English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


නීති විරෝධි ඝාතන වැළැක්වීමට සිවිල් ජනතාව ම පෙරමුණ ගතයුතුයි !
වර්තමාන ශ‍්‍රී ලංකාවේ බහුලව ව්‍යවහරේ යෙදෙන කියමන් දෙකකි. එනම් වධහිංසා සහ අභිරස් මරණ පිළිබඳවයි. ඉනුත් පොලිස් වධහිංසා සහ පොලිසිය විසින් සිදුකරනු ලබන මරණ පිළිබඳව සමාජය තුළ ඇත්තේ භීතියකි. තදබල අප‍්‍රසන්නතාවයකි. දැඩිලෙස හෙළා දැකීමකි. එම නිහීන, තුච්ච ක‍්‍රියාවලිය වෙනුවෙන් කුමක් කළ හැකිද යන්න පිළිබඳව පොඩි කතිකාවකි. එම කථිකාවේ දිශානතිය කෙබඳුද යන්න පිළිබඳව දැනගැනීම සඳහා අයිතිය විසින් මෙරට පුරවැසියන් කිහිප දෙනෙකුගේ මත විමසීමක් සිදුකළේය. ඉන් තිදෙනෙකු විසින් ප‍්‍රකාශකරන ලද ඔවුන්ගේ අදහස් මෙසේ පලකරන්නෙමු.

යුක්ති සාධාරණය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන වචනවලට කිසිඳු ආකාරයක සාධාරණයක් හෝ සැළකිල්ලක් නොදක්වමින් සමාජය පුරා සිදුවෙමින් පවතින මෙම අප‍්‍රසන්න මෙන්ම භීතිය උපදවන කෲර වධහිංසා මෙන්ම අභිරහස් මරණ පිළිබඳව ඔවුන් පවසන්නේ  මෙවැනි කථාවන්ය.


සිවිල් ජනතාවම පෙරමුණ ගතයුතුයි - ගරු රමණි ප‍්‍රනාන්දු ශුද්ධවු පවුලේ පැවදි සොයුරිය  -  නීතිවේදි සහ මානව හිමිකම් ක‍්‍රියාධර

ලංකාවේ වැරදි කරන අයට දඬුවම් දීමට අධිකරණ පද්ධතියක් සහ නීති පද්ධතියක් තිබෙනවා. වැරදි කරපු විත්තිකාර පාර්ශවය තෝරා ගන්නට අධිකරණය විසින් පැමිණිළි පාර්ශවය වගේම විත්තිකාර පාර්ශවයෙන්ද කරුණු විමසනවා. නඩු විභාගය අවසානයේදි විනිසුරුතුමාට / තුමියට යම් සැකයක් ඇතිවුවහොත් (එනම් මේ අපරාධය මෙසේ විය හැකිද යන්න ගැන) එවිට එම සැකයේ වාසියද විත්තිකරුට දී විත්තිකරුව නිදහස් කරනවා. පහළ උසාවියකින් දෙන තීන්දුවකින් විත්තිකරු වැරදිකරු වුවහොත් ශ්‍රේෂ්ඨාධීකරණය තෙක් අභියාචනා කරමින් තමන්ගේ නිර්දෝශී භාවය ඔප්පු කිරිමට සැකකරුට අයිතියක් තිබෙනවා. රටේ මුලික නීතිය අනුව සැකකරුවෙකුට එරෙහිව ඇති චෝදනාව සාධාරණ සැකයෙන් තොරව නිසි අධිකරණයක් ඉදිරියේ ඔප්පුකරන තුරු ඔහුව නිර්දෝෂි පුද්ගලයෙකු බව පූර්ව නිගමනය කළ යුතුය. එවැනි නිර්දෝෂි පුදගලයෙකුව අත්අඩංගුවට ගැනීමට පෙර හෝ පසුව වධහිංසාවට හෝ කෲර අමානුෂික දඬුවමකට හෝ යටත් නොකළ යුතු බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ එකොළස් වන වගන්තියෙන් පෙන්වා දී ඇත. ඒ නිසා යම්කිසි පුද්ගලයෙක් වැරදිකරපු සැණින් දඬුවම් දෙන්නට හෝ මරාදැමීමට හෝ අතුරුදහන් කිරීමට ලංකාවේ නීති පද්ධතිය තුළ හෝ අධිකරණ පද්ධතිය තුළ ඉඩක් නැහැ.
     
