English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


දේශගුණ අනාථයෝ !



තිස් වසරක ත්‍රස්තවාදී යුද්ධය විසින් තම ගම් බිම් අහිමි කරන ලද සැලකිය යුතු  ජනතාවක් ශ්‍රී ලංකාව තුල තවමත් ස්ථිර වාසස්ථානයක් නොමැතිව  ඉතා දුකසේ ජීවත්වෙති. ඒ අතර සිරියාවේ සහ ඉරාකයේ සිදුවන අවි ගැටුම් වලට බියෙන් පලා යන දේශපාලන අනාථයන් මුහුණදී සිටින ඛේදවාචකය පිළිබඳවද විවිධ සෝචනීය පුවත් නිරන්තරයෙන් අසන්නට ලැබේ. නමුත් දේශගුණ විපර්යාසයේ සැහැසිකම් හේතුවෙන් අවතැන්වූ හා සරණාගතයන් බවට පත්වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාව පිළිබඳව තවමත් ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී නැත.

දේශගුණවිපර්යාසය හේතුවෙන් මේ වන විට පෘතුවි ගෝලයේ බොහෝ ප්‍රදේශ මනුෂ්‍ය වාසයට නුසුදුසු තත්වයට පත්වෙමින් පවතින බව කිසිවෙකුටත් රහසක් නොවේ. ඒ හේතුවෙන් තම පාරම්පරික වාසභූමි අත්හැර තම රටේම හෝ තම දේශසීමාවෙන් එහා වෙනත් රටකට සංක්‍රමණය වන ජනතාව දේශගුණ අනාථයන් (Climate Refugees) ලෙස සරලව හැඳින්විය හැකිය.දැනට සිදුකර ඇති ගණනය කිරීම් අනුව වසරකට ලොව පුරා මිලියන 26ක පමණ ජනගහනයක් දේශගුණ අනාථයන් බවට පත්වේ. පර්යේෂකයන් පවසන්නේ 2050 වසර වන විට එම ප්‍රමාණය මිලියන 50ක් පමණ විය හැකි බවය.

කෙටිකාලීනව හෝ දීර්ඝකාලීනව දේශගුණ විපර්යාසයන්ගේ බලපෑම් නිසා තමන් ජීවත්වූ ප්‍රදේශ වල තවදුරටත් යහපත් ජීවන තත්ත්වයක් පවත්වා ගැනීමට නොහැකි හා ජීවනෝපාය අභියෝගයට ලක්වන ජන කණ්ඩායම්වලට මේ ආකාරයෙන් දේශගුණ අනාථයන් ලෙස වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වීමට සිදුවේ. දේශගුණ විපර්යාසය නිසා හට ගන්නා හෝ උත්සන්න වන ගංවතුර, නියඟ, නායයෑම්, සුළිසුලං, කාන්තාරීකරණය, මුහුදු ජල මට්ටම ඉහළයාම හා දේශගුණ රටාවේ සිදුවන ප්‍රභල වෙනස්කම් වැනි හේතු දේශගුණ අනාථයන් බිහිවීමට බලපායි.

උදාහරණයක් ලෙසමුහුදු ජල මට්ටම ඉහළ යාම නිසා ලොව පුරා කුඩා දූපත් රාජ්‍ය වල දිවිගෙවන හා විශාල රටවලට අයත් කුඩා දූපත්වල දිවිගෙවන ජනතාවට මෙන්ම ගංගා මෝය හා නිම්න ආශ්‍රිතව ජීවත්වන ජනතාවට පවා අභියෝග එල්ලවේ. සමස්ථ ලෝක ජනගහනයෙන් අඩකටත් වැඩි පිරිසක් ජීවත් වන්නේ මුහුදු වෙරළේ සිට කිලෝමීටර් 60 සීමාව තුල වන අතර තම ගම්බිම් හැර යාමට එම ජනතාවට දේශගුණ විපර්යාස හේතුවෙන් උත්සන්න වන මුහුදු මට්ටම ඉහළයාම මගින් දැඩි තර්ජනයක් ඇති කරයි.

දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර්රාජ්‍ය මණ්ඩලයට (IPCC) අනුව වර්ෂ 2100 වන විට පැසිපික් සාගරයේ ජල මට්ටම මීටර් 0.19 – 0.58 ක ප්‍රමාණයකින් ඉහළ යාමට නියමිතය. එමගින් උත්සන්නවන වෙරළ ඛාදනය හා ගංගා දෙපස පහත්බිම් ජලයෙන් යටවීම මගින් විශාල වශයෙන් ජනතාව අවතැන්භාවයට පත්කරනු නොඅනුමානය. වර්ෂ 2050 වන විට මීටර් 0.3 – 1.5 ක ප්‍රමාණයකින් මුහුදු ජල මට්ටම ඉහල යාමේ තර්ජනයට මුහුණදීමට බංගලාදේශයට සිදුවේ. එමගින් වර්ෂ 2100 වන විට එරට මිලියන 30ක ජනතාවක් දේශගුණ අනාථයන් බවට පත්වන බව අනාවැකි පළකර ඇත. භූමිය දියබත්වීමට අමතරව ජලයේ ලවණතාවය අධිකවීම, ජලවහනයට අවහිරතාවයන් ඇතිවීම, ව්‍යසනකාරී සුළිසුලං හා ඉහළයන උදම්රළ මගින්ද වෙරළාසන්නව  හා ගංගා දෙපස ජීවත්වන ජනතාවගේ ජීවිත අභියෝගයට ලක්වේ. ඔවුන්ට ඇති එකම විකල්පය දේශගුණ අනාථයන් ලෙස වෙනත් ප්‍රදේශ වෙත සංක්‍රමණය වීම පමණි.

