English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජනමාධ්‍ය ප්‍රශ්ණය කෙසේද යත්?

ආණ්ඩුවේ ලොකුම දුර්වලකම එහි සාධනීය ක්‍රියාකාරකම් මහජනයාට සන්නිවේදනය කිරීමට ඇති නොහැකියාව යැයි ජනාධිපති සිරිසේන කීවේ මැතදී ය. එ සමඟම ජනාධිපති ජනමාධ්‍ය ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ජාවක්ද කැදෙව්වේය. එහීදී ජනමාධ්‍ය මර්දනය කළ රාජපක්ෂ බලයට ගෙන ඒමට සමහර ජනමාධ්‍ය වැඩ කරන්නේ මන්දැයි ඇසුවේය.

ආණ්ඩුව මාධ්‍ය නිදහස ලබා දීමට සටන් කරන බව කී අගමැති වික්‍රමසිංහ යළි රාජපක්ෂ අදුරු යුගයට යාමට අවශ්‍ය දැයි කල්පනා කර බලන ලෙස ලෝක ජනමාධ්‍ය දිනයෙහි දී ජනමාධ්‍යයෙන් අසා සිටියේ ය. ඔහු කියා සිටියේ දැන් ජනමාධ්‍ය නිදහස ප්‍රයෝජනයට ගැනීම ජනමාධ්‍යවේදින් සහ කර්තෘවරුන් අත රැදී ඇති දෙයක් බවය.

ශ්‍රී ලංකාවෙහි විශාලතම ජනමාධ්‍ය ආයතන තිබෙන්නේ ජනපති සහ අගමැති යටතෙහිය. නැතනම් ආණ්ඩුව අතෙහිය. තමන් සතුව මේසා විශාල මාධ්‍ය ආයතන තිබියදී ඊට වඩා කුඩා මාධ්‍ය ආයතන මේ තරම කළබල වන්නේ ඇයි? ඊට හේතුව සරළය. එනම් මෙකී රාජ්‍ය ජනමාධ්‍ය අසාර්ථක වී තිබීමයි. අනෙක් මාධ්‍ය ආයතනයන්ට බණ කීමට පෙර තමන් යටතේ ඇති මාධ්‍ය ආයතන සහ ආතෝරක් නැති වෙබ් අඩවි අසාර්ථක වි ඇත්තේ මන්දැයි සොයා බැලීම ආණ්ඩුවේ වගකීම නොවේද? ආණ්ඩුවේ රූපවාහිනී පුවත්හි සූත්‍රය බව පෙනෙන්නේ ජනපතිගෙන් දෙකයි අගමැතිගෙන් දෙකයි ඇමැතිලාගෙන් දෙකයි සහ තව මොනවා හරියි බව අප්‍රෙල් මාසයේදී අත් දැක්කෙමි.

ජනමාධ්‍යක බලය යනු විශවසනීයත්වයයි. විශ්වසනීයත්වය ලැබෙන්නේ දේශපාලනඥයින් ගැනම කීමෙන් නොව මහා ජනයාට බලපාන කරුණූ වාර්තා කිරීම මගිනි.

රාජ්‍ය ජනමාධ්‍ය ස්වාධීන මහජන සේවා ජනමාධ්‍ය බවට පත් නොකරන ආණ්ඩුවකට පුද්ගලික අංශයේ ජනමාධ්‍ය ආචාර ධර්මානුකූල විය යුතු බව කීමට සදාචාර අයිතියක් තිබිය හැකිද? එය කකුලුවා කෙලින් පලයන් යැයි අනෙකෙකුට ඔවදන් දීම හා සමානය.

දැන් ජනමා‍‍ධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ කතා බහ වැඩි වැදගත්කමක් අල්ලා ගනිමින් සිටින බව පෙනේ. එය යහපතකි. ජනමාධ්‍ය ඇමැති සහ නියෝජ්‍ය ඇමැති යන දෙදෙනාම ද ඒ බවට එකඟ වෙති.

පසුගිය දා යෙදුණ ලෝක ජනමාධ්‍ය දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස තහවුරු කිරීම සඳහා යෝජනා එක්සිය එකක් ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා ලේකම් කාර්යාලය විසින් ආණ්ඩුවට ඉදිරිපත් කළේය. එමෙන්ම එවැනි තවත් යෝජනාවලියක් විශ්වවිද්‍යාලයීය ජනමාධ්‍ය ආචාර්‍යවරුන් විසින් බාර දුන් බවද වාර්තාවක පළවිය.

