස් කුඩු හා ලූණු ආදී දැවිල්ල ඇතිවෙන ද්‍රව්‍ය ඇතිල්ලීම හා ලිංගික අවයවවලට පහර දීම ආදිය මෙබඳු වධහිංසක ක්‍රමවේදවලට ඇතුළත්ය. ඇතැම් අවස්ථාවල මෙබඳු වධදීම් කෙටි කාලයක් සඳහා සිදුවූවත් තවත් ඇතැම් අවස්ථාවල දින ගණන්  හා ඇතැම් විට සති ගණන් පවා මෙවැනි වධදීම්වලට මුහුණ දීමට රැඳවියන්ට සිදු වී තිබේ. 

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ බලපෑම

ජාතික ආරක්ෂාව හා සම්බන්ධ අපරාධ විමර්ශනය සඳහා යොදාගන්නා විශේෂ නීතියකි ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත. මෙම පනත අනුව මාස 18 ක් දක්වා වූ කාලයකට පුද්ගලයින් රඳවා තබාගැනීමට ආරක්ෂක අංශවලට බලය ලැබේ. මාස 4 කට වරක් මහේස්ත්‍රාත්වරයෙක්ට රැඳවුම් නියෝග විමර්ශනය කිරීමේ බලය ඇත. මෙම පනත යටතේ රඳවනු ලැබූ පුද්ගලයින් හා කළ සාකච්ඡාවල දී හෙළි වූයේ රට පුරා වූ අපරාධ විමර්ශන අංශයේ හෝ ත්‍රස්ත විමර්ශන ඒකකයේ රැඳවුම් ස්ථානවලට ඔවුන් වරින් වර මාරු කරනු ලැබූ බවත් එහි දී නීතිඥ සහය ලබාගැනීමට හෝ අඩු තරමින් පවුලේ සාමාජිකයින් සමග සන්නිවේදනය කිරීමට හෝ ඔවුන්ට අවස්ථාව නොලැබුණු බවත්ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 15 (අ) වගන්තිය අනුව මෙම පනත යටතේ අත්අඩංගුවට ගත් රැඳවියන් රක්ෂිත බන්ධනාගාරගත නොකොට ත්‍රස්ත විමර්ශන ඒකකයේ රැඳවුම් ස්ථානවල රඳවා තබා ගත හැක. වධහිංසාවලට බහුල වශයෙන් මෙබඳු රැඳවියන් ගොදුරු වන්නේ එහිදීය. 

මෙම පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ අය මහේස්ත්‍රාත්වරයා ඉදිරියට පැමිණවීම පිළිබඳ තිබෙන ප්‍රතිපාදන ප්‍රමාණවත් ආරක්ෂාවක් ඔවුන්ට ලබා දෙන්නේ නැත. සුලභව සිදුවන්නේ ආරක්ෂක ලේකම් විසින් ඉල්ලා සිටින රැඳවුම් නියෝග කිසිදු විචාරයකින් තොරව මහේස්ත්‍රාත්වරයින් විසින් ලබාදීමය. ඔවුන්ට රැඳවුම් භාරයේ දී මුහුණ දෙන්නට සිදුවන වධහිංසා පිළිබඳ ප්‍රමාණවත් මැදිහත්වීමක් අධිකරණය පාර්ශවයෙන් සිදු නොවේ. මේ පනත යටතේ රඳවා සිටින අය බොහෝ විට එල්ටීටීඊ සංවිධානයට ආධාර කිරීම පිළිබඳ චෝදනා ලැබූ අය වෙති. මෙවැනි නඩු මහාධිකරණයේ වසර ගණනක් දිග්ගැස්සෙමින් තිබෙන අතර ඒ කාලය පුරාවට විත්තිකරුවන්ට රැඳවුම්භාරයේ සිටීමට සිදු වේ. කිසිදු වරදකට වරදකරු නොවී හුදෙක් සැක පිට වසර දහයකට වඩා රැඳවුම්භාරයේ තබනු ලැබූ පුද්ගලයින් කිහිප දෙනෙක් සම්මුඛ සාකච්ඡා අතරතුර දී හඳුනාගැනීමට හැකි විය. ඇතැම් රැඳවියන් ඇප මත මුදා හැර තිබෙන අතර තවත් අය පුනරුත්ථාපනය සඳහා කඳවුරුගත කොට ඇත. මෙම පුනරුත්ථාපන ක්‍රියාවලිය වර්ෂයක කාලයක් පවතින අතර එය වර්ෂයක කාලයක් සඳහා ඔවුන් රඳවා තබාගැනීමක් ලෙස සැලකිය හැක. කෙසේ වූවද සියලු සැකකරුවන් පුනරුත්ථාපනය සඳහා යොමු නොකෙරේ. පුනරුත්ථාපනයට පුද්ගලයින් තෝරාගන්නා නිර්ණායක මොනවාදැයි පැහැදිලි නැත. කෙසේ වූවද බන්ධනාගාර හා සසඳන විට පුනරුත්ථාපන මධ්‍යස්ථානවල තත්ත්වයන් සාපේක්ෂව යහපත්ය. 