නීති පොතින් තමන්ට පැවරී නැති බලයක් අතට ගෙන පොලිස් නිළධාරීන් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින්ට අත්අඩංගුවට ගනු ලැබීමේදි හෝ එසේ ගැනීමෙන් පසුව හෝ රඳවා තබාගැනීමේ දි හෝ එම පුද්ගලයින්ට කෲර ලෙස සැළකීම එහි ප‍්‍රතිඵලයක් ලෙස එම පුද්ගලයින් මරණයට පත්වු අවස්ථා ද ඇත.

මෙකි අනිසි ක‍්‍රියාකළාපයන් නැවැත්වීමට ගත් උත්සාහයන්ගේ ප‍්‍රතිඵලයක් ලෙසට ජෙරාඞ් මර්වින් පෙරේරා එදිරිව සුරවීර ස්ථානාධිපති නඩුවේදි හා පේ‍්‍රමලාල් ද සිල්වා එදිරිව පොළිස් පරීක්‍ෂක රොද්රිගු නඩුවේදිත් අත්අඩංගුවේ පසුවෙද්දී කෲර ලෙස වධ හිංසාවලට ලක්කිරීම නිසා ඊට වගකිව යුතු පොළිස් නිළධාරීන්ට නිසි දඬුවම් හා වින්දිත පාර්ශවයට හෝ ඔවුන්ගේ ළඟම ඥාතින්ට වන්දි ගෙවිමට නියෝග කිරීමට ලංකාවේ ශ්‍රේෂ්ඨාධීකරණය පසුබට නොවු බව ද මතක් කළයුතුව ඇත.
    
කෲර වධහිංසා, අවමාන, දැන්වීමේ ආඥා පනත යටතේ අදාළ වගඋත්තරකරුවන්ට චෝදනා මහඅධිකරණයේදි ගොණු කිරීමට ද හැකියාව ඇත.

කරුණු මෙසේ තිබියදී, අධිකරණ පද්ධතියෙන් තොරව ඒ සඳහා බලය නොමැති පුද්ගලයින් විසින් දඩුවම් දීම, මරාදැමීම, අතුරුදහන් කිරීම, සිරමැදුරුවලදී වධහිංසාවට ලක්කිරිම අපරාධයකි. එවැනි අපරාධකරුවන්ට දඬුවම් දිමට ශක්තිමත් නීති පද්ධතියක් අප රට සතුව ඇත. එබැවින් අනීතික ලෙස වධහිංසාවට ලක්කිරීමේ කැලැ නිතියට තිත තැබිය යුතුය. ඊට විරුද්ධවීමට සිවිල් ජනතාවට අයිතියක් මෙන්ම යුතුකමක් ඇත. මන්ද, එය පවතින නීිතියට විරුද්ධය. ස්වභාව ධර්මයේ නීතියට ද විරුද්ධය. අප අදහන ආගම්වලට ද විරුද්ධය.

බලානොසිට ක‍්‍රියාත්මක විය යුතුයි - හර්මන් කුමාර - ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ (නැෆ්සො) ජාතික කැඳවුම්කරු සහ ලෝක ධීවර සම්මේලනයේ නිත්‍ය නියෝජිත

නීතියට පරිභාහිරව සිදුකරන මිනි මැරුම් ශී‍්‍ර ලංකාව පුරා දිනෙන් දින වර්ධනය වනවා අපිට දක්නට ලැබෙනවා. ඒවා එක් පසකින් පාතාලය ශුද්ධ කිරීම නමින් හෝ අත්අඩංගුවට පත් සැකකරුවන් ආයුධ සෙවීමට යාම හෝ එසේ නැතිනමි පොලිස් අණ නොතකා පලායාම ලෙස හෝ අර්ථකථනය කිරීම මගින් සාධාරණීකරණය කිරීමද සිදු කරයි. අත්අඩංගුවට පත් පුද්ගලයා පාතාලයකු ලෙස හංවඩුව ගැසීමෙන් මුළු සමාජයම එකී මිනිමැරුම සාධාරණීකරණය කරගනී, නැතහොත් අත්අඩංගුවට ගත් සැකකරු ආයුධ සෙවීමට ගොස් එකී ආයුධවලින්  පොලිසියට පහර දීමට ගත් උත්සාහය වැලැක්වීමට සිදුකල බව කියන මිනිමැරීම  අධිකරණයද පිලිගනී. මෙය අද සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. කිසිවකු මෙි පිළිබඳව හඩක් නොනගයි. මන්ද, පාතාලයකු හෝ මිනිමරුවකු යැයි පොලිසිය කියන අයකු ඝාතනය කිරීම යහපත් ලෙස සමාජයද පිළිගන්නා බැවිනි. නමුත් ඒබව තීරණය කරන්නේ කවූරුද ? නීතියේ ආධිපත්‍යය පිළිබදව විමසීමක් වැදගත් කමක් එහිදී නැත. සමාජයේ හෘද සාක්ෂියම අද විනාශවී ගොසිනි.
 
