English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


2009 මැයි 19 සහ 2016 මැයි 19
 2009 මැයි  18-19
මැයි 19 වනදා, ශ‍්‍රි ලංකා ඉතිහාසයට එක්වුණු එක්තරා සුවිශේෂනීය දවසක් ලෙසට පාලන තන්ත‍්‍රයන් විසින් ද ජනතාව විසින් ද ස්මරණය කරනු ලබයි. ඒ්, දශක තුනක කාලයක් පුරාවට පැවති දරුණු යුද්ධය නිමාකරමින් ශ‍්‍රී ලංකා රාජ්‍ය ආරක්‍ෂක හමුදාවන් විසින් එල්ටීටීඊ ත‍්‍රස්තවාදි සන්නද්ධ සංවිධානයේ නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ඇතුලු සෙසු නිලයන් ඝාතනය කිරීමත් එම ඝාතනය කොටි ත‍්‍රස්තවාදය නිම කිරීමක් ලෙසට අර්ත දැක්වීමත් නිසාය.

අවසන් යුද්ධයේදි අවි බලය ශක්තිමත්ව පැවතියේ රාජ්‍ය ආරක්‍ෂක හමුදාවන් අතය. එල්ටීටීඊය සතු බලයේ හීනතාවය තුළ සහ රාජ්‍ය හමුදාවන් විසින් සිය සතුරා විනාශ කිරීමට තමන් සතුව තිබු අවි බලය යෙදවූ ආකාරය අනුව, දහස් ගණනක් නිරායුධ දමිළ ජනතාව තොග ගණනින් අවසන් යුද්ධයේ්දි ඉතා ශෝචනීය ලෙසට මිය ගියහ.  ඒ අතර රජයේ හමුදාවන්ට භාර විමෙන් අනතුරුව තමන් සමඟ සිටි ජනතාවගේ ඉල්ලීමට ඇහුම්කන්දී  හමුදා බස්රථකයට නැගී ආරක්‍ෂාව සඳහා පිටත්ව ගිය ගරු ෆ‍්‍රැන්සිස් ජෝශප් පියතුමා ඇතුළු බස්රථයේ පිරෙන්න සිටී දමිළ මිනිස්සුන්ට සිදුවුයේ කුමක් ද කියා අදටත් කිසිවෙක් (හමුදාව) පිළිතුරු නොදෙයිි.



පැවති මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව විසින් දියත් කළ අවසන් සටන් මෙහෙයුම් , ආණ්ඩුව විසින් නම්කරනු ලැබුවේ මානුෂීය මෙහෙයුම් යන නාමයෙන් ය. ගිනි අවි, යුධ ටැංකි , සන්නද්ධ රථ, මොටාර් යොදා ගනිමින් ගොඩබිමින් සහ ගුවනින්ද සාගරයෙන් ද වටකරමින් දහස්ගණනින් ජනතාවට බිය ත‍්‍රාසය දනවමින් ඇස්පනාපිට සිය පවුලේ සාමාජීකයින්ගේ අත් පා ශරීරාංග අහිමිකරවමින් හා ජීවිත අහිමිකරවමින්, සිදුකළ සටන් මෙහෙයුම්, මානුෂීය මෙහෙයුමක් ලෙසට නම්කළේ කුමන පදනමක් මත ද යන්න තවමත් බුදු ප්‍රෙහෙලිකාවකි ? අවි අත දරා කරනු ලබන්නේ සටනක් ම මිස වෙන මොන මානූෂීය මෙහෙයුමක් ද ? මේ දිනවල ගංවතුරින් හා නාය යැමෙන් විපතට පත්වුවන් බේරා ගැනීමට ත‍්‍රිවිධ හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා සිවිල් ආරක්‍ෂක භටයින් විසින් දිවි පරදුවට තබා දියත් කරන්නේ නම් මානුෂිය මෙහෙයුමක්ය යන්න අවිවාදයෙන් යුතුව පිළිගත හැකිය.

 

කෙසේවෙතත්, අති දුක්ඛිත තත්ත්වයන් ද සමගින්, මියගියවුන් ගැන, අත්පා කැඞී වෙන්වී ආභාතයින් බවට පත්වුවන් ගැන, කිසිදු හැගීමක් හෝ එහි සේයාවක්වත් නොදත් සේ දකුණේ බහුතර ජනතාව වීථි බැස ජයග‍්‍රහණයේ ජය පැන් බොන්නට විය. මැයි 19 දින සිට සතියක් පුරාවට කිරිබත් කමින්, ගිණිකෙළි දමමින් , ප‍්‍රිතී ඝෝෂා කරමින් උත්සවශ‍්‍රීයෙන් උසස්ම තෘප්තියක් ලබාගත්තෝය. එම තෘප්තිය මෙම ලියුම්කරු දකින්නේ බහුතරයක් දකුණේ වැසියන් විඳගත් අධම මෙන්ම අමන තෘප්තියක් ලෙසටය. මන්ද එසේ ඔල්වරසන් දුන්නෝ සහ ජය පැන් බීව්වෝ යනු, එවැනි මානුෂික ඛේදවාචකයක් හරහා වුව ද සතුටු වන්නට තරම් හැකියාව ඇති අමානුෂික පිරිසක් මේ භුමියේ හිඳීම ගැනය.