රජය ජාතික ආරක්ෂාව හා බුද්ධි අංශ කටයුතු පිළිබඳ නව නීති හඳුන්වාදීමට ක්‍රියාකරන බවට තොරතුරු ඇත. මෙලෙස හඳුන්වා දෙන නීති අවශ්‍යයෙන්ම අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම, වධහිංසා පැමිණවීම ආදියට එරෙහි ප්‍රතිපාදන ඇතුළත් කරගත යුතු අතර සැකකරුවන්ට නීතිඥ සහය ලබාගැනීමට තිබෙන අයිතිය හා ආරක්ෂක අංශවල කටයුතු අධිකරණ සුපරීක්ෂණයට ලක්කිරීමට අදාළ විධිවිධාන අන්තර්ගත කරගත යුතුය. 

බලහත්කාරයෙන් පාපොච්චාරණ ගැනීම

ලංකාවේ අපරාධ විමර්ශන පද්ධතිය තුළ සැකකරුවන්ගෙන් බලහත්කාරයෙන් පාපොච්චාරණ ගැනීම දිරිගන්වන ආකාරයේ සාධක කිහිපයක් පවතී. පලමුව, අපරාධ විමර්ශන ක්‍රියාවලිය තුළ සැකකරුවන්ගේ පාපොච්චාරණවලට විශාල තැනක් ලැබී තිබේ. පොලිස් විමර්ශනවල ප්‍රාථමික මෙවලම ලෙස පෙනෙන්නට තිබෙන්නේ සැකකරුවන්ගෙන් ලබාගන්නා බලහත්කාරී පාපොච්චාරණයන්ය. 

දෙවනුව, මූලික විමර්ශනයක් සිදුකොට සැකකරු අත්අඩංගුවට ගන්නවා වෙනුවට සැකකරු මුලින් අත්අඩංගුවට ගෙන පසුව විමර්ශන කටයුතු මෙහෙයවීමේ පුරුද්දක් ලංකාවේ පොලිසිය අනුගමනය කරයි. මෙය ද වධහිංසා පමුණුවා තොරතුරු දැනගැනීමට පොලිසිය මෙහෙයවෙන සාධකයකි. මේ පිළිබඳ ලංකාවේ බලධාරීන්ගේ පැහැදිලි කිරීමක් වන්නේ ලංකාවේ අපරාධ නීතිය අනුව එලෙස ලබාගන්නා තොරතුරු අධිකරණයේ දී සාක්ෂි ලෙස පිළි නොගැනෙන බවයි. කෙසේ වූවද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගන්නා පාපොච්චාරණ අධිකරණයේ දී සාක්ෂි ලෙස පිළිගනු ලබයි. මේ කවර අවස්ථාවක දී වුව සිදුවන්නේ සැකකරු වධයට පාත්‍ර වීමය. 

අධිකරණයේ හා අභිචෝදකයින්ගේ භූමිකාව 

වධහිංසා වැළැකවිීම සඳහා ස්වාධීන හා අපක්ෂපාතී අධිකරණයක් පැවැතීම අතිශයින් වැදගත්ය. අධිකරණයේ භූමිකාව ද්විත්ව ස්වභාවයක් ගනී. පළමුව, යම් වධදීමක් ගැන තොරතුරක් ලැබුණු විට ඒ පිළිබඳ විමර්ශනය කිරීම අවශ්‍යයය. දෙවනුව, එවැනි වධදීම් සිදුවීම වැළැක්වීම සඳහා නීතියේ පවතින ආරක්ෂණ විධිවිධාන නිසි ලෙස බලාත්මක කළ යුතුය. 

ප්‍රායෝගිකව ලංකාවේ අධිකරණ හා අභිචෝදකයන් මෙම කරුණ සම්බන්ධයෙන් දක්වන ආකල්පය ස්ථිතිකය. අපරාධ නඩුවල දී පොලිසිය ඉදිරිපත් කරන පැහැදිලි කිරීම් මත පමණක් පදනම්ව කටයුතු කිරීමේ නැඹුරුවක් අධිකරණය තුළ පවතී. අපරාධ සිදුකරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අභිචෝදක පාර්ශවයේ වගකීමය. එහෙත් ඒ සමගම වධහිංසා පැමිණවීම හා සාක්ෂි විකෘති කිරීම ආදී වූ ක්‍රම මගින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අවභාවිතා කිරීමට එරෙහිව සක්‍රීය ක්‍රියාමාර්ග ගැනීම ද අභිචෝදක පාර්ශවයේ වගකීමය. බරපතලකමින් අඩු වැරදි සඳහා ඇප ලබාදීම, වධහිංසා පිළිබඳ සැකයක් ඇති වූ වහාම නිසි වෛද්‍ය පරීක්ෂණ සඳහා නියෝග කිරීම සහ එම වෛද්‍ය පරීක්ෂණ නිසි ප්‍රමිතියෙන් යුක්ත බවට වගබලා ගැනීම, වධහිංසා සඳහා වගකිව යුතු කවර හෝ පාර්ශවයන්ට එරෙහිව චෝදනා ගොනුකොට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අධිකරණයේ හා අභිචෝදකයින්ගේ වගකීම වේ. ■


උපුටා ගැනීම -  සමබිම 


-  මෙලනි





2016-05-31
Advertisement

Find us on Facebook