අත්අඩංගුවට පත්වූවන් පාතාලයන් බවට පත් කිරීමට හෝ පොලිස් අණ නොතකා පලායාම නිසා කල ඝාතන ලෙස මෙම නීතියට පිටින් කරන ඝාතන සාධාරණීකරණය කිරීමට සමත් මාධ්‍ය ප‍්‍රකාශකයන් පොලිසියට සිටීම නිසා මුළු මහත් සමාජයටම මෙම මිත්‍යාවන් වැපිරීමට හැකිවී තිබීමත් මෙන්ම පොලිසියේ සැමදාම සිදුකරන මෙවන් මිනිමැරීමි සාධාරණීකරණය කරමින් කරන ප‍්‍රකාශයන් ප‍්‍රශ්ණ කිරීමකින් තොරව පිළිිගන්නා අධිකරණයක් ඇති තෙක් මෙම නීතියට පරිභාහිරව සිදුකරන මිනිමැරීම වැළකීමට නොහැකිය.

නමුත් මෙහි තීරණාත්මකම සාධකය වනුයේ මුළු මහත් සමාජයම මෙම තීරණාත්මක කරුණු පිළිබඳව කිසිදු ආකාරයකින් සොයාබැලීමකට නොයන්නේ නමි ඒවාට එරෙහිව හඩක් නැගීමට සූදානම් නොවෙිනම් මෙම තත්ත්වය තවත් බරපතල වනු ඇත. මෙහිදී අන් සියල්ලන් පාතාලයන් නිසා හෝ ආයුධ සෙවීමට ගොස් මැරුම් කන්නන් ලෙස පිළිිගැනීම තමන්ට මෙවැනි අකටයුත්තක් සිදුවන දා හෝ තමන්ගේ දරුවකු හෝ පවුලේ ඥාතියකුට මෙවැන්නක් සිදු වන තෙක් සාධාරණීකරණය කරමින් සිටීම වැලකීමට කාලය පැමිණ ඇත.

නීතියට පිටින් සිදුකරන මිනි මැරීම් වල ඇති සත්‍යය තේරුම් ගැනීමට තමන්ටම මෙවන් අසාධාරණයක් සිදුවන තෙක් බලා නොසිටින ලෙස අපි හෘද සාක්ෂියක් ඇති සැමට විවෘතව ආරාධනා කරමු. හෙට දවසේ දි මෙකී තුවක්කු කට පත්තුවනුයේ ඔබට විය හැක. සත්‍යය දන්නේ ඔබත් ලගම ඥාතීනුත් විය හැක. එදිනට ඔබද පාතාලයකු හෝ පොලිස් අණ නොතකා ගමන් කල අයකු වීමෙන් එයද සාධාරණීකරණය විම වැලැක්විය නොහැක. ඔබ වෙනුවට පෙනී සිටීමට කිසිවකු ඉදැරිපත් නොවනු ඇත. එය ජර්මණියේ ප‍්‍රැන්සිස් නී මුලර් පියතුමා සඳහන් කල පරිදි නාසිීන් තමන් විනාශ කිරීමට පැමිණි දිනයේ ඔහු ආරක්ෂා කිරීමට කිසිවකු ඉතිරිව නොසිටියාක් මෙන් අපගේ ආරක්ෂාවටද කිසිවකු ඉදිරිපත් නොවනු ඇත!

යහපත් වෙනසක් අවශ්‍යනම් සැවොම එකතු විය යුතුයි - ගරු ටෙරන්ස් ප‍්‍රනාන්දු පියතුමා -  මානව හිමිකම් ක‍්‍රියාධර

වදහිංසාව යනු සියලූ මානව හිමිකම් උල්ලංඝනය කිරිමකි. වද හිංසාවේදි හිංසනයට ලක්වන පුද්ගලයා හෝ සත්ත්වයාට හිතාමතාම ශාරිරිකව තුවාල සිදුකිරිම සහ දැඩි මානසික වේදනාවක් ඇතිකරයි. වදහිංසා පමුණුවන්නාගේ ග‍්‍රහනයට ලක්ව සිටියදි හෝ සිරගත වි සිටියදි තමන්ට සිදුවන හානියට එරෙහිව යමක් කර කියාගත නොහැකි පුද්ගලයා අත්විදින ශරිරික වදහිංසාව මෙම ඝනයට අයත් වේ.
 
