English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මේ වන විට නීතියේ ආධිපත්‍යට බරපතලම තර්ජනය එල්ලවී ඇත්තේ නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන වලින්මය.......



අභියෝග බාර ගැනීම සහ නීතියේ ආධිපත්‍යය !


‘‘ඔවුන් නීතියේ ආධිපත්‍යට බරපතල අභියෝගයක් එල්ල කරා අපි එ් අභියෝගය බාර ගන්නවා’’ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ එසේ ප‍්‍රකාශ කළේ පසුගිය දවසක, කුරුණෑගල ප‍්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් වධහිංසා පමුණුවා ඉන් එක් අයෙක් ඝාතනය කිරීමෙන් පසුුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
 
මෙම ඝාතනයේ ප‍්‍රධාන සැකකරු බවට පොලීසිය විසින් හැඳින්වූ පුද්ගලයා අත් අඩංගුවට ගැනීමෙන් පසුව, මැයි 17 වනදා ඔහු ප‍්‍රකාශ කළේ ‘‘පොලිස් නිලධාරින් දෙදෙනෙක් පැහැරගෙන ගිහිල්ල එක් නිලධාරියෙක් ඝාතනය කරල එම අපරාධකරුවන් නීතියේ ආධිපත්‍යට අභියෝගයක් එල්ල කරා, අපි එ් අභියෝගය සාර්ථකව ජයග‍්‍රහණය කළා’’ කියාය. එම ප‍්‍රකාශය රටේ සාමාන්‍ය ජනතාවට යම් ආශ්වාදයක් ඇති වන එකක් විය හැක. එම ආශ්වාදය දෙගුන තෙගුන වන්නට ඇත්තේ ඊට පසුදා ය. එනම් පෙර දිනයේ අත් අඩංගුවටගත් සැකකරු සඟවාතිබූ ආයුධ පෙන්වීමට ගොස් පොලීසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් මියගිය පුවත ඇසීමෙනි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අප විමසා බැලිය යුතු ප‍්‍රධාන කාරණා දෙකක් ඇත. ඒ, අත්අඩංගුවටගත් සැකකරුවන් සඟවා තිබූ ආයුධ පෙන්වීමට ගොස් පොලීසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් මිය යාම සහ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පවසන නීතියේ ආධිපත්‍යට අභියෝග කිරීමයි.

ඉන් පළමුවැන්න නම් දැනට වසර ගනණාවක් තිස්සේ අඛණ්ඩව සිදුවෙමින් පවතින නීති විරෝධි ලෙස සැකකරුවන් ඝාතනය වීම රට තුල සාමාන්‍ය සිදුවීමක් බවට පත්වීමයි. මුලින් එය අහඹු සිදුවීමක් ලෙස පෙනුනද පසුව එය පොලීසිය විසින් රචනා කර රඟ දක්වන ත‍්‍රාසජනක කෙටි නාට්‍යක් බව හැම දෙනාටම වටහාගත හැකි විය. සැකකරුවෙකු එසේ සැඟවූ ආයුධ පෙන්වීමට ගොස් වෙඩි හුවමාරුවකදී මියගිය බවට වන පුවතක් අසන කිසිවෙකු දැන් පුදුම  වන්නේ හෝ දුක් වන්නේ නැත. ඒ සම්බන්ධයෙන් කිසිදු හැඟීමක් ප‍්‍රකාශ කරන්නේ ද නැත.
 
ජනතාවගේ මෙම නිහඬ අනුමැතිය හේතුවෙන්ම පොලීසියට මෙම නීති විරෝධි කි‍්‍රයාව අපහසුවකින් තොරව සහ වීර කි‍්‍රයාවක් ලෙස කරගෙන යාමට හැකිවී ඇත.

මේ පිළිබඳව රටේ සාමාන්‍ය ජනතාව සිතන සහ ඔවුන්ට සිතීමට පොළඹවන ආකාරය පිළිබඳ නිදසුනක් මැයි 20 වන අඟහරුවාදා දිවයින කතු වැකියෙන් මනාව පිළිබිඹු වේ. එම කතු වැකියේ තැනක මෙසේ සඳහන් වේ.