පුදුමයට කාරණය නම් ජනමාධ්‍යවේදීන් හෝ කතුවරුන් හෝ මාධ්‍ය හිමිකරුවන් හෝ වෙතින් එවැනි කිසිදු යෝජනාවලියක් ඉදිරිපත් නොවීමයි. වෘත්තීයමය දුප්පත්කම!

ජනමාධ්‍ය ප්‍රශ්ණයේ තවත් කොණක් ඇත්තේ එතැනය.

පනපති සහ අගමැති යන දෙදෙනාම ජනමාධ්‍යයෙන් ඇසූ ප්‍රශ්ණය එනම් රාජපක්ෂ අදුරු යුගයට යැමට යළි අවශ්‍යද යන්න වැදගත් වන්නේ මෙහිදීය.

ඇත්ත වශයෙන්ම එම ප්‍රශ්ණය වැරදි තැනකින් පටන් ගැනීමකි. මන්ද යත් මෙරට ජනමාධ්‍ය බොහොමයකට සහ කතුවරුන් සහ ජනමාධ්‍යකරුවන් විශාල ප්‍රමාණයකට රාජපක්ෂ සමය කිසිසේත්ම අදුරු යුගයක් නොවූ නිසාය. එය බොහෝ මාධ්‍ය ආයතනයන්ට ස්වර්ණමය යුගයක් විය. මන්ද යත් රාජපක්ෂට යටහත් පහත් වහල් සේවයේ යෙදීම මගින් දහසක් වරදාන මාධ්‍ය ආයතනයන්ට, කතුවරුන්ට සහ තෝරාගත් මාධ්‍යවේදීනට ලැබුණු නිසාය.

මාධ්‍ය කර්මාන්තය අද මෙරට ජාවාරමක් මිස මහජන සේවයක් නොවේ. එක් ආයතනයක් ජාතිවාදය විකුණා හම්බ කරන විට අනෙක් ආයතනය හැගීම් විකුණා හම්බ කරයි. තවෙකක් ස්ත්‍රී ශරීරය සහ ඒ හා බැදුණූ ඕපාදූප මගින් ජනප්‍රියවීමට කැස කවයි. එවිට අනෙක් ආයතනයක් ජනයා බිය ගැන්වන මිත්‍යාව සහ ඒ හා බැදුණූ බොරු බේගල් විකුණා මඩිය තර කර ගැනීමට වලිකයි.

ශ්‍රී ලංකාවේ බොහෝ පත්තර කන්තොරු දේශපාලන හෙංචයියන්ගේ කයිවාරු තිප්පොලවල්ය. රාජපක්ෂ සමයෙහි ලද වරදාන ගැන සිතමින් තවමත් එම පුවත් කාමර ස්වකීය ස්වර්ණමය යුගය ගැන කතා ලියත්.ලංකාදීපය සහ ඩේලිමිරර් ගැන කතා කරමින් එක් ජනමාධ්‍යවේදියකු මා හා කීවේ විජය ප්‍රකාශණ ආයතනයෙහි යුඇන්පියට ඉන්නේ එහි හිමිකරු රංජිත් විජේවර්ධන මහතා පමණක් බවය. රාජපක්ෂ වරදාන සහ ජාතිවාදි යුදවාදය ඒ තරමටම එම කාර්යාල ගිලගෙන තිබේ.

අනෙක් කාරණය නම් තිත්ත විය හැකි ඇත්තකි. එනම් මෙරට ජනමාධ්‍යවේදීන් අතර ඇති වෘත්තීයම දුබල බවයි. මෙරට කවර හෝ සිංහල/දෙමළ ජනමාධ්‍ය ආයතනයකට ගොස් නූතන ලෝක තත්වය ගැන සාමාන්‍ය දැනීම ප්‍රශ්ණ පත්‍රයක් දෙන්න. අඩුම වශයෙන් සියයට 80 ඉන් අසමත් වන බවට කැට තැබිය හැක. එයට ජනමාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ ප්‍රශ්ණ ඊට එක් කළ හොත් තත්වය තවත් නරක් වනු නොඅනුමානය. මෙරට ජනමාධ්‍යවේදීන් බහුතරයක් නිසි පුහුණුවක් හෝ ස්වයං අධ්‍යාපනයක් හෝ ලබා නැත.

