English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
“මිලිටරි පත් කිරීම්” අභියස පරිපාලන සේවය හීලෑ වෙයිද? - දුලාන් දසනායක.
(2020-05-21)

<< Go Back
Share |   


ක්‍රමයෙන් රජයේ ඉහළ තනතුරුවලට විශ්‍රාමික හා සේවයේ නියුතු මිලිටරි නිලධාරීන් පත් කිරීම දක්නට ලැබේ. මේ සම්බන්ධයෙනන් පොදු සමාජයේ අනුමැතියක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියක්ද ක්‍රියාත්මක වෙයි. මේ සියල්ල සිදු වේද්දී පරිපාලන සේවා සංගමය නිහඩය. රටේ ප්‍රධාන වෘත්තිකයන්ගේ සංගමයක් වන පරිපාලන සේවා සංගමය සිවිල් පුද්ගලයන් හෙබවිය යුතු රජයේ සේවයේ ඉහළ තනතුරු සඳහා මිලිටරි නිලධාරීන් පත් කිරීමේදී ඉතා අපූරු ලෙස නිහඩව සිටී.

මිලිටරි නිලධරීන් සිවිල් තනතුරු සඳහා පත් කිරීමට අදාළ සමාජ අවකාශයක් ලංකාව තුළ නිර්මාණය වූයේ යුද ජයග්‍රහණයත් සමගය. මිලිටරියට ඕනෑම කටයුත්තක් සිදු කල හැකි බවත්, මේ රට ගොඩ නැගිය හැක්කේ මිලිටරියට යනුවෙන් මතයක් නිර්මාණය වීම යුද ජයග්‍රහණයත් සමග සිදු වුවද සරත් ෆොන්සේකාගේ පිම්ම හේතු කොට ගෙන මිලිටරිවාදයට එරෙහි මහා ව්‍යාපාරයක් ගෙන යාමට එවකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සිදු විය. පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවද ඇතැම් සිවිල් තනතුරු සඳහා මිලිටරි නිලධාරීන් පත් කිරීම සිදු කරන ලදී. උතුරු පළාතේ ආණ්ඩුකාරධූරය සිවිල් පුද්ගලයකුට ලබා දෙන ලෙස සිදු කරන ලද ඉල්ලීම් එවක පාලනය නොසළකා හරිනු ලැබීය. එකී පාලනය පෙරළීමෙන් පසු මේ වන විට සිවිල් ආණ්ඩුකාරවරුන් සිව්දෙනෙක් ආණ්ඩුකාරධූරය දරා ඇති උතුරු පළාතේ වරක් රෙජිනෝල්ඩ් කුරේ නම් සිවිල් ආණ්ඩුකාරවරයා ඉවත් කිරීමට දෙමළ දේශපාලකයන්ද විරුද්ධද විය. එකී සිවිල් ආණ්ඩුකාරවරුන් මිලිටරි නිලධාරීන්ට වඩා ඉහළ මට්ටමෙන් රාජකාරී සිදු කල බව අද වන විට සියලු දෙනාටම එළිදරව් වී අවසන්. පසුගිය යහපාලන රජය සමයේදී විශ්‍රාමික මිලිටරි නිලධාරීන්ගෙන්ද සැදුම්ලත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපාරය ඉදිරියට පැමිණි අතර ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රතිපක්ෂ අදහසක් සමාජගත කරවන ලදී. මිලිටරිවාදී එළඹුමකින් ලංකාව ගෙඩ දැමිය හැකි බවට වන හැගීමක් ඇති කරවන ලදී.

මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ තනතුරු ගණනාවක් මිලිටරි නිලධාරීන්ට ප්‍රදානය කර ඇත. වත්මන් පාලනයේ මිලිටරි පත් කිරීම් පිළිබඳව අදහස් දක්වමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණේ මිලිටරි පත් කිරීම් ඔහුගේ පාලන සමයේත් සිදු කෙරුණු බවත් එය මිලිටරිකරණයක් නොවන බවත්ය. අපේ ප්‍රශ්නය වන්නේ එවන් පත් කිරීමකදී ඉහළ සාර්ථකත්වයක් අත් කරගත් මිලිටරි නිලධාරීන් සිටීද යන්නය. නමුත් ඉහළ සාර්ථකත්වයක් අත් කර ගනිමින් මහජන සේවය ඉටු කල පරිපාලන සේවයේ, විදේශ සේවයේ, ක්‍රමසම්පාදන සේවයේ, ඉංජිනේරු සේවයේ, සෞඛ්‍ය පරිපාලන සේවයේ ඇතුළු දීපව්‍යාප්ත සේවාවන්හි නිලධාරීන් අපට ඕනෑ තරම් දැකිය හැක. පරිගණක තාක්ෂණය භාවිතා නොකරමින් එක තැන පල් වෙන මට්ටමක සිටි රජයේ සේවයට පරිගණක තාක්ෂණය හඳුන්වා දෙමින් එය මේ වන විට මාර්ග ගත සේවා දක්වා පුළුල් කල ICTA ආයතනය මෙහෙවූයේ පරිපාලන සේවයේ නිලධාරීන්ය. මීට අමතරව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්හි, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි මහජන සේවය මගින් නම ගිය නිලධාරීන් අපට හමු වෙයි. නමුත් මේ සේවාවන්හි බහුතරයක්ද ඔහේ බකන්නිලන් ඉන්නා අය බවට පත් වී ඇති බවත් මතක් කල යුතුය. ඒ කෙසේ වෙතත් සිවිල් තනතුරක් දරද්දී ඉහත කී ආකාරයේ සුවිශේෂී තත්වයක් අත් කර ගත් මිලිටරි නිලධාරියකු අපට හමු වී ඇත්ද?

මේ සාකච්ඡාව සිදු කල යුත්තේ පරිපාලන සේවා සංගමය ඇතුළු ඉහළ නිලධාරීන්ගේ සංගම් වුවත් ඔවුන් නිහඩ වී සිදු වන දේ නරඹන්නන් බවට පත් වී සිටියි. පසුගිය පාලන සමයේදී රේගු දෙපාර්තමේන්තුවේ මුල් පුටුවට නාවික හමුදාවේ උසස් නිලධාරියකු පත් කිරීමට එවකට මුදල් ඇමති මංගල සමරවීර මහතා පත් කිරීමට තීරණය කිරීමත් සමග පරිපාලන සේවා සංගමය මහා සද්දයක් දැමීය. දැවැන්ත විරෝධතාවයක් එල්ල කරන ලද අතර රේගුවේ වෘත්තිය සමිති ඊට විරුද්ධ වෙමින් වැඩ වර්ජනයක් දිය් කරන ලදී. භාණ්ඩ නිසි පරිදි නොලැබෙන බව පවසමින් එම වර්ජනයට සහය පළ කරමින් පිටකොටුව තොග වෙළඳුන්ද වර්ජනයක් ආරම්භ කරන ලදී. මාධ්‍ය ජාලා මේවා එක දිගට වාර්තා කරනු ලැබීය. අවසානයේ ඇමතිවරයාට සිය තීරණය හකුලා ගැනීමට සිදු වූ අතර නැවතත් රේගුවට හිටපු නිලධාරිනිය වන පී.එස්.එම් චාර්ල්ස් මැතිනිය පත් කරන ලදී.

මෙවර තත්වය කුමක්ද. ජනාධිපතිවරයා රේගුවට හමුදා නිලධාරියකු පත් කිරීමට තීරණය කරන ලද අතර පරිපාලන සේවා සංගමය ඊට විරුද්ධව ලිපියක් යොමු කරන ලදී. පසුව ඔවුන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු වී සිය විරෝධතාවය ඉදිරිපත් කරන ලදී. අගමැතිවරයා එසේ මිලිටරි නිලධාරීයකු පත් නොකරන බවට සහතිකයක් ලබා දුන් බවටද වාර්තා විය. දින දෙකක් යාමට මත්තෙන් හමුදාවේ උසස් නිලධාරියා රේගුවේ මුල් පුටුවට පත් කරන ලදී. පරිපාලන සේවා සංගමය පූස් පැටව් මෙන් හීලැ විය.

