English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


එන්. ජී. ඕ. කරේ නැගී බලයට ආ ඔබ, හැකිනම් අපිව මට්ටු කරන්න !


රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් ක‍්‍රියාකාරින් සහ මාධ්‍ය මර්ධනයට ලක්කරමින් රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ පාලනය වන රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික  ලේකම් කාර්යාලය මඟින් ජුලි 01දා දාතමින් නිකුත් කල චක‍්‍රලේඛණය හෙවත් නියෝගය හෙළාදකිමින් සහ ඊට විරෝධය දක්වමින් දියත් කළ උද්ඝෝෂණයක්, ඊයේ (ජුලි 17) පස්වරුවේදි කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී පැවැත්විණි.

"රාජ්‍ය නොවන සංවිධාන මර්ධනයට එරෙහිව පෙළ ගැසෙමු" යන ප‍්‍රධාන බැනර්ය යටතේ, සිවිල් සංවිධාන මර්ධනයට එරෙහි ක‍්‍රියාකාරි කමිටුව විසින් සංවිධානය කළ මෙම විරෝධතාවයට, සිවිල් සංවිධාන නියෝජිතයින් හා සමාජ ක‍්‍රියාධරයින් මෙන්ම මාධ්‍ය ආයතන නියෝජනය කරමින් පන්සියයක පමණ පිරිසක් සහභාගි වී සිටියහ.  

"සිවිල් සංවිධාන නැත්නම් එන් ජී  ඕ ආයතන මේ රටේ යම්කිසි කාර්යභාරයක් ඉටුකරනවා. එහෙම කරන අපිට නිවේදන, නියෝග නිකුත් කලාට, අපිව නවත්වන්න උත්සාහා කළාට අපි නවතින්නෙ නැහැ. අපි බලධාරින්ට කියනවා මේ වන විටත් අපි එ් නීති කඩලා තිබෙන්නේ. ඉදිරියටත් අපි එ් දේම කරනවා. මොකද, රාජ්‍ය ව්‍යවස්ථාවට අනුකූලවයි අපි හැම විට ම ක‍්‍රියාත්මක වෙන්නේ. එ් තුළ අපිට මේ වගේ තහනම් නියෝග පනවන්න බැහැ." යැයි රාජ්‍ය නොවන සංවිධානයක කැඳවුම්කරුවකු වන, ජාතික ධීවර සහයෝගීතාවයේ හර්මන් කුමාර අයිතියට පැවසුවේය.
 
රාජ්‍ය නොවන සංවිධානවල ක‍්‍රියාකාරිත්වය අඩපණ කිරීම සහ එ් තුළින් ආණ්ඩුවේ බලය අනිසි ලෙසට පවත්වාගෙන යාමට ශක්තියක් ගනිමින් රාජපක්‍ෂ ආණ්ඩුව විසින් නිකුත් කළ නියෝගය පිළිබඳව මාධ්‍යයට අදහස් දැක්වු සිවිල් ක‍්‍රියාධරයෙකු වන මාරිමුත්තු සතිවේල් පියතුමා, "ජනතාවගේ ආරක්‍ෂාවට, ජනතාව වෙනුවෙන් යුක්තිය, සාධාරණය ඉටුකිරිම සඳහා අද රාජ්‍ය නොවන සංවිධාන රටපුරාම ක‍්‍රියාත්මක වෙමින් පවතිනවා. උතුරේ ප‍්‍රශ්න වේවා , දකුණේ ප‍්‍රශ්න වේවා, රටට, ජනතාවට, ජාත්‍යන්තරයට හෙළිදරව් කරන්නේ මේ රාජ්‍ය නොවන සංවිධානයි. එ් නිසා මහින්ද රාජපක්‍ෂගේ බලය ආරක්‍ෂාකර ගැනීම සඳහා තමයි මේ නීතිය පනවන්න උත්සාහා ගන්නේ. එ් නිසා අපි මේ ආණ්ඩුවට කියනවා ,රාජපක්‍ෂට කියනවා මේ ජනතා ද්‍රෝහි, ජනතාවට එරෙහිව ගෙනෙන මේ නීතිය අහෝසි කරනකම් අපි පාරේ ඉන්නවා. පුළුවන්නම් රාජ්‍ය නොවන සංවිධානත් එක්ක සටන් කරන්න, එ් ජනතාවත් එක්ක සටන් කරන්න. ඔවුන් සමඟ අපි හිටගන්නවා.”

මෙරට ඇති රාජ්‍ය නොවන සංවිධාන උපරිමයෙන් ප‍්‍රයෝජනයට ගත්ත කැප්ටන් තමයි මහින්ද රාජපක්‍ෂ යැයි සඳහන් කළ නව සමසමාජ පක්‍ෂයේ නායක වික‍්‍රමබාහු කරුණාරත්න, "ඔබතුමා එ් රාජ්‍ය නොවන සංවිධානවල කරේ එල්ලිලා තමයි රට පුරාම ගියේ. එහෙම ගිහිල්ලා බලයට ආවේ. පුළුවන්නම් එ්වා නැති කරන්න. අත්අඩංගුවට ගන්න. දැනටමත් නීති කඩලා තිබෙන්නෙ. එ් නීති බල්ලට දලා වැඩකරන්න සුදානම්. පුළුවන්නම් අත්අඩංගුවට ගන්න. පෙන්වන්නම් ජනතාව කොහෙද ඉන්නෙ කියලා." යැයි පැවසුහ.