තවත් සාධකයක් නම් වැටුප්ය. කතුවරුන්ට සහ තොරාගත් හෙංචයින්නට හැරුණ විට පොදු වශයෙන් ජනමාධ්‍යවේදීන්ට ලැබෙන්නේ අප්‍රමාණවත් වැටුප් ය. පසුගිය අයවැය වාර්තාවෙන් නිර්දේශ කරන ලද පුද්ගලික අංශයේ රුපියල් 2,500 වැටුප් වැඩි කිරීම ක්‍රියාවට නැංවූ එක ද හෝ ජනමාධ්‍ය ආයතනයක් මා දන්නා තරමට නැත. එමෙන්ම එම මුදල සිය වැටුපට එක් කරන සේ කිසිදු මාධ්‍ය සංවිධානයක් ඉල්ලා හෝ නැත. බොහෝ ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් පුවත් ලිවීමට වඩා නොලියා සිටීමෙන් මුදල් උපයන බව ප්‍රසිද්ධ රහසකි. පුවත් නොලියා සිටීමෙන් ලැබෙන මුදල එම පුවත ලිවීමෙන් ලැබෙන මුදලට වැඩි නිසාය.

කවර හෝ වෘත්තීයක යෙදී සිටින පිරිස් සිය වෘත්තීයබව වැඩි දියණු කර ගැනීමට සහ සිය ජිවන තත්වය ඉහළ නංවා ගැනීමට කටයුතු කරන්නේ කෙසේ ද? නිදසුනක් ලෙස හෙද සේවාව ගන්න. ඔව්හු තමන්ට සේවාස්ත පුහුණූ මෙන්ම වැඩි දුර අධ්‍යාපන අවස්ථා සළසා ගැනීමට සිය වෘත්තීය සමිති යොදා ගනිති. වැටප් සටන් කැරෙන්නේ ද ඒ හරහා ය. නමුත් මෙරට ජනමාධ්‍ය ප්‍රජාවට සේවාස්ථ පුහුණූ කියා දෙයක් ඇත්තේම නැත. මන්ද යත් දොර හැරෙන්නේ දොරට ගැසූ විට පමණක් නිසා ය. දොරට ගහන්නට මිටියක් ඔවුනට නැත.

ඇත්තම තත්වය නම් ශ්‍රී ලංකාවේ අධිපති ධාරාවෙහි සිංහල ජනමාධ්‍ය ප්‍රජාවේ බහුතරයකට මහජන සේවා වටිනාකම් හෝ නිදහස හෝ අවශ්‍ය නැති බවයි. නමුත් එවායෙහි ජනමාධ්‍ය මහජන සේවයක් ලෙස සළකා කටයුතු කිරීමට උත්සාහ දරන සුලුතරයක් සිටිති. වෙනසක් ඇති කළ හැක්කේ එම සුලුතරය හරහා පමණකි. රාජපක්ෂ පාලනයෙන් බැට කෑවේ ඔවුන්ය.

මාධ්‍ය නිදහස යනු හුදෙක් නීතිමය රාමුවක් හෝ නිදහස් වාතාවරණයක් නොව සංස්කෘතියක් ද වේ. මාධ්‍ය බිය ගැන්වූ ජේ.ආර්. – ප්‍රේමදාස සමයෙහි මාධ්‍ය නිදහසේ මායිම් පුළුල් කරන ලද්දේ නීති රීති මගින් නොව රාවය, යුක්තිය සහ තවත් එවැනි විවේචනාත්මක පුවත් පත් විසිනි. රාජපක්ෂ සමයෙහි එම කාරිය අන්තර්ජාල වෙබ්අඩවි සහ සමාජජාල මත පැවරුණි.

අද අප සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් සිදුවන සංක්‍රමනීය දේශපාලන වටපිටාවකය. අද 90 ගණන්හි මෙන් විවේචනාත්මක පුවත්පත් වලට හෝ 2000 ගණන්හි මෙන් අන්තර් ජාල මාධ්‍යවලට එම අවකාශය නැත. එබැවින් අද වෙනස සිදු විය හැක්කේ කොතැනින් ද යන්න අප විමසිය යුතු ය.

මහජන සේවා වටිනාකම් මූලිකත්වයේ තබන විශ්වසනීය, ආචාර ධර්මානකූල සහ මහජනයා බලසතු කැරෙන ජනමාධ්‍ය සම්ප්‍රදායක් සඳහා වෙනස පටන් ගත් යුත්තේ කෙතැනින්ද?

පිළිතුරු ගණනාවක් තිබිය හැකි අද වැදගත්ම ජනමාධ්‍ය ප්‍රශ්ණය එයයි.

  සුනන්ද දේශප්‍රිය

-  මෙලනි



2016-05-09
Advertisement

Find us on Facebook