කොවිඩ් 19 වළක්වාලීම සඳහා පිහිටුවා ඇති කාර්යසාධක බලකායේ සභාපති ධූරය ලැබුනේ සෞඛ්‍ය අංශයේ ඉහළ නිලධාරියකුට නොව හමුදාපතිවරයාටය. ඔහුට සෞඛ්‍ය අංශය මෙහෙයවීමේ කිසිදු බලයක් නැත. නමුත් ඔහු කොවිඩ් බලකායේ ප්‍රධානියාය. සෞඛ්‍ය පරිපාලන සේවයෙන් මේ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නැත. රජයේ වෛද්‍ය නිලධාරී සංමයද නිහඬය.

එතනින් නොනැවතුනු ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරයටද හමුදාවේ මේජර් ජනරාල් වරයකු පත් කරන ලදී. කෘෂිකර්ම, මහවැලි වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ධූරයටද යුද හමුදාවේ මේජර් ජනරාල් වරයකු පත් කරන ලදී. මේ අමාත්‍යංශ දෙක ලංකාවේ විශාලතම අමාත්‍යංශ දෙකකි. ආයතන හා දෙපාර්තමේන්තු අති විශාල සංඛ්‍යාවක් සහිත අමාත්‍යංශ දෙකකි. මේ පත් කිරීම් සම්බන්ධවද පරිපාලන සේවා සංගමය පූස් පැටවුන් මෙන් හීලෑ වී තිබේ.

පරිපාලන සේවා සංගමය රජයේ නිලධාරී තන්ත්‍රයේ අත් කරගෙන ඇති පංගුව හා බලය මගින් අනෙකුත් ආශ්‍රිත සේවාවන් හා පහළ සේවාවන් පීඩාවට පත් වන නමුත් සිවිල් තනතුරු මිලිටරි නිලධාරීන්ට ලබා දීම අපට අනුමත කළ නොහැක. මේ හීලෑ වීම තුළ ඉදිරියටත් මිලිටරි නිලධාරීන් පත් කිරීම සිදු විය හැක. එමෙන්ම පැවැති ආණ්ඩුව සමයේ රජයේ වැරදි තීරණයන් අභියෝගයට ලක් කිරීමට නිලධාරීන්ට ලැබී තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය කෙමෙන් කෙමෙන් හැකිලෙන බවද මේ හීලෑ වීම අපට කියන්නේ. පසුගියදා ජනාධීපතිවරයාද ප්‍රකාශ කලේ මාගේ ප්‍රතිපත්තිය නිවැරදි බවත්, තමා වැරදි තීරණ නොගන්නා බවත් තමන්ගේ ප්‍රතිපත්තියට එකග නැත්නම් අස් වී යා යුතු බවත් ප්‍රකාශ කරන ලදී. (https://ceylontoday.lk/print-more/56906) තමාගේ ඉදිරි සියලු ක්‍රියාකාරකම් ඉතාමත් නිවැරදි බවට ජනාධිපතිවරයා තීරණය කරගෙන ඇති බව පෙනේ.

පරිපාලන සේවා සංගමය ඇතුළු ඉහළ නිලධාරීන්ගේ සංගම් සිදු කල යුත්තේ මේ සම්බන්ධයෙන් වහා මැදිහත් වීමයි. ඒ සම්බන්ධයෙන් සංවාදයක් සමාජය තුළ ඇති කිරීමයි. සියල්ල හරියාකාරව සිදු කල හැක්කේ මිලිටරියට බවට සමාජගත කරමින් ඇති ව්‍යාජ මතවාදයට පහරදීමයි. එසේ කටයුතු කිරීමට තරම් ප්‍රමාණවත් දේශපාලන දැක්මක් හා දර්ශනයක් ඉහළ නිලධාරී සංගම් වලට නැත. නිලධාරිවාදය තුළ එල්බ ගෙන සිටිමින් කරපින්නාගෙන යන්නේ වැඩවසම් දැක්මක් නම් ඒ සංගම් වලට මේ සම්බන්ධයෙන් මැදිහත් වීමේ ධෙර්යයක් නැත.

අපට දැන් විමසිලිමත්ව බලා සිටීමට සිදු වී ඇත්තේ පූස් පැටවුන් මෙන් හීලෑ වී ඇති ඉහළ නිලධාරී සංගම් පූස් පැටවුන් මෙන් හුරතල් වනු ඇත්ද යන්නයි.

- දුලාන් දසනායක-







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.