මැයි 19 වෙනිදා අවි හරඹය නිමා විය. එහෙත් අර්බුදය නිමා නොවීය. අර්බුදයේ සුණු විසුණු වී ගිය කැබලි තැන තැන තවමත් විසදුම් ඉල්ලා සුසුම්ලති. කොටි ත‍්‍රස්තවාදය ඉවර යැයි උදම් ඇනු එවැනි මැයි 19 වෙනි දාවන් 06 ක් ගෙවී ගොස් දැන් 07 වෙනි වසරටත් පැමිණියේය. එහෙත් 2009 මැයි 19 වෙනිදා "සටන් නවතා " ලබාගත් ඒ් ජයග‍්‍රහණයෙන් නෙලාගත් ඵල, දමිළ මිනිසාගේ පාර්ශවයෙන් එතරම් ලැබී නොමැති නිසාය.  මන්ද, තවම දමිළ මිනිහාගේ සැබෑ ප‍්‍රශ්න වලට තිරසර පිළිතුරු ලැබී නැති හෙයිනි. මහින්ද රාජපක්‍ෂ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදි ප‍්‍රවාහයට ද දමිළ ජනයා පිවිසුණේය. එහෙත් එයින් සිදුවු සුගතියක් නොවීය. සියල්ල අහිමිවී අනාථ කඳවුරුවල සිටියවුන් හට ලෝක ආහාර සංවිධානයෙන් නොමිලේ ලබාදුන් වියළි ආහාර සළාකය ද මහින්ද ජනාධිපති විසින් නවතා දමා ලෝකයා හට කියා සිටියේ අධම කථාවකි. එනම්, "ලංකාවේ දැන් එකම අනාථ කඳවුරක්වත් නැහැ. සියලූම දෙනා නැවත පදිංචිකරලා ඉවරයි." යනුවෙන් ය. ඒ මහින්දගේ සංහිදීයාව ය. 

"දෙමළෙන් කථාකරල, පාරවල් බිල්ඩිං හැදුවා මිසක් අපේ ජීවිත ගොඩ නගන්න රාජපක්‍ෂ කරපු ඇති දෙයක් නැහැ. ඒ මදිවට රාජ්‍ය ආරක්‍ෂවටය කියලා අපේ වස්තුවත් රාජපක්‍ෂ බලහත්කාරයෙන් පැහැර ගෙන තියෙන්නේ. හොදින් කාලා බිලා අපේ ගෙවල් දොරවල් බලාගෙන ගොවිතැනයි ධිවර වැඩෙයි දෙකම කර ගෙන සන්තෝෂෙන් හිටපු අපි අද කිසිම දෙයක් නැතිව අනාථ වෙලා. අපේ ගම් බිම් ආණ්ඩුවෙන් අල්ලගෙන අපිට ආයේ දෙන්නේ නැහැ. ඒ නිසා අපි හිගන්නෝ බවට අද පත්වෙලා, හරිම අමාරුවෙන් ජීවිත ගැටගහගෙන ජිවත් වෙනවා. අපේ ජීවිත විනාශ කළා. ඇයි අපිට මෙහෙම කරන්නේ ?” කියා මහින්ද ජනාධිපතිගේ් සංහිදියාව ගැන කියා පෑවේ යාපනයේ නීදවාන් අනාථ කඳවුරේ ජීවත් වන ප‍්‍රෘතග්ජන දෙමළ කොල්ලන් කිහිප දෙනෙකි.  

මනුෂයින් හට විඳිය හැකි උසස්ම වේදනාවන්, පීඩාවන් විඳ පරාජිතව සිටී දමිළ මිනිසුන් , සිය "විමුක්තිය, සැනසීම හා යළි හිස එසවීම" පතා යළිත් වතාවක් 2015 වසරේදි මෛත‍්‍රි පාලන යුගය ඉහළින්ම තෝරාගත්තේය. ඉන් දෙමළ මිනිහාට ලැබුණු දෑ නැත්තේ නොවෙයි. එහෙත් ප‍්‍රධාන ප‍්‍රශ්නයට විසඳුම් ලැබීම තවමත් දෝලාවෙන් යන ගමනක් මෙන්ය. ඒ හැරුණු කොට, සිහිබුද්ධිය ඇති කවුරුත් දන්නා ලෙසට දමිළ මිනිසාට සිදුවුුණු අසාධාරණයක් අයුක්තියක් ඇත. සැළසුම් සහගතව ම්ලේච්ඡ අයුරින් ක‍්‍රියාවට නැංවු අපරාධවලට සාධාරණ විනිශ්චයක් තිබිය යුතුය. මන්ද සාමාන්‍ය දමිළ මිනිහාට යුද්ධයක් අවශ්‍ය කළේ නැත. එහෙත් ඒකී යුද්ධයෙන් හා යුද්ධයේ අවි හරඹයෙන් මහ පොළව මත නිරපරාදේ වැළලී ගියේ ද, මෝටාර් ෂෙල් ප‍්‍රහාරවලින් කැබලිවලිට වෙන්වී රුධිර ගංගාවන් සමගින් මහ පොළව මත පතිත වුණේ ද මෝටාර්වලින් බේරෙන්නට තනා ගත් තල් කොට බංකරවල කැබැලි නොව මනුස්ස ජීවිතම ය. ඒවා අද අප මුහුණු දෙන ආකාරයේ අරණායක සාමසර කන්ද නාය යැමෙන් හෝ බුලත්කොහුපිටිය අරන්දර ප‍්‍රදේශයේ සිදුවුණු නාය යැමෙන් හෝ කඩුගන්නාව වට්ටප්පොළ සිදුවු නාය යැමෙන් හෝ කළු ගඟ, කැළණි ගඟ, මා ඔය, තබ්බෝව ජලාශය පිටාර ගැලීමෙන් සිදුවි ඇති ස්වභාවධර්මයේ කැළඹිමේ ව්‍යසනයන්ගේ ඛේදවාචකයන් මෙන් නොව, සිතා මතා ටාර්ගට්කර සිදුුකළ සාපරාධි ඝාතන විනාශයන් වෙනුවෙන් යුක්තිය ඉටුවිය යුතුය.


එදා, "කාටවත් අවශ්‍ය කළ" දරුණු යුද්ධයෙන් වන්දි ගෙවන්නට සිදුවුයේ ලක්‍ෂගණනින් අහිංසක දමිළ වැසියන්ට ය. "කාටවත් අවශ්‍ය කළ" යුද්ධයක් නිසා තමන්ගේම වු ගේ දොර වතු පිට, දේපල හැර දමා හිස් අතින් අවතැන් වෙන්නට මොවුනට සිදුවිය. ඒ එක් දවසකට හෝ සතියකට හෝ මාසයකට හෝ වසරකට නොව, වසර ගණනාවක් තුළ ඔවුන් තැනින් තැනට අවතැන් වෙමින් බොහෝ දෙනෙක් තවමත් අනාථ කඳවුරුවල පීඩිත ජීවිත ගත කරති. කිසිම අවස්ථාවක කිසිවෙකුට අතපා ජීවත් නොවු ඔවුනට වතුර බෝතලයේ සිට සියලූම දේ සඳහා අතපාන්නට සිදුවිය. තමන්ගේය කියා උදම් අනමින් පරිහරණය කළ සියලූම වස්තුව අතහැරදමා අතට හසුවු දෙයක් පමණක් රැගෙන, ඇතැම් අය ඇඳිවත පමණක් සහිතව ආරක්‍ෂිත ස්ථාන කරා ගාල්වන්නට සිදු විය. තමන්ගේ ගේ දොර බඩුමුට්ටු අතහැර දමා එසේ පැමිණිමේදි සහ ඇතැම් විට අවම පහසුකමක් වත් නොමැතිව අවතැන් කඳවුරුවල සමුහ වශයෙන් ජීවත්වන්නට සිදුවු විට ඔවුන් කෙතරම්වු වේදනාවකට, අපහසුතාවයකට සහ පීඩනයකට ලතැවිල්ලකට පත්වන්නට ඇත් ද යන්න, එදා ඔවුන් විපතට පත්වු අවස්ථාවේ ජය ඝෝෂා කරමින්  කිරිබත් කමින් සතුටු වු පිරිස්, අද ගංවතුරට ගොදුරුවී සිටින පිරිස් අතර සිටින්නේ නම්, ඔවුන් ඒ වේදනාව, පීඩනය හා නිකරුණේ අසාධාරණ ලෙසට ජීවිත අහිමිවීමට හා දුක්ඛිත ලෙසට අවතැන්වීමට සිදුවිමේ දරුණු වේදනාව තේරුම් ගත යුතුව ඇත. එදා ඔවුන් රතිඤ්ඤා පත්තු කරමින්,කිරිබත් පිසමින් කිරිබත් කමින්, රථවාහනවල නැගී, ධජ ඔසවමින් ජයගෝෂා පැවැත්වු මහා පාරවල් සහ වීථි අද ජල ගැල්මෙන් යට වී ඔවුනට සිහිපත්කර දෙන පාඩම කුමක් ද යන්න බැහැපත්ව කල්පනාවට ගතයුතුව ඇත.