English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සැමරීම සහ ශෝක වීම මැයි 19 අභියෝගයයි
 
මීට අවුරුදු හතකට කලින් මැයි 19 වැනි දා උතුරේ සටන් බිමේ යුද්ධය නිමා විය. මෙය සැමරීම යම් භේදකාරී තත්වයකට තුඩුදෙයි. යුද ජයග‍්‍රහණයට හිමිකම් කී කලින් පැවති ආණ්ඩු කාලයේ මේ සැමරුම විජයග‍්‍රහණයක සිරිය ගත්තේය. හමුදා පෙරට්ටු සහ බහුතර සිංහල ප‍්‍රජාවේ හැඟීම්වලට ආමන්ත‍්‍රණය කෙරුණු, සුළුතර ප‍්‍රජාවන්ගේ හැඟීම් රිදවූ, පටු, වාර්ගික සහ ජාතිකවාදී දේශන එම සැමරුම්වල ප‍්‍රධාන තැනක් ගත්තේය. ඒ සමගම, එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබඳ සිහිපත් කිරීම් තබා, උතුරේ මියගිය සිවිල් වැසියන් සිහිපත් කිරීම් පවා නතර කිරීමට එදා ආණ්ඩුව පියවර ගත්තේය. ඒ අනුව, අවසාන සටන් ඇවිළුණු උතුරේ ජනතාව මළගියවුන් සිහිපත් කිරීම සඳහා මේ දිනයේදී ආගමික ස්ථානවල වුව ඒකරාශී වීම් තහනම් කෙරුණි.

එහෙත් අලූත් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මේ තත්වයේ වෙනසක් දැකිය හැකි විය. එවක් පටන් පැවති සැමරුම් උත්සවවලත් හමුදා පෙරට්ටු සහ ඊට අදාළ දේශන පැවැත්වුවද, එහි පරිමාව අවම කෙරුණු අතර, ජාතිකවාදී මාත‍්‍රාවත් අඩු කෙරුණි. මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් අලූත් ආණ්ඩුව මේ දවස ‘සිහිපත් කිරීමේ දවසක්’ වශයෙන් නාමකරණය කිරීම ඒ අතින් වැදගත් වෙනසක් සනිටුහන් කෙළේය. කෙසේ වෙතත් එය පූර්ණ වෙනසක් නොවුණි. පෙර පරිදිම, ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් හමුදා පෙරට්ටු පැවැත්වුණි. රටේ භෞමික එක්සත් භාවය සහතික කර දුන් ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්හි පරිත්‍යාගශීලී කැප වීමත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ බෙදුම්වාදය පරදා ලද ජයග‍්‍රහණයත් ප‍්‍රධාන තේමාවන් විය.

ගිය වසරේ මැයි 19 වැනි දා උත්සවයේදී ජනාධිපතිවරයා යුද්ධයේදී ඇති වූ සාමාන්‍ය මිනිස් ජීවිතවල විනාශය ගැනත් කතා කෙළේය. එය, යුද ජයග‍්‍රහණය සැමරීමක් අපේක්ෂා කරන දකුණේ සිංහල ජාතිකවාදීන්ගේවත්, මළගියවුන් සිහිපත් කිරීමක් අපේක්ෂා කරන උතුරේ දෙමළ ජනතාවගේවත් මනදොළ සැපිරීමට සමත් නොවුණි. කෙසේ වෙතත්, ආණ්ඩුවේ යම් බුරුලක් පෙනෙන්ට තිබුණි. ඒ අනුව, උතුරේ වැසියන්ට සිය මළගියවුන් වෙනුවෙන් ආගමික වතාවත් කිරීමේ අවසරය දෙන ලදි. ඒවා, අවසාන සටන් සිදු වූ බිමේ පවා පැවැත්වුණි. එයින් එක් බහු-ආගමික සැමරුම් උත්සවයක් සඳහා යාපනේ අන්තර්-ආගමික කමිටුවේ එක් බෞද්ධ භික්ෂුවක්ද සහභාගී විය.

අනියත සැමරුම

මෙවර මැයි 19 සමරන්නේ කෙසේද යන්න ගැන තවම යම් අනියත භාවයක් තිබේ. ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය කියන පරිදි, මෙවර හමුදා පෙරට්ටුවක් නොපැවැත්වීමට තීරණය කොට තිබේ. උතුරේ පැවැත්වෙන උත්සව සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය වන්නේ, උතුරේ මියගියවුන් සැමරීම කළ හැකි වෙතත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය සැමරීමක් නොකළ යුතු බවයි. මන්ද යත්, එය ත‍්‍රස්තවාදයේ නියැලූණු, මහ පරිමාණයෙන් මානව හිමිකම් උල්ලංඝනය කළ, ළමා සොල්දාදුවන් බඳවා ගත් සහ මිනිසුන්ව පලිහක් වශයෙන් පාවිච්චි කළ සංවිධානයක් වන බැවිනි. එසේම එම සංවිධානය රට බෙදීමටද බැලූවේය. රටේ එක්සත් භාවය වෙනුවෙන් කැප වී සිටින, බෙදුම්වාදය නීතියෙන් තහනම් කොට ඇති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකට අනුව රට පාලනය කරන බවට ප‍්‍රතිඥා දී ඇති ආණ්ඩුවකට, එවැනි සංවිධානයක විනාශය ගැන ශෝක වීමට ඉඩ දිය නොහැක.

