English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


රට බේරාගැනිමේ සහ සංහාරයේ සිහිකිරිම් .....
යුද්ධයේ දි මැරණු සහ මරාදැමුණු මිනිසුන් සිහිකිරීම සඳහා මැයි 18 වෙනිදා,  දවස උතුරේද දකුණේද වෙන්කර තිබිණි. දකුණට අනුව එනම් ආණ්ඩුවට අනුව, සිය දිවි පරදුවට තබා කොටි ත‍්‍රස්තවාදින්ට එරෙහිව සටන්කර රට බේරාගත් විරෝදාර රණවිරුවන් ස්මරණය කිරීම රජයේ නිල උත්සවය විය. එය, බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණය අසළ රණවිරු ස්මාරකය අසළදී ද රාත‍්‍රි 7.30 ට නිදහස් චතුරශ‍්‍ර පරිශ‍්‍රයේදි ත‍්‍රිවිධ හමුදා පොලිස් සහ සිවිල් ආරක්‍ෂක බලකායන්වලට අයත් සංස්කෘතික කණ්ඩායම්වල සහභාගීත්වයෙන් සංස්කෘතික සංදර්ශනයක් ද පැවැත්විණි. මෙම නිල උත්සවයට යුද්ධයේදි ජිවිතක්‍ෂයට පත්වුණු හමුදා සෙබළුන්ගේ පවුල්වල ඥාතින් ද සහභාගි වු අතර නිල උත්සවය සංහිදීයාවේ පියසටහන් ලෙසට නම්කර තිබුණි.

රට තුළ, සංහිදියාව දෙසට, ඒ වෙනුවෙන් වර්ථමාන ආණ්ඩුව ගමන්කරමින් සිටින අවස්ථාවක යුධ ජයග‍්‍රහණයක් සැමරීමක් සිදුකළ නොහැකි බවත් එය සදාචාරයට ද පටහැනි යැයි රාජ්‍ය ආරක්‍ෂක ලේකම් පසුගිය සතියේදි ප‍්‍රකාශ කළේය. යහපාලන ආණ්ඩුවේ එම නව දැක්ම අගය කළ යුතුය. එය බොහෝ පිරිපුන් ආකල්පයකි. එහෙත්, එසේ කීව ද නිල උත්සවය තුළ සංහිඳියාව අර්ථ දක්වනු වස් යුද්ධයේදි නිරපරාදේ මිය ගිය දමිළ මිනිසුන්ගේ ඥාතින්ගේ නියෝජනයක් නම් නොතිබුණි. ජිවිතක්‍ෂයට පත්වුණු හමුදා සෙබළුන්ගේ ඥාතින් සහභාගිකර ගත්තා මෙන්, යුද්ධයෙන් බැට කෑ දමිළ මිනිස්සුන්ගේ ද නියෝජනයක් නිල උත්සවය තිබුණේ නම් මෛත‍්‍රි පාලනය වඩාත් නිවරැදි වන්නට,වඩාත් අර්ථවත් වන්නට තිබුණි. එහෙත් එය එසේ නොවුණි.


එහෙත් යුද්ධයෙන් උපරිමය බැට කෑ උපරිමය වන්දිගෙවන්නට සිදුවු උතුරේ නැගෙනහිර දමිළ මිනිස්සුන්, යුද්ධය නිසා ඝාතනයට ලක්වු සිය ඥාතින් සිහිකරන්නට, පැවති ඇතැම් භාධක මැඩගනිමින් පියවර ගත්තේය. යාපනය විශ්වවිද්‍යාල සිසුන් විශ්වවිද්‍යාල භුමියෙන් පිටත තැනූ විශේෂ පිඨීකාවක් මත ඝාතනයට ලක්වු සියලූම ඥාතින් මෙන්ම එල්ටීටීඊ සංවිධානයේ සෙබළුන්ව ද සිහිපත්කරන්නට විය. යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයට අනුව, "2009 මැයි මාසයේ දි පැවැති අවසන් යුද්ධයේදි දහස් ගණනක් දමිළ ජාතිකයින් ජිවිතක්‍ෂයට පත්වීම"එක් ජාතියක් මුහුණ දුන් දැවැන්ත ම සංහාරයක්’ය.

අවසන් සටන් නැතහොත් දශක තුනක් පුරාවට පැවති යුද්ධයේ දරුණුම අවස්ථාවන් නැතහොත් උච්චතම අවස්ථාවන් පැවතියේ මුලතිව් දිස්ත‍්‍රික්කයට අයත්  වෙල්ලමුල්ලිවයික්කාල් ප‍්‍රදේශයේදිය. මෙහි එක් සිහිකිරිමක් නොව සිහිකිරිම් ගණනාවක් පැවති බව දකුණේ විකල්ප මාධ්‍ය, උතුරේ මාධ්‍යය ද වාර්තා කළේය. උතුරු පළාත්සභාවේ මන්ත‍්‍රිවරුන්ගේ සංවිධානයෙන් යුතුව උතුරේ මහ ඇමති සී වී විග්නේස්වරන් සහ දෙමළ ජාතික සන්ධානයේ වන්නි හා යාපනය දිස්ක‍්‍රික්කවල පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් ද උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් සහ පළාත් මන්ත‍්‍රිවරුන්ගේ ද සහභාගිත්වයෙන් පෙරවරු 9.00 ට පළමු ස්මරණ වැඩසටහන වෙල්ලමුල්ලිවයික්කාල් ප‍්‍රදේශයේදි පැවැත්විණි. යුද්ධය විසින් ඝාතනයට ලක් කළ සියලූම දෙනා සිහිකිරිම සඳහා විනාඩි පහක නිශ්ශබ්දතාවක් රැකීමෙන් අනතුරුව මහ ඇමති විග්නේශ්වරන් සැමරුම් අවශ්ථාව ආමන්ත‍්‍රණය කළේය.



එහිදි ඔහු කියා ඇත්තේ, ශ‍්‍රි ලංකා රජය යුධ අපරාධ පිළිබඳ පරීක්‍ෂණ නොසළකා හරින්නේ නම්, එය යුද්ධයේදි මිය ගිය දහස් සංඛ්‍යාත තමන්ගේ දෙමළ ඥාතින්ට කරනු ලබන ද්‍රෝහිකමක් , අවමානයක් බවයි. එමෙන්ම සංහිඳියාව වෙනුවෙන් යුධ අපරාධ පරීක්‍ෂණ අත්හරින්නට නොහැකි බව අවධාරණය කළ මහ ඇමති විග්නේශ්වරන් , සැළසුම් සහගතව ම්ලේච්ඡ ආකාරයෙන් සිදුකළ අපරාධ වලට දඩුවම් නොකිරීම තුළ, ඉදිරියටත් එසේ කළහොත් ආණ්ඩුව තමන් ආරක්‍ෂාකරාවි යැයි යුධහමුදාවට විශ්වාසයක් ගොඩනැගෙනු ඇතැයි ප‍්‍රකාශ කළේය. තවද, ආණ්ඩුවේ අභිලාෂය වි ඇත්තේ අපරාධකරුවන්ට ගැලවී යාමට ඉඩහැරීම යැයි චෝදනා මුඛයෙන් පැවසීය. එසේ කිරීම සංහිදියාව නොවන්නේ යැයි හෙතෙම කීහ.

"සංහිඳියාව ඇතිවෙන්න නම්, පළමු කොට අපගේ ජනතාවට යුක්තිය ඉටුවිය යුතුයි. එමෙන්ම මියගිය අපේ ජනතාවගේ ආත්මයට සැනසීමක් ලබාදීමට නම් යුධ අපරාධ පරික්‍ෂණ අනිවාර්යෙන්ම පැවැත්විය යුතුයි. එම පරික්‍ෂණ ක‍්‍රියාවලිය දියත්කිරීමට යුක්ති ගරුක සිංහල නායකයින්  පියවර  ගත යුතුයි" යැයි ප‍්‍රකාශ කළේය.

 
එමෙන්ම පස්වරු 4.00 ට ද අනුස්මරණ වැඩසටහනක් පැවති අතර යළිත් පස්වරු 4 .30ට  මුල්ලිවයික්කාල් ශාන්ත පාවුළු දේවස්ථානයේදි අනුස්මරණ දේව මෙහෙයක් පැවත්වා ඇත. මේ සඳහා කතෝලික පුජක පැවිදි පිරිසක් සමඟ මියගිය පවුල්වල ඥාතීන් විශාල පිරිසක් දේව මෙහෙයෙට සහභාගි වී ඇත. එමෙන්ම කිලිනොච්චියේ්දී ද යුද්ධයේදි මියගිය සරත් ජීවන් පියතුමා සිහිකරනු වස් දේවමෙහෙයක් පවත්වා ඇත.
 
දැල් වු පහන් , ඉටි පහන් සහ මල් තබා යුද්ධයෙන් මරාදමනු ලැබු සිය ඥාතින් සිහිපත් කළේ මෙලෙසින්ය ............