English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මහජන සෞඛ්‍ය අනතුරේ !

සෞඛ්‍ය යනු ලෙඩ රෝග වලින් තොරවීම පමණක් නොවේ. මිනිසුන්ගේ කායික, මානසික, සමාජීය හා අධ්‍යාත්මික යහපැවැත්මද ඊට අයත්වේ. මිනිසාගේ ජීවන තත්වය උසස් කිරීමේ කාර්යයේදී මහජන සෞඛ්‍ය සංරක්ෂණයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. සෙසු ආසියාතික රටවල් හා සැසඳීමේදී අපේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය සාපේක්ෂව ඉහල මට්ටමක පවතී.  නමුත් දේශගුණ විපර්යාස හේතුවෙන් ලෝකයා විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙතෙක් අත්කරගෙන ඇති ප්‍රගතිය අඩසියවසකින් යලි පසුපසට ඇද දමනු ඇති බව විද්‍යාඥයෝ අනතුරු අඟවති.

දේශගුණ විපර්යාසය යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට නිශ්චිතවම අවශ්‍ය වන පිරිසිඳු වාතය, සුරක්ෂිත පානීය ජලය, ප්‍රමාණවත් පෝෂණීය ආහාර හා සුරක්ෂිත වාසස්ථාන සපයා ගැනීමට බාධා එල්ල කරයි. එමගින් 2030 – 2050 අතර කාලසීමාවේ දී දැනට සිදුවන මිනිස් මරණ ප්‍රමාණය 250000 කින් පමණ ඉහළ යනු ඇතැයි විශ්වාස කෙරේ. අධික උණුසුමට නිරාවරණය වීම නිසා වයෝවෘද්ධ ජනතාව 38000 ක්, පාචනය හා අතීසාරය හේතුවෙන් 48000 ක්, මැලේරියාව හේතුවෙන් 60000 ක්, හා දුෂ්පෝෂණය හේතුවෙන් දරුවන් 95000 ක් මෙසේ මරණයට පත්වෙනු ඇතැයි විශ්වාස කෙරේ.

දේශගුණ විපර්යාස හේතුවෙන් අධික උණුසුම් කාලගුණ තත්වයන් ඇතිවීම ජනතාවගේ සෞඛ්‍යට ඇති කරන්නේ තීරණාත්මක බලපෑමකි. විශේෂයෙන් සමකාසන්න ඉන්දියාව හා පාකිස්ථානය වැනි රටවල අධික උණුසුම දරාගත නොහැකිව මිනිසුන් මරණයට පත්වීම පිළිබඳව නිතර අසන්නට ලැබේ. එමගින් හෘදවාහිනී හා ස්වසන රෝග මගින් විශේෂයෙන් වැඩිහිටි පුද්ගලයන් මරණයට පත්වේ. සෘජු මරණ වලට අමතරව ස්වසන පද්ධතියේ අසාද්මිකතා ඇතිකරන පරාග හා වෙනත් අසාද්මිකකාරක ප්‍රමාණය වායුගෝලයේ ඉහල යාමටද උණුසුම් කාළගුණය හේතුවේ. එමගින් ඇදුම රෝගය උත්සන්න වීමෙන් ලොව වටා මිලියන 300 ක පමණ ජනතාවක් පීඩාවට පත්වී ඇත.

දේශගුණ විපර්යාස හේතුවෙන් නිරන්තරයෙන් ඇතිවන ස්වභාවික විපත් ද මානව සෞඛ්‍යට  බරපතල තර්ජනයකි. අතීතයේ කිසි කලෙකත් නොවූ විරූ තීව්‍ර හා සුලභ ආකාරයෙන් ඇතිවන සුළිසුලං, ගංවතුර හා නායයාම් වැනි ස්වභාවික විපත් හේතුවෙන්  වසරකට වැනසී යන මිනිස් ජීවිත ප්‍රමාණය 60 000 ඉක්මවයි. එම මරණ වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලය.

