English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
සෞඛ්‍ය අමාත්‍යාංශයට කොරෝනා ගැන ආලේ අඩු වෙයි.
(2020-05-19)

<< Go Back
Share |   


කොවිඩ් 19 නිසා අකර්මන්‍ය වු රට දැන් කෙමෙන් කෙමන් හිස ඔසවමින් සිටියි. මාර්තු 20 දා සිට පැනවු ඇඳිරි නීතියද දැන් දිස්ත්‍රික්ක විසි තුනකම අවසන්ය. ගම්පහ හා කොලඹ දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය පැවතියද ජන ජිවිත යථා තත්ත්වයට පත් කිරිමේ වැඩපිලිවෙල ඇරඹුයේ පහුගිය මැයි 11 දා සිටය. ඊයේ (18) වන විට එහි දෙවන සතිය විය.

ජන ජිවිත යථා තත්ත්වයට පත් කිරිම කොන්දේසි ගණනාවක් ඔස්සේ ආරම්භ කෙරුණද අපට දිනකට අලුතෙන් හඳුනා ගන්නා රෝගීන්ගේ සංඛ්‍යාව නම් අඩු විමක් දක්නට නොමැත. එමෙන්ම පහුගිය දිනවල කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය පාලනයට රජය දැක්වු උනන්දුව මේ වන විට වියැකෙමින් පවතිනවාද යන්න සැක මතු වීමට පටන් ගෙන තිබේ.

ඊට ආසන්නතම සිදු වීම වාර්තා වුයේ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේනි. ඒ ඊයේ (18) දින සිට එහි කාර්ය මණ්ඩලයට මෙතෙක් සපයා දි තිබු ලං.ග.ම ප්‍රවාහන සේවය ඇණහිටීමය. ගම්පහ, දිවුලපිටිය හා නිට්ටඹුව ඩිපෝ වලින් ගම්පහ රෝහලේ සේවයට වාර්තා කරන පුද්ගලයින්ට පැමිණීමට මෙතෙක් කාලයක් ප්‍රවාහන පහසුකම් සපයා දී තිබුණි. නමුත් එය ඊයේ දින සිට එක්වරම නැවතීම නිසා මුලු රෝහල් කාර්ය මණ්ඩලයම පත් වුයේ දැඩි අපහසුතාවයටය. මේ ගැන සොයා බැලිමේදී හෙලි වුයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලං.ග.ම ට ගෙවිය යුතු මුදල් ගෙවා නොමැති නිසා මෙලෙස එම සේවාව නතර කර ඇති බවය. මේ නිසා ඊයේ දින ගිලන් රථ යොදා ගනිමින් සේවකයින් රාජකාරියට ගෙන ඒමට සිදු වී තිබුණි. ඇතැම් පුද්ගලයින් කෙසේ හෝ රැකියාවට පැමිණියත් නැවත හවස නිවසට යන්නේ කෙසේද කියා දස අතේ කල්පනා කළ යුතු බව රෝහල් කාර්යය මණ්ඩලය දැඩි කළකිරිමකින් යුතුව කියා සිටියි.

මේ මොහොතේ ඉතා අත්‍යවශ්‍ය සේවාවක් වන සෞඛ්‍ය සේවකයින් මෙලෙස නොසලකා හැරිම සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් කිසිදු අයුරකින් සිදු නොවිය යුත්තකි. ඔවුන්ට ලං.ග.මයට මේ මුදල් ගෙවීම අමතක වුවාද? නැතිහොත් අමතක කළාද? යන්න ජනතාවට වරක් නොව දෙවරක් සිතිය යුතු කරුණකි.

මේ අතර යොදා ඇති පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරිමේ ක්‍රමවේද උල්ලංඝනය කරමින් මගීන් ගෙන යාමට ඇතැම් බස් රථ වලට සිදුව ඇතැයි වාර්තා විය. කොළඹ මධ්‍යම බස් නැවතුම්පලෙන් පටන් ගන්නා ඇතැම් ලංගම බස් රථ පොල් පැටවු ආකාරයෙන් ගමන් කරනු දක්නට ලැබුණි. රැකියාවට ගොස් මහ මඟ අතරමංව සිටින පුද්ගලයින්ටද මීටරේ දුරින්, සිග්සැග් ක්‍රමය සිහිපත් වන්නේ නැත. ඔවුන් බලන්නේ රාත්‍රිය උදා විමට පෙර නිවසට යාමටය. ඒ නිසා ඔවුන් මේ බස් රථ වල පොර කමින් නඟියි. මෙහිදී බස් රථයේ රියදුරුටවත් කොන්දොස්තරවරයාටවත් දොසක් කීමට නොහැකිය. ප්‍රමාණවත් තරම් බස් රථ යොදා තිබුණේ නම් මෙවන් සිද්ධින් වලට මුහුණ පෑමට සිදු නොවේ. කෙසේ නමුදු අධික ලෙස මඟින් පටවා ගත් බස් රථ දෙස පොලිස් නිලධාරීන්වත් අවධානය යොමු කරන්නේ නැත. නමුත් ඔවුන් මහ මඟ ගමන් ගන්නා අසරණ පුද්ගලයින් නම් අල්ලාගෙන ඕනෑ තරම් නඩු පවරන්නේය.

මෙවැනි සිදුවීම් දෙස බැලිමේදි ආණ්ඩුව කිසිදු සුදානමක් නොමැතිව