English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ඔබ අඳුරු කොදෙව්වට කැන්දන් යාද කුමාරි

අනුර සේනානායක ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියකු පමණක් නොව ගායකයකු ද වේ. ඔහුගේ ගී ජනප්‍රිය ය.

තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් මවිසින් ලියූ සටහනක අදහස වුණේ එවැනි දේ කරන්නට මහින්ද රාජපක්ෂ රජයට හෝ රාජපක්ෂ පවුලට හෝ උවමනාවක් ඇතැයි සිතිය නො හැකි බවයි. (රාජපක්ෂ රජවරුන්, කුමාරවරුන් හා බැලයන් පුනරුත්ථාපනය කිරීම)

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වූ අවස්ථාවේදී ද මා තර්ක කළේ රාජපක්ෂ ආණ්ඩුව සිවරාම්, ලසන්ත වික්‍රමතුංග වැනි ජනමාධ්‍යකරුවන් ඝාතනය කළේ ඔවුන් දේශපාලනික වශයෙන් දැඩි ලෙස අභියෝගාත්මක වූ නිසා බවයි. ප්‍රගීත් වැනි අයෙකු මරා දමන්නට ඔවුන්ට උවමනාවක් නැති බව මගේ අදහස විය. (ප්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳ කතිකාව නව මානයකට | The dialogue on Prageeth Ekneligoda moves to a new dimension - කිඹුලකු නොවී ඔහු ගැන සිතමු)

අන්තර් විශ්වවද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් දෙදෙනෙකුගේ මරණය ගැන රජයට චෝදනා කරද්දී මම නම් සිතුවේ එය ඉතා මුග්ධ කුමන්ත්‍රණ න්‍යායක් බවයි.

එහෙත්, අවසානයේදී මා ලියූ දේ දෙස මට ස්වයං විවේචනාත්මකව බලන්නට සිදු වී තිබේ. දැන් යන පරීක්ෂණ අනුව පෙනී යන්නේ විනෝදය සඳහා මිනීමැරීමක් ද එකල සිදු වී තිබේ ය කියා ය.

එවැනි ක්‍රියාවලට ආවරණය සැපයූ දේශපාලකයන්, නිලධාරීන් හා සාමාන්‍ය ජනයා විශාල පිරිසක් මේ රටේ සිටිය හ. ඔවුන් එසේ කළේ එක්කෝ වරප්‍රසාද වෙනුවෙනි. නැතිනම් බයට ය. එහෙමත් නැතිනම්, අවනීතිය එකල සාමාන්‍ය තත්වය වී තිබුණු බැවිනි.

එකල පැවති තත්වය නිරූපණය කිරීමට හොඳම උදාහරණය රට පුරා ම පොලිස් නිලධාරීන් විසින් කරන ලද අපරාධ සැකකරුවන් ඝාතනය කිරීමේ ක්‍රියාවලියයි. එය කෙතරම් සාමාන්‍ය දෙයක් බවට පත් වුණේ ද යත්, භයානක අපරාධයක් සිදු වූ වහා ම ජනමාධ්‍ය හා සාමාන්‍ය ජනයා අපේක්ෂා කළේ ම ඒ සැකකරුවන් මරා දැමිය යුතු බවයි. තම අපේක්ෂාව ඉටු කළ පොලිසිය කෙරෙහි ඔවුන් මහත් ආදරයක් ද ප්‍රකාශ කළ අතර ජනමාධ්‍ය මේ ඝාතන වාර්තා කළේ පොලිසිය විසින් මරා දමන ලද මිනිසුන් කෙරෙහි තව තවත් වෛරය කුළු ගන්වමින් පොලිස් ක්‍රියාමාර්ගය සාධාරණීකරණය වන සේ ය.

පොලිසිය අවි පෙන්වන්නට යන මුවාවෙන් අපරාධ සැකකරුවන් රැගෙන ගොස්, ඔවුන් පැන යන්නට උත්සාහ කළ බව කියා වෙඩි තබා හෝ ගඟක ගිල්වා මරා දැමුවේ ය. ඒ කිසිවෙක් කිසිදු කලක නීතිය ඉදිරියේ අපරාධකරුවන් වන්නේ නැත. හේතුව ඔවුන්ට සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමේ අයිතිය නො ලැබුණු බැවිනි. එසේම, එම අපරාධවලට ඇත්තෙන් ම සම්බන්ධ නැති, පූර්ව විනිශ්චයන් නිසා ජනතාවගේ හා පොලිසියේ වෛරයට ලක් වූ මිනිසුනුත් එසේ මරා දමන්නට ඇත.

මෙම ඝාතනවලට අධිකරණ රැකවරණය පවා ලැබිණි. පොලිසිය ඔවුන් සම්බන්ධයෙන් කියන කරුණු බොරු බව කවුරුත් දැන සිටිය හ. එහෙත්, ඒවා අධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන්නට හැකියාවක් නො තිබිණි.

මෙම ක්‍රියාවලිය ද දේශපාලන මෙහෙයවීමකින් යුක්ත එකක් වූ බව ඔප්පු වන්නේ 2015 ජනවාරි 8න් පසු දේශපාලන අනුග්‍රහය අහිමි වී යාමෙන් පසු ඒවා සිදු නො වන නිසා ය.

රාජපක්ෂ පාලනය යටතේ පොලිසිය පත් වූ තත්වය පෙන්වීමට හොඳම නිදසුන වන්නේ හිටපු පොලිස්පතිවරයකුට එල්ල වී තිබෙන මත්ද්‍රව්‍ය චෝදනා ය. එම පොලිස්පතිවරයා හොර රහෙසේ ම රටින් පළා ගියේ ය. මේවා පිළිබඳ තවමත් පරීක්ෂණ සිදු වන්නේ නැත.

නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන කුලියට මිනී මරා අසු වී දැන් හිරේ ය. සාමාන්‍ය කුලී මිනීමරුවන් තමන්ගේ දරුවන් එවැනි ක්‍රියාවලට සම්බන්ධ කර නො ගත්තත්, මේ ඉහළ පෙළේ තාත්තා ගේම් දී ඇත්තේ සිය පුතයා ද සමග ය.

අනුර සේනානායක මේ පොලිස් ප්‍රචණ්ඩත්වයට හා අපරාධකරණයට උඩගෙඩි දුන් තවත් නිලධාරියෙකි.

රජයේ සේවයේ ඉහළ නිලධාරීන්ට ඉහළ සමාජ සුරක්ෂිතභාවයක් තිබේ. ඔවුන්ට සාමාන්‍යයෙන් හොඳ වැටුප් ලැබේ. මැරෙනකල් මහජන මුදලින් විශ්‍රාම වැටුප් ද ලැබේ. තවත් වරප්‍රසාද රැසක් ද ඇත. 

ඔවුන් කටයුතු කළ යුත්තේ නීති ප්‍රකාරව ය. දේශපාලන ඇණැවුම් අනුව නො වේ. අනුර සේනානායකට ගෙවන්නට සිදු වන වන්දිය වනාහි රජයේ සේවකයන්ට නැවත වතාවක් උගන්වන පාඩමකි.

අජිත් පැරකුම් ජයසිංහ
උපුටා ගැනීම - W3
http://www.w3lanka.com/2016/05/blog-post_24.html



2016-05-28
Advertisement

Find us on Facebook