English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ගංවතුර ආපදාවට මුහුණදී සිටින ඔබ සැලකිලිමත්විය යුතු කරුණු !

ඇදහැළුණු මහා වර්ෂාවත් සමග ගංගා පිටාර ගැලීම හා පහත්බිම් වලට ජලය එක්රැස්වීම නිසා දිවයිනේ ප්‍රදේශ රැසක ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් විපතට පත්ව සිටිති. උන්හිටිතැන් අහිමිවූ ඔවුන් බොහෝ දෙනා මේ වනවිට තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන වල පසුවෙති. මෙවැනි ගංවතුර ආපදා තත්වයකදී ඔවුන් විසින් තම සෞඛ්‍ය සංරක්ෂණය හා ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමුකළ යුතුය. එනම් පිරිසිඳු ජලය සපයා ගැනීම, සෞඛ්‍ය ආරක්‍ෂිත ආහාර සපයා ගැනීම, බෝවන රෝග වලින් ආරක්ෂා වීම, ගංවතුරෙන් ආරක්ෂාවීම හා විෂකුරු සතුන්ගෙන් ආරක්ෂාවීම යන කරුණුයි.

ගංවතුර ආපදා තත්වයකදී දෙගොඩ තලා යන තරම් ජලය පැවතුනද පිරිසිඳු ජලය බින්දුවක් හෝ සොයා ගැනීම ඉතාම දුෂ්කර කාර්‍යයකි. ජල නල පද්ධති විනාශවීම හා ළිං ගංවතුර මගින් අපවිත්‍රවීම මෙම තත්ත්වය අත්වීමට ප්‍රධාන වශයෙන් හේතුවේ. නමුත් ජීවිතය පවත්වා ගැනීමට නම් පිරිසිඳු ජලය අත්‍යාවශ්‍ය සාධකයකි. එබැවින් ආපදා කඳවුරු වල වෙසෙන සහෝදර ජනතාව මේ පිළිබඳව ප්‍රමුඛ අවධානය යොමුකළ යුතුය. ජලය මගින් බෝවන පාචනය, අතීසාරය හා උණසන්නිපාතය වැනි රෝග සාදන විෂබීජ ගංවතුරත් සමග සුළභව ව්‍යාප්තවීම මගින් ආපදාවට ලක්ව සිටින ඔබ තව දුරටත් රෝගී විය හැකි බැවින් ජලය නටන තුරු හොඳින් උණුකර නිවා ආරක්ෂිතව ගබඩා කර තබාගෙන පානය කිරීම ඉතා වැදගත් වේ.

ආහාර මගින්ද මෙවැනි තත්වයකදී රෝග බෝවීමේ හැකියාව පවතින බැවින් ඒ පිළිබඳවද ජනතාව අවධානයෙන් පසුවිය යුතුය. අහාර හොඳින් තම්බා මැස්සන් හා කැරපොත්තන් වැනි ආහාර දුෂණය කරන කෘමී සතුන්ගෙන් ආරක්ෂා කරගෙන වැඩි කල් නොයවා පිසගත් පසු හැකි ඉක්මනින් ආහාර ලබා ගැනීම ඉතා වැදගත් වේ. මෙවැනි ආපදා තත්ත්ව වලදී බොහෝ මානුෂීය ගුණාංග සහිත සහෝදර ජනතාව විසින් විපතට පත් පිරිස් වෙනුවෙන් පිසූ ආහාර ගෙනගොස් ලබා දීමට උනන්දු වේ. නමුත් එම ආහාර යම් කිසි ස්ථානයක සකස්කර ඇසුරුම්කර විපතට පත් ජනතාව වෙත ගෙනයාමේදී විශාල කාලයක් ගතවීම සිදුවේ. එමගින් එම ආහාර පිළුණු වීම සිදුවේ. එවැනි ආහාර ලබා ගැනීම සෞඛ්‍ය තර්ජන ඇතිකිරීමට හේතුවන බැවින් ඒ පිළිබඳව ආහාර ලබා දෙන මෙන්ම ලබා ගන්නා පිරිස් සැලකිලිමත් වියයුතුය. එසේම, විතැන්වූ ජනතාව වෙසෙන තාවකාලික රැඳවුම් ස්ථාන වල නිසි පරිදි කසල කළමනාකරණය කිරීම හා වැසිකිලි කැසිකිලි පිරිසිදුව පවත්වා ගැනීමද ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ඉතා වැදගත්වේ. ඒ මන්ද යත් අවිධිමත් ආකාරයෙන් කසල බැහැරලීම මගින් මැස්සන් බෝවීම සිදුවන අතර එම මැස්සන අපවිත්‍ර වැසිකිලි හා කැසිකිලි වලින් ජනනය වන විෂබීජ හාත්පස පතුරුවා හරින බැවිනි.