‘‘........ එහෙත් ස්තී‍්‍ර දුෂකයන් කුඩු කාරයන් වැනි අය ආයුධ පෙන්වීමට යද්දී ඇති වන හබ වලින් මිය යෑම ගැන ජනයා මහත්සේ සතුටුය. මන්ද මේ රටේ එල්ලූම් ගස වැඩ කරන්නේ නැත. කොහොමටත් ස්තී‍්‍ර දුෂකයන්ට හෝ ළමයින් අපහරණය කරන අයට මරණ දණ්ඩනය දෙන්නේ ද නැත. එ් නිසා ආයුධ බැලීමට යෑමේදී හෝ මේ අපරාධකරුවන්ට මරණ දණ්ඩනය හිමිවිය යුතු බවට මතයක් සමාජ සාධාරණත්වයට ගරු කරන ජනතාව තුළ ඇත. එ් නිසා ආයුධ පෙන්වන නීතිය අපරාධකරුවන් එක්ක යෑමට මග වියදම් හෝ යාන වාහන පොලීසියට නැත්නම් එවා තම සාක්කුවෙන් හෝ ලබාදීමට පොදු ජනතාව එකඟ බව අපගේ විශ්වාසය ය.’’

‘‘ආයුධ පෙන්වීමට යෑම සහ එහි ජාතික වැදගත්කම’’ යන ශීර්ෂය යටතේ ලියා තිබූ එම කතු වැකිය ආරම්භ වන්නේ මෙසේය.
 
‘‘කුරුණෑගලදී රාතී‍්‍ර මුර සේවයෙහි (නිරායුධව) යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් දරුණු වධ දී ඉන් එක් අයකුට වෙඩි තබා මරා දැමූ මිනීමරුවන්ගේ නායකයා පොලිස් වෙඩි පහරින් මියගිය බව දැනගත් විට පොලීසියට හෝ හමුදාවට අත තබා ලේසි පුතකුට ගැලවිය නොහැකිය යන මතය අප තුළ තහවුරු විය. අදාල පුද්ගලයා මිය ගොස් ඇත්තේ ‘‘ආයුධ පෙන්වීමට’’ ගිය ගමනේදී ය.’’

එය සම්පූර්ණ සත්‍යකි. පසුගිය දිනවල එ් පිළිබඳව අපට ජනමාධ්‍ය මගින් ම දැන ගන්නට ලැබුනි. පසු ගිය දෙසැම්බර් මස මාතර ප‍්‍රදේශයේ දී ඝාතනය වූ පොලිස් නිලධාරියා සහ බිරිඳ ගේ ඝාතකයින් සියළු දෙනාම පොලිස් අත්අඩංගුවේ සිටියදී හෝ අත්අඩංගුවට ගැනීමට යාමේදී ඝාතනය විය. (මෙම අත් අඩංගුවට ගැනීම් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකයද යොදා ගැණුනි) මෙවැනි උදාහරණ කිහිපයක්ම පසුගිය කාලයේදී දක්නට ලැබුනි.

එ් නිසාම මේ වන විට පොලිස් අත් අඩංගුවට පත්වන සැකකරුවන් පිළිබඳව ඔවුන්ගේ පවුල් වලටත් මේ සම්බන්ධයෙන් උනන්දු වන මානව හිමිකම් ක‍්‍රියාකාරීන්, මානව හිමිකම් පිළිබඳව උනන්දු වන පුද්ගලයන් හා මාධ්‍යවේදීන්ටත් දැන් ඇත්තේ බරපතල බියකි. එම බිය දෙගුන තෙගුන කරමින් මෙම (ජුනි) මාසයේ මුල් සතියේම අත්තනගල්ල ප‍්‍රදේශයේ දී තරුණයෙකු පොලිස් වෙඩි පහරින් ඝාතනය විය. ඔහු එ් වන විට යම් අපරාධයක සැකකරුවකු හෝ පොලිස් අත් අඩංගුවේ සිටි අයෙකු හෝ නොවේ. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක වරයා එ් සම්බන්ධයෙන් මුලින්ම ප‍්‍රකාශ කලේ ‘‘පොලිස් නිලධාරීන් ප‍්‍රකාශ කරන්නේ එම තරුණයින් පොලිස් නිලධාරීන් සිටි දෙසට යතුරු පැදිය ධාවනය කර පොලිස් නිලධාරීන් යටකර යෑමට උත්සාහ කල විට දී මෙම වෙඩි තැබීම සිදුවූ බවයි.’’ මේ වන විට එම ඝාතන සිදුවීම සම්බන්ධයෙන් වගකිව යුතු පොලිස් නිලධාරීන් අත් අඩංගුවට ගෙන ඇත. නමුත් එම තරුණයාගේ පියා ප‍්‍රසිද්ධියේම මාධ්‍යට ප‍්‍රකාශ කලේ ‘‘මගේ අහිංසක කොල්ලට වෙඩි තිබ්බ. දැන් මොකක් හරි බොරුවක් කියයි.’’ යනුවෙනි. එ් අනුව සිදුවීම හැම දෙනාටම පැහැදිළිිය.