වර්තමානයේදි බොහෝ රටවල ජාත්‍යන්තර හා දේශීය නීති පද්ධතියට අනුව වධහිංසාව තහනම්කර තිබෙනවා. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් ප‍්‍රඥ්ඥප්තියට අනුව වධහිංසාව කියන්නේ මානව හිමිකම් උල්ලංඝණය කිරිමක් වන අතර කිසිඳු තත්ත්වයක් යටතේ එය පිළිගන්නට හෝ අනුමත කරන්නට නොහැකියි. මේ සම්බන්ධයෙන් කොතෙකුත් ජාත්‍යන්තර නීති, ප‍්‍රඥ්ඥප්ති, ගෘහස්ථ නීති පද්ධති තිබුණද තවමත් මෙම වධහිංසාව බොහෝ රටවල බහුල ලෙසට භාවිතයේ පවතිනවා.
 
මේ තත්ත්වය ශ‍්‍රී ලංකාවේදි අදහාගත නොහැකි තත්ත්වයකයි සිදුවන්නේ. වර්තමානයේදි පොලිස් අත්අඩංගුවට පත්වන කිසියම් අයෙක් හෝ සිරභාරයේ සිටින කිසියම් අයෙක් කිසිඳු වධ බන්ධනයකට හිරිහැරයකට පාත‍්‍ර නොවී නිදහස් වුවායැයි ඇසුවොත් එය ප‍්‍රාතිහාර්යයක්ම විය යුතුයි. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ පවතින නීතියේ කඩාවැටීමත් මෙම වධ හිංසා සහ ආසාධාරණ මිිනිමැරිම් ඇතිවීම කෙරෙහි සෘජුව බලාපා තිබෙනවා. ඒ සඳහා දුර්විපාක නොලබා සිටීම, පොලීසිය තුළ සහ පොලීසිය මඟින් සිදුවන වධහිංසා භායනක ලෙස වර්ධනය වන්නට ඉතා නරක දායකත්වයක් සපයා තිබෙනවා. අනෙක් නරකම කරුණ නම්, වධහිංසාව නිත්‍යානූකුල දෙයක් සහ ඇතැම් අවස්ථාවලදි එය සිදුකළ හැක්කක් හෝ සිදුකළාට කමක් නැහැ යන පිළිගැනීමක් පැවතීමයි. උදාහරණයක් ගතහොත්, පොලීසිය සැමවිටම කියන්නට හුරුවි සිටින්නේ අත් අඩංගුවට ගෙන වධහිංසා පැමිණෙව් පුද්ගලයා හෝ ජීවිතක්‍ෂයට පත්වු පුද්ගලයා බොහෝවිට, මැරයෙක් චණ්ඩියෙක් පාතාලයේ සාමාජිකයෙක් , මත්ද්‍රව්‍ය පාවිච්චිකරන්නෙක් ලෙසට නම්කරන්නටය.

වධහිංසා කිරීම් වැඩිවීමේ තත්ත්වය කෙරෙහි තවත් මා දකින බරපතල කාරණාවක් නම්, මේ පිළිබඳව ආගමීක අංශයන් හෝ ආගමීක නායකයින් දක්වන උදාසීන තත්ත්වයයි. නිශ්ශබ්දතාවයයි. කිසිඳු ආගමීක නායකයෙක් පිළිගත නොහැකි මෙම සාපරාධි වධහිංසාවලට එරෙහිව ප‍්‍රසිද්ධියේ කථාකරනවා හෝ සිය අනුගාමිකයින් මේ පිළිබඳව දැනුවත් කරනු දැකීම බොහෝ අසීරු වී ඇත. කිසිඳු ආගමක් මෙම දාමරික ක‍්‍රියාව අනුමත නොකරයි.

එහෙත්, පොලිසිය සහ මහජනතාව සිතන්නේ වධහිංසා පැමුණුවීම, සාක්‍ෂි සොයාගැනීමට සහ වරදකරුවන් සොයාගැනීමට හොඳම ප‍්‍රායෝගික පියවරක් ලෙසටයි. නමුත් එය සත්‍යයක් නොවෙයි. එබැවින් රටේ ජීවත්වන සියලූම ජන කොටස් ඒකරාශිවි මෙම අමානුෂීක කෲර අපරාධයට එරෙහිව සටන් නොකළහොත් යහපත් වෙනසක් බලාපොරොත්තු විය නොහැකිය.

-    ඡායාරූප සහ සටහන -  මෙලනි මානෙල් පෙරේරා




2014-07-17
Advertisement

Find us on Facebook