වෙරළාසන්න ජනයාට මුහුදු ජල මට්ටම ඉහළයාමෙන් බලපෑම් එල්ලවන අතර රට මැද ජීවත්වන ජනතාවටද දේශගුණ විපර්යාසයෙන් ගැලවීමක් නැත. චීනයේ ගෝබි කාන්තාරය වසරකට වර්ග කිලෝමීටර් 3600කින් පමණ විශාලවීමත් සමග ඒ අවට ජීවත්වූ ජනයාට මේ වන විට සිදුවී ඇත්තේ දේශගුණ අනාථයන් ලෙස වෙනත් ප්‍රදේශ වෙත සංක්‍රමණය වීමටය.

ලොව පුරා විවිධ රට වල අවි ගැටුම් හා දේශපාලන අස්ථාවරත්වය වැනි කරුණු හේතුවෙන් අවතැන් වන ජනතාවට සහන සැලසීම සඳහා ජාත්‍යන්තර මානුෂවාදී නීති හා සම්මුතීන් ඔස්සේ ප්‍රතිපාදන සැලසී ඇතත් දේශගුණ අනාථයන් සම්බන්ධයෙන් එවැනි ජාත්‍යන්තර සම්මුතීන් හෝ එකඟතා නොමැති වීම නිසා දේශගුණ අනාථයන් මුහුණදෙන ඉරණම වඩාත් ඛේදනීය වෙයි.

ශ්‍රී ලංකාව තුලද විවිධ අවස්ථාවල ඇතිවූ හා අඛණ්ඩව දීර්ඝකාලීනව ඇතිවෙමින් පවතින දේශගුණ විපර්යාසයන්ගේ බලපෑම් නිසා දේශගුණ අනාථයන් බිහිවීම සිදුවී ඇත. ඒ ඒ අවස්ථාවල තාවකාලික පිළියම් ලබාදීමෙන් ප්‍රශ්න යටගැසීම විනා දේශගුණ අනාථයන් සම්බන්ධයෙන් අප රට තුලද විධිමත් වැඩපිළිවෙලක් තවමත් සකස්කොට නැත. අප රටේ මුළු ජනගහනයෙන් තුනෙන් එකක් ජීවත්වන, මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 24ක් අයත් වන්නේ වෙරළබඩ ප්‍රදේශයටය. රටේ මුළු මත්ස්‍ය නිෂ්පාදනයෙන් සියයට අසූවක් සපයන්නේ එම භූමිය කේන්ද්‍ර කරගෙන වන අතර රටට විදේශ විනිමය සපයා දෙන ප්‍රධාන ධනෝපායන මාර්ගයක් වන සංචාරක කර්මාන්තය සඳහා යටිතල පහසුකම් සපයන භූමියද වන්නේ මෙයයි. නමුත් දේශගුණ විපර්යාසය නිසා ඉහළ යන මුහුදු ජල මට්ටම හා  වෙරළ ඛාදනය නිසා වෙරළබඩ ජනතාවට නිවාස, යටිතල පහසුකම් හා ජීවනෝපාය අහිමිකරගනිමින් රට තුලට ගමන් කිරීමට මේ වනවිට සිදුවී තිබේ. ඒ අතර නිතර සිදුවන ස්වභාවික විපත් දරාගත නොහැකිව ලතැවෙන කඳුකරයේ ජනයාට සිදුවී ඇත්තේ ද රටේ පහත් තැනිතලා වෙත සංක්‍රමණය වීමටය. ඒ මතුද නොව දිවයිනේ මුළු භූමියෙන් සියයට හැටක් වසා පැතිරුණු වියලි කලාපයේ ගොවි ජනතාවට තම ජීවනෝපාය අත්හැර නගර වෙත සංක්‍රමණයවී වෙනත් වෘත්තීන් වල නියැලීමට දේශගුණ විපර්යාසයේ බලපෑමෙන් උත්සන්න වී ඇති නියං, ගංවතුර තත්ත්ව හා අකල් වැසි බල කරයි.

දිනෙන් දින උග්‍ර අතට හැරෙන දේශගුණ විපර්යාසය අවම කරගැනීමට හා ඊට අනුහුරු වීමට කැපවීම හැර දේශගුණ අනාථභාවයේ ගිලීමෙන් වැලකීමට අන් මගක් නැත.

 
සුපුන් ළහිරු ප්‍රකාශ් - prakashtgsl@gmail.com

- මෙලනි



2016-05-14
Advertisement

Find us on Facebook