English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ලාංකිකයින් 40000 කට ආසන්න පිරිසක් ලංකාවට එන්න සුදානමින්
(2020-05-20)

<< Go Back
Share |   


යස ඉසුරු සොයා ඕනෑම පුද්ලයෙක් විදේශ ගත වුවත් අන්තිම මොහොතේ හෝ සිය මව්බිමට පැමිණීමට කැමතිය. මුහුදෙන් සැතපුම් ගණනාවක් ඒහාට වී සිටියද ඔවුන්ට තමන්ගේ උපන් මව්බිම අමතක කළ නොහැකිය. විදේශයක සිටියද නෑම හදිසි අවස්ථාවකදී සිහියට නැගෙන්නේ තම මව්බිමය. ඒ් ලාංකිකයාගේ හැටිය.

කොවිඩ් 19 ගෝලිය වසංගතය හමුවේද විදේශගතව සිටින බොහෝ ශ්‍රිලාංකිකයින් පිරිසක් තම මව්බිමට පැමිණිමට උත්සහ දරන්නේ ඒ් නිසාය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ දත්ත වලට අනුව මේ වන විට විදේශ රටවල් 143 ක සිටින ශ්‍රී ලාංකිකයෝ 38,983 කට අධික සංඛ්‍යාවක් ආපසු සිය රට බලා පැමිණීමට අපේක්ෂා කරමින් සිටිති.

ඊට සිසු සිසුවියන් 3,078 ක්, කෙටිකාලීන වීසා බලපත්‍රලාභීන් 4,040 ක්, සංක්‍රමණික ශ්‍රමිකයන් 27,854 ක්, ඔවුන්ගෙන් යැපෙන්නන් 3,527 ක් සහ ද්විත්ව පුරවැසියන් 484 ක් සහ වෙනත් අය ද මීට ඇතුළත් වෙයි.

මේ අතර, පසුගිය අ‌ප්‍රේල් 21 වැනි දින සිට මේ දක්වා එතෙර රටවල් 15 ක සිටි ශ්‍රී ලාංකිකයන් 3,600 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

විදේශ ගතව සිටින ශ්‍රි ලාංකිකයින්ට මේ අවස්ථාවේ උපකාර කිරිමට රජය විසින් විශේෂ වෙබ් ද්වාරයක් ද නිර්මාණය කර ඇත. එතෙර සිටින අවදානමට ලක්විය හැකි ශ්‍රී ලාංකිකයන් පිළිබඳ දත්ත එක්රැස් කිරීමේ අවශ්‍යතාවය හඳුනාගත් විදේශ සබඳතා අමාත්‍යාංශය, මෙරටට පැමිණෙන ගුවන් ගමන් සඳහා ගුවන් තොටුපොළ වසා දැමීමෙන් සතියක් ඇතුළත දී, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) සහාය ඇතිව මාර්තු 26 වන දින “ශ්‍රී ලංකාව අමතන්න” වෙබ් ද්වාරය නිර්මාණය කළේය. මෙම ද්වාරය විවෘත කිරීමට සමගාමීව, ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන අය පිළිබඳ දත්ත එක්රැස් කරන ලෙස විදේශවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට ද උපදෙස් දෙන ලදී. අවදානමට ලක්විය හැකි කණ්ඩායම් හඳුනා ගැනීම, ප්‍රමුඛතාවය ලබා දීම සහ නැවත සියරට පැමිණවීම සඳහා පදනම ලෙස මෙම මූලාශ්‍ර දෙක භාවිත කෙරෙයි.

මෙම “ශ්‍රී ලංකාව අමතන්න” වෙබ් ද්වාරය, එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රයෝජනය සඳහා අතථ්‍ය උපකාරක කවුළුවක් ලෙස ද කටයුතු කෙරේ. ආර්ථික කටයුතු (බහුපාර්ශ්වීය) සහ විදේශීය ශ්‍රී ලාංකිකයන් පිළිබඳ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අන්සුල් ජාන් ප්‍රකාශ කරන පරිදි, මෙම ද්වාරය දියත් කළ අවස්ථාවේ සිට මේ දක්වා එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් 78,033 දෙනෙකු එහි ලියාපදිංචි වී ඇති අතර, ඒ සඳහාම කැපවූ කණ්ඩායමක් විසින්, සතියේ දින 7 හි පැය 24 තුළ ම ඵලදායී ලෙස ක්‍රියාත්මක වෙමින්, ප්‍රධාන වශයෙන් නැවත සියරට පැමිණවීම සහ කොන්සියුලර් ගැටලු පිළිබඳව පමණක් නොව, වෙනත් මෙහෙයුම් සහ ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් ද ලොව වටා විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් විසින් නඟන ලද ප්‍රශ්න 7,788 කට පිළිතුරු ලබා දී ඇත.

විශේෂයෙන් අදාළ රටවල ශ්‍රී ලාංකික නියෝජනයක් නොමැති අවස්ථාවල දී, ශ්‍රී ලාංකිකයන් ආසන්නතම ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූතමණ්ඩලය වෙත යොමු කිරීමට පමණක් නොව, ආහාර අවශ්‍යතාවයෙන් පෙළෙන සහ හදිසි වෛද්‍ය අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවන ශ්‍රී ලාංකිකයන් සමඟ, වියළි සලාක හා ඖෂධ ලබා දීම සහ සමහර අවස්ථාවල නවාතැන් සඳහා පහසුකම් ද සැලසීම පිණිස සම්බන්ධ වීම සඳහා උපකාරී වීමට ද මෙම ද්වාරය සමත් වී තිබේ. සංක්‍රමණිකයන් විසින් ශ්‍රී ලංකාව වෙත මුදල් එවීම හා ශ්‍රී ලංකාවේ සිට කෙටිකාලීන සංචාරකයින් සහ සිසු සිසුවියන් වෙත මුදල් යැවීම සම්බන්ධ ගැටලු විධිමත් කිරීමට ද එය උපකාරී වී තිබේ. අධ්‍යාපන ආයතනවල ගැටලුවලට මුහුණ දුන් සිසුන්ට සහ රැකියා ගිවිසුම් කල් ඉකුත් වූ අයට නව රැකියා ගිවිසුම් ලබා ගැනීම සඳහා සමහර දූත මණ්ඩල උපකාර කර ඇති අතර, එම නිසා විරැකියාව හේතුවෙන් නැවත මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් පසුවන අය ඒ පිළිබදව නැවත සළකා බලන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

 -ශානිකා-







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.