දැන් තත්වය අනුව පොලිසිය කුමන අවස්ථාවක දී තමන්ට වෙඩි තබාවිදැයි කිසිවෙකු දන්නේ නැත. පොලිසිය පවසන ආකාරයට රටේ අතිබහුතරයකට තම පවුලේ කුමන සාමාජිකයා පාතාලයට සම්බන්ධ දැයි දැනුමක් ද නැත. එය දැන ගත හැකි වන්නේ පොලිස් වෙඩි තැබීමකින් ඝාතනය වූ විටය. එ් නිසා ඉදිරියේ දී පොලිස් අත් අඩංගුවට පත් වන සැකකරුවන්ගේ ඥතීන් විසින් වහාම කල යුතු වන්නේ අත් අඩංගුවට පත් තම ඥාතියාව කුමන හේතුවක් මත හෝ ආයුධ සෙවීමට රැගෙන නොයන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටීමයි. ආයුධ පෙන්වීමට ගිය එකෙක් පන පිටින් නැවත නොපැමිනීම ඊට හේතුවයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ගේ අදහස් දැක්වීමට අනුව පොලිස් නිලධාරීන්ට ප‍්‍රහාර එල්ල කිරීම නීතියේ ආධිපත්‍යට අභියෝග කිරීමකි. එසේ කල සැකකරුවන් කිසිදු නීතිමය ක‍්‍රියාවකට භාජනය නොකර ඝාතනය කිරීමෙන් නීතියේ ආධිපත්‍යට, නීතිය රැකීමට සිටින පොලිසිය මගින් සිදුවන බරපතල හානිය පිලිබඳව කිසිවක් නොකියයි. ඔහුගේ ප‍්‍රකාශවලට අනුව පොලිසියට පහරදීම සහ පොලිස් නිලධාරීන් ඝාතනය නීතියේ ආධිපත්‍යට අභියෝග කිරීමක් වන අතර එසේ කල බවට පොලිසිය සැකකරන අපරාධකරුවන් ඝාතනය කිරීම නීතියේ ආධිපත්‍යට එල්ල කල අභියෝගය ජය ගැනීමකි. අපට එලෙස හැඟී යන්නේ සැකකරුවන් ඝාතනය වීම දිගින් දිගටම සිදුවුවත් එය වලක්වා ගැනීමට පොලිසිය පැත්තෙන් කිසිදු උත්සාහයක් නොගැනීම පමනක් නොව එය එලෙස සිදු වීම ඉතා සාධාරණ ක‍්‍රියාවක් ලෙස හුවා දැක්වීමයි.

එ් අනුව මේ වන විට නීතියේ ආධිපත්‍යට බරපතලම තර්ජනය එල්ලවී ඇත්තේ නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන වලින්මය. අවාසනාවකට රටේ බහුතරයක් ජනතාවට එ් පිලිබඳව අවබෝධයක් නොමැත. එසේ වන්නේ නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන විසින් ඔවුන් ගේ මර්ධන කාර්යයන් සඳහා ප‍්‍රයෝජනයට ගන්නා මාධ්‍ය මගින් ද විසුරුවා හරිමින් තිබෙන තර්ජනාත්මක ප‍්‍රචාරයන්ට අවනත වීමයි. සමාජයක් ලෙස පොදුවේ කල්පනා කරන සහ ක‍්‍රියාත්මක වන තත්ත්වයක් ඉදිරියේ දී අප විසින් දැනුවත්ව ඇති කරගන්නා තුරු මෙම අවිනීතියෙන් ගැලවීමට සමාජයක් ලෙස අපට නොහැකි වනු ඇත.

-    වසන්ත රනිල් 
 




2014-07-19
Advertisement

Find us on Facebook