ආණ්ඩුව මේ අවස්ථාවේ ජාතික සංහිඳියා මාවතක රට ගෙන යාමට කැප වී සිටින බව පැහැදිළි ය. සිංහල ජනතාව අතරේ පටු ජාතිකවාදී සහ වාර්ගික හැඟීම් උත්සන්න කෙරෙන පරිදි මේ සංවත්සරය පැවැත්වීම ජාතික සංහිඳියාවට අනතුරුදායක බව අතීතයේදී විවේචනයට ලක්වුණි. යුද්ධය අවසානයකට පත් කළ ආකාරය, යුද කලාපයේ එදා සිරව සිටි දෙමළ ජනතාවට ක්ෂිතිමය අත්දැකීමක් විය. යුද්ධයේ අවසාන මාස කිහිපයේදී සිවිල් ජනතාව ඇතුළු උතුරේ විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. ඒ සම්බන්ධයෙන් දෙමළ ජනතාවගෙන් නැගුණු යුද අපරාධ චෝදනා නිසා ශ‍්‍රී ලංකා ආණ්ඩුව ජාත්‍යන්තරය ඉදිරියේ චූදිත රටක් බවට පත්වූ අතර, සිදු වූ දේවල් පිළිබඳ වගවීමක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාද සම්මත වුණි.

රටවල් අතරේ කෙරෙන යුද ජයග‍්‍රහණයන් සැමරීම මෙන් නොව, රටක් ඇතුළේ සිදුවන සිවිල් යුද ජයග‍්‍රහණයක් සැමරීම වඩාත් සංකීර්ණ ය. දෙවැනි ලෝක යුද්ධයේදී නට්සිවාදී ජර්මනියට එරෙහිව ලද ජයග‍්‍රහණය සහ ඇමරිකාවේ සිවිල් යුද්ධය තුළ දකුණේ ප‍්‍රාන්ත පාලනයන් පරදා උතුරේ ප‍්‍රාන්ත පාලනයන් ලද ජයග‍්‍රහණය සැමරෙන්නේ, එකිනෙකට වෙනස් ආකාරයෙනි. ඇමරිකානු සිවිල් යුද්ධ ජයග‍්‍රහණය සැමරෙන්නේ, උතුර විසින් දකුණු යටපත් කොට ලද ජයග‍්‍රහණයක් වශයෙන් නොව, රාජ්‍ය සංගමය පරදා රටේ එක්සත් භාවය ලැබූ ජයග‍්‍රහණයක් වශයෙනි. එසේම, වහල් ක‍්‍රමය පරාජය කළ ජයග‍්‍රහණයක් වශයෙනි. ඇමරිකානු සිවිල් යුද්ධය සැමරෙන ආකාරය සඳහන් ප‍්‍රකාශනයක මෙසේ සඳහන් වෙයි:

‘‘750,000 ක් ජීවිතක්ෂයට පත්වුණි. 4,000,000 ක් නිදහස් කර ගැනුණි. 1 ජාතියක් ආරක්ෂා කෙරුණි. මේ සිවිල් යුද්ධය තුළ සහෝදරයා සහෝදරයාට එරෙහිව සටන් වැදුණු නිසා 1861 සිට 1865 දක්වා ඇමරිකානු එක්සත් රාජ්‍යය කඩා වැටුණි. එය අපේ ජාතික ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයකි. සියලූ ඇමරිකානුවන් සඳහා සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් එක දිගටම කෙරෙන අරගලය ඇතුළු එම යුද්ධයේ හේතු සහ ප‍්‍රතිවිපාක අදටත් රැව්දෙයි. සටන් බිම්වල සිට ප‍්‍රධාන පෙරමුණු දක්වා වූ යුද්ධයේ විනාශය අති විශාල ය… ඉන් උගත් පාඩම් සදාතනික ය.’’

පිළිතුරක් සකසා ගැනීම

ඒ අනුව, ශ‍්‍රී ලංකාවේ ඇති වුණේද සිවිල් යුද්ධයක් මිස, පුරවැසියාට එරෙහි පුරවැසියාගේ යුද්ධයක් මිස, විදේශ හතුරෙකුට විරුද්ධව ගෙන ගිය යුද්ධයක් නොවන බව මතක තබා ගත යුතුය. අලූත් ආණ්ඩුව දෙමළ ජනතාවගේ සිත්සතන් සන්සිඳුවීමට සේම පසුගිය ආණ්ඩුව අත්‍යන්තයෙන් අසමත් වූ ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමටත් යම් පියවරයන් ගනිමින් සිටීම අගේ කළ යුතුය. ඉඩම් සහ වෙනත් සම්පත් දෙමළ ජනතාවට යළි ලබා දෙන අතරේම, එම දෙමළ ජනතාවට සිය අදහස් උදහස් නිදහසේ ප‍්‍රකාශ කිරීම පහසු කරවන විශ්වාසයත් ආණ්ඩුව ඔවුන්ට සපයා දෙමින් සිටී. රටේ වෙසෙන සිංහල ජනතාව අතරේ ආණ්ඩුව අපහසුතාවට පත්කෙරෙන තරමින් පවා, දෙමළ දේශපාලඥයෝ සහ දෙමළ සිවිල් ක‍්‍රියාධරයෝ පූර්ණ නිදහස සහිතව සිය ජාතිකවාදී අදහස් උදහස් කියාපාති. මැයි 19 ‘සිහිපත් කිරීමේ දවසක්’ වශයෙන් ප‍්‍රකාශයට පත්කිරීමත්, ආණ්ඩුව ප‍්‍රතිපත්තිමය වශයෙන් ගත් නිවැරදි පියවරකි.