                                                        
"අපිව බියවද්දන්න ,සිිවිල් සංවිධාන ක‍්‍රියාකාරීත්වය අඩපණ කරන්න හිතාගෙන මේ රටේ හැම එකාම නම කිව්වම භය හිතෙන ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාගේ අමාත්‍යංශයේ,  එයාගේ අය්යගේ එ් කාලේ මානව හිමිකම් ගැන කථා කරපු අපේ මිත‍්‍රයාගේ , මහ මහින්දගේ අනුග‍්‍රහයෙන් එවපු ලියුම අපි තුට්ටුවකට මායිම් කරන්නෙ නැහැයි කියලා එළිපිට කියන්නයි යන්නේ. අපි සිවිල් සංවිධාන හැමදාම මේ රටේ අමාරු කාලේ අත නොහැර හැම ආණ්ඩුවක් යටතෙම පෙනී ඉඳලා තිබෙනවා. එක එක දේශපාලන නායකයෝ අපේ මිත‍්‍රයෝ වෙනවා. මහින්ද රාජපක්‍ෂ 89 දි අපේ මිත‍්‍රයෙක්. පෙළපාලි ගිය මේ වගේ බෙර බැඳගෙන ගහපු , ටින් කබල් ගහපු , විසිල් පිඹපු, කතරගම ගියපු , අපේ සල්ලි වලින් ජිනීවා ගිය මහින්ද රාජපක්‍ෂ, එ් කාලේ මහා ලොකු මානව හිමිකම් ක‍්‍රියාකාරයෙක්. අතුරුදහන් කිරීම්වලට විරුද්ධයි කිව්වා. රටට ආධාර දෙන එක නවත්වන්න කිව්වා. අද එ් කාලකණ්නි අපේ මිත‍්‍රයා යටතේ මිනිස්සු මරාදානවා, මාධ්‍යවේදින් මරාදානවා, එයාට ජීනීවා යන්න සල්ලි දීපු, එයත් එක්ක පාරේ පෙළපාලි ගිහින් එ්වායේ කීර්ති නාමයෙන්  දේශපාලනයේ උඩට එන්න උදව් කරපු සිවිල් සංවිධාන නායකයින්ට කියනවා එයාගේ සහෝදරයා හරහා අපි කරන්න  ඕනෙ වැඩ මොනවද කියලා." එසේ පැවසුවේ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දුය.
 
තවදුරටත් අදහස් දක්වු බි‍්‍රටෝ ප‍්‍රනාන්දු "අපිට පුවත්පත් සාකච්ඡුා පවත්වන්න බැහැ , කොළ බෙදන්න බැහැ, පෙළපාලි යන්න බැහැ, මෙහෙම ගියොත් අපේ සියලූම දේ නිමකරන්නයි එයා හදන්නෙ. මහින්ද රාජපක්‍ෂට ඇහෙන්න ගෝඨාභය රාජපක්‍ෂට අපි කියනවා, මොකා භය උනත් මේ සංවිධාන ගෝඨාභය රාජපක්‍ෂටවත් මහින්ද රාජපක්‍ෂටවත් තඹ පයිසෙකටවත් භය නැහැ, අපි අපේ යුතුකම වෙනුවෙන් ,වගකීම වෙනුවෙන් එ් අභියෝගයට මුහුණ දෙන්න සූදානම් කියන පණිවුඩය දෙනවා මේ කොළඹ මහ නගරයේ ඉඳලා." යැයි කීහ.

එම විරෝධය සහ හෙළාදැකීම සංකේතවත් කිරීම සඳහා සියලූම සංවිධාන ප‍්‍රධානින්ට ඉදිරියට ආරාධනා කළ අතර, "අපිව බියපත් කරන්න අත්සන් සහිතව එවපු එ් ලියුම පුළුස්සා දමන බව මේ කොළඹ මහ නගරයේ හදවත තුළ ඉදිමින් කියනවා. පුළුවන්නම් අපිව අත්අඩංගුවට ගනිල්ලා, පුළුවන්නම් මේ වගේ චක‍්‍රලේඛණ තව දාහක් එවාපල්ලා, උඹලට අපිව මට්ටු කරන්න බැහැ කියන පණිවුඩය අපි දෙනවා." යැයි බි‍්‍රටෝ ප‍්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේය. 

විවිධ විරෝධතා සටන් පාඨ උච්චාරණය කරමින් පැයක පමණ විරෝධතාවයක නියැලූණු විරෝධතාකරුවන්, අවසානයේදි තමන් වෙත ලබාදුන් රජයේ තහනම් නියෝගයේ පිටපත් සිවිල් සංවිධානවලට ජය වේවා ! අමන නීති භංග වේවවා !! යන ඔල්වරසන් හඬ මැද ගිණි තබා අළු කළේය.









                          සටහන සහ ඡායාරූප - මෙලනි මානෙල් පෙරේරා



2014-07-18
Advertisement

Find us on Facebook