සීග්‍රයෙන් වෙනස්වන වර්ෂාපතන රටාව මගින් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය පිරිසිඳු ජලය සපයා ගැනීමට අවහිරතා ඇතිකරයි. නියඟ හේතුවෙන් ජල සම්පත සීමා වීම මෙන්ම ගංවතුර හේතුවෙන් ජලය තිබුනද ඒවා භාවිතයට ගත නොහැකි තත්වයට පත්වීම සිදුවේ. වර්තමානය වන විට ලොව පුරා වයස අවුරුදු පහට අඩු දරුවන් 600000 ක් වාර්ෂිකව ඝාතනය කිරීමට සනීපාරක්ෂක පහසුකම් වල හිඟය නිසා ඇතිවන පාචන තත්වයන් හේතුවී ඇත. පිරිසිඳු ජලය සපයා ගැනීමට ඇති නොහැකියාව ජනතාවගේ සනීපාරක්ෂාවට සෘජුව බලපෑම් එල්ලකරන අතර එමගින් මෙම කුඩා දරුවන් මරණයට පත්වීම තවත් ඉහළ යනු ඇත.

නිරන්තරයෙන් ඇතිවන ගංවතුර තත්වයන් හේතුවෙන් ජලය මගින් බෝවන රෝග මිනිසාගේ සෞඛ්‍යට එල්ල කරන තර්ජන ඉහළයාම සිදුවේ. ගංවතුර නිසා දියේ ගිලී මිනිසුන් මියයාම හා ශාරීරික ආබාධ ඇතිවීම ද සිදුවේ. වාසස්ථාන විනාශවීම, ඖෂධ හා සෞඛ්‍ය සේවාවන් වෙත ලඟාවීමට බාධා එල්ලකිරීම ද ජලගැලීම් මගින් සිදුවේ.

යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇතිකර ගැනීම සඳහා පෝෂදායී ආහාර ප්‍රමාණවත් තරම් ලබාගැනීම ද අත්‍යාවශ්‍යය. නමුත් දේශගුණ විපර්යාස හේතුවෙන් සිදුවන ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හා වර්ෂාපතන රටාවේ වෙනස්කම් ප්‍රධාන ආහාර භෝග නිෂ්පාදනය පහළ දැමීමට හේතුවෙයි.

දේශගුණය වෙනස්වීම නිසා වාහකයින් මගින් රෝග බෝවන කාලසීමාව දිගු වන අතර මෙම වාහක සත්ව විශේෂ වල ව්‍යාප්තිය වැඩි වන බැවින් පෙරට වඩා වැඩි භූගෝලීය ප්‍රදේශයක රෝගය බෝ වීම සිදුවේ. උදාහරණය ලෙස අතීතයේදී නුවරඑළිය ප්‍රදේශයේ මදුරුවන් මගින් බෝවන රෝග වාර්තා නොවුනද මේ වන විට එම තත්වය වෙනස්වීම දැක්විය හැකිය. ශ්‍රී ලංකාවේ අපට මහත් හිසරදයක් වී ඇති ඊඩීස් ගනයේ මදුරුවන් මගින් පැතිරෙන ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ යාමද මේ අනුව සිදුවේ. දේශගුණ විපර්යාස වර්ෂ 2080 වන විට වර්තමාන ජනගහනයට අමතරව තවත් බිලියන දෙකක ජනකායක් ඩෙංගු රෝග වාහකයින්ට නිරාවරණය කරනු ඇති බව අනුමාන කෙරේ. එසේම මෙම වාහක කෘමීන් මර්ධනය කිරීම සඳහා වැඩි වැඩියෙන් කෘමිනාශක භාවිත කිරීමට සිදුවීම තවත් බිහිසුණු රෝගාබාධ රැසකට මග පාදනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනතුරු අඟවයි.

දේශගුණ විපර්යාස හේතුවෙන් මානව සෞඛ්‍යට එල්ල වියහැකි බලපෑම් පිළිබඳව වර්තමානයේදී සිදුකෙරෙන පුරෝකතනයන් සියල්ල වර්තමාන ආර්ථික වර්ධනය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව ඒ අයුරින්ම පවතිනු ඇතැයි යන උපකල්පනය මත පදනම්වූ දළ  ගණනයන් බවද අප අමතක නොකළ යුතුය. නමුත් දේශගුණික විපර්යාසයේ බලපෑමෙන් සිදුවන ආර්ථික අවපාතයන් හා ඊට සමගාමීව ඇතිවිය හැකි සෞඛ්‍ය යටිතල පහසුකම් කප්පාදුව වැනි කාරණා මෙම අවාසනාවන්ත තත්වය තවත් තීව්‍ර කරනු නොඅනුමානය.

 
සුපුන් ළහිරු ප්‍රකාශ් - prakashtgsl@gmail.com

- මෙලනි



2016-05-16
Advertisement

Find us on Facebook