දෙමළ ජනතාව කෙරෙහි සංවේදී වීමට ආණ්ඩුව මෙවැනි ප‍්‍රයත්නයන් ගන්නා අතරේම, යුද්ධාවසානය යනු, එල්.ටී.ටී.ඊ, විනාශයෙන් සහ ත‍්‍රස්තවාදයෙන් ගැලවුණු විජයග‍්‍රහණයක් වශයෙන් සළකන දකුණේ සිංහල ජනතාවගේ සහාය නැති කර නොගැනීමටත් වෙහෙස විය යුතුය. පාලන බලය හෙබැවූ විවිධ ආණ්ඩු සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර පැවැති විවිධ සාකච්ඡාමය ක‍්‍රියාමාර්ගයන් අසාර්ථකත්වයට පත්වීම හේතු කොටගෙන, ශ‍්‍රී ලංකාව භූගෝලීය වශයෙන් බෙදී වෙන්වීම අවසානයේදී වැළැකුණේ ශ‍්‍රී ලංකාව ලද හමුදාමය ජයග‍්‍රහණය හේතුවෙනි. එසේ රට එක්සත්ව තබා ගැනීමට දිවි පිදූවන්ගේ ගුණ සැමරීම් වස් රටේ නොයෙක් තැන්වල බස් නැවතුම් පොළවල් සහ ප‍්‍රජා ශාලාවන්, නෑ හිතවතුන්ගේ සහ ප‍්‍රජා සංවිධානවල ආධාරයෙන් නාමකරණය කොට තිබේ. ඔවුන්ගේ ජීවිත පරිත්‍යාගයන්ට ගරු කළ යුතුව තිබේ. ඒවා අගය කළ යුතුව තිබේ. තවත් එවැනි අභ්‍යන්තර යුද්ධයක් මතුවට ඇති වීම වැළැක්වීම සඳහා ඒවා ආදර්ශයට ගත යුතුව තිබේ.

සිංහල, දෙමළ සහ මුස්ලිම් ආදී සෑම ජන වර්ගයකටම එකට ගමන් කළ හැකි දිසානතිය වන්නේ රටේ එක්සත් භාවයයි. මැයි 19 වැනි දා යුද්ධය අවසන් කළ දිනය සේම ජීවිත විශාල සංඛ්‍යාවක් විනාශ කළ දිනයද වන්නේය. මෙහිදී එල්.ටී.ටී.ඊ සංවිධානය පරදවා ශ‍්‍රී ලංකා රාජ්‍යය ලද ජයග‍්‍රහණය සැමරීමට එක් පිරිසකට අවශ්‍ය වන අතර, තවත් පිරිසකට එම යුද්ධයේදී මියගිය අයවළුන් සිහිපත් කිරීමටත්, තවත් පිරිසකට, පරාජයට පත් එල්.ටී.ටී.ඊ. සංවිධානය අනුස්මරණය කිරීමටත් අවශ්‍ය වන්නේය. මේවා, විසඳීමට ඉතා දුෂ්කර, ඉතා හැඟීම්බර ප‍්‍රශ්න වන්නේය. එබැවින් එවැනි ප‍්‍රශ්න විසඳාගත හැක්කේ කෙසේද යන්න ගැන පුළුල් සංවාදයක් රටේ සෑම පෙදෙසකම වෙසෙන ජනතාව සමග මුලින්ම ආරම්භ කළ යුතුව තිබේ. එහි මුල් පියවර විය යුත්තේ, තිරසාර වෙනසක් සඳහා මාර්ගය විවර කළ හැකි වන සේ සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමයි. ප‍්‍රශ්න පිළිබඳ සංවේදීතාවක් ඔවුන් තුළ ඇති කිරීමයි. එවැන්නක් තවම සිදුවී නැත. මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යාම සඳහා ‘ජාතික සංහිඳියාව, සංවාදය සහ රාජ්‍ය භාෂා පිළිබඳ අමාත්‍යාංශය’ යෙදැවීමට ආණ්ඩුව කටයුතු සම්පාදනය කළ යුතුව ඇත.

ජෙහාන් පෙරේරා

(2016 මැයි 16 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Challenge of May19 is to Commemorate & to Mourn නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)

-  මෙලනි



2016-05-21
Advertisement

Find us on Facebook