තවද අහිතකර පරිසර තත්වයන් හමුවේ අධික ජන ඝනත්වයක් සහිතව ජීවත්වීමට සිදුවීම හා ජලය හා ආහාර මගින් ව්‍යාප්තවන රෝග වලට ගොදුරුවීමට සිදුවීම වැනි කරුණු මගින් තාවකාලික රැඳවුම් ස්ථාන  වල වෙසෙන ජනතාව අතර බෝවන රෝග සීග්‍රයෙන් ව්‍යාපත්වීමට හැකියාව පවතී. එබැවින් යම්කිසි රෝග ලක්ෂණයක් ඇතිවුණු වහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යාවශ්‍ය වේ. එමගින් තමන් මෙන්ම අන්‍යන්ද රෝග බෝවීමෙන් ආරක්ෂා කරගැනීමේ හැකියාව ලැබේ.

ඉහත සඳහන්කළ කරුණු තුන පිළිබඳව ජනතාව සාමාන්‍ය උනන්දුවක් දැක්වුවද ගංවතුරෙන් බේරී ආරක්‍ෂිත ස්ථාන වලට පැමිණි ඔබට පෙරලා ගංවතුරෙන් ආරක්ෂාවීමට පැවසීම ගැටළුසහගත විය හැකිය. ඔබ ගංවතුරෙන් ආරක්ෂාවී ආරක්‍ෂිත ස්ථානයකට පැමිණ සිටියද විශේෂයෙන් ඔබේ කුඩා දරුවන් හා තරුණ දූ පුතුන් පවා ගංවතුරේ බැස ක්‍රීඩා කිරීමට හා විනෝද වීමට දැඩි කැමැත්තක් දැක්වීම සුලභ තත්ත්වයකි. ගංවතුරේ ඔරු පැදීම වැනි විනෝද ජනක හා අභියෝගාත්මක ක්‍රියා වල නිරතවීමට අප බොහෝදෙනා කැමැත්තක් දක්වන බව නොරහසකි. නමුත් ගංවතුරෙන් ආරක්ෂාවී ආරක්‍ෂිත ස්ථානයකට පැමිණි ඔබ එවැනි අනාරක්ෂිත ක්‍රියාවක නිරතවීම මගින් අනතුරේ වැටීමට ඇති හැකියාව විශාලයග ගංවතුර සමග අප පෙර දැන සිටි මං මාවත් හා පාලම් බෝක්කු පවා විනාශවී තිබීමට පිළිවනග ඒ ගැන නොදැන ඒවා පෙර පරිදිම ඇතැයි සිතා අනාරක්ෂිතව ජලයේ බැස යාම මගින් ඔබට ඔබගේ වටිනා ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය හැකිය.

තවද ගංවතුරෙන් පීඩාවට පත්ව උන්හිටිතැන් අහිමි වන්නේ මිනිසුන්ට පමණක් නොවේ, අප පරිසරයේ ජීවත්වන ලොකු කුඩා සත්ව විශේෂ වලටද ඒ ඉරණම පොදුය. එම සතුන්ද නොනැසී ජීවත්වීම සඳහා හිස් ළු ළු අත ගමන්කිරීම සිදු කරයි. එම සතුන් අතර සිටින විෂකුරු කෘමි සතුන් හා සර්ප විශේෂ මගින් තාවකාලික රැඳවුම් කඳවුරු වල වෙසෙන ජනතාවට අනතුරු සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳවද ජනතාව අවධානයෙන් පසුවිය යුතය. තවද කිඹුලන් වැනි විශාල උරගයන් පවා සැඩ පහරට හසුව ගසාගෙන ගොස් විවිධ ස්ථාන වල අප නොදැනුවත්ව රැඳී සිටීමට ඉඩ ඇත.

මෙවැනි සිදුවිය හැකි සෞඛ්‍ය අවධානම් තත්ත්ව හා අනතුරු පිළිබඳව තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන වල රැඳී සිටින සොහොදර ජනතාව නිරන්තර අවබෝධයෙන් හා විමසිල්ලෙන් පසුවීම කාලෝචිතය.      


   සුපුන් ළහිරු ප්‍රකාශ් - prakashtgsl@gmail.com
                         ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය
 

-  මෙලනි




2016-05-21
Advertisement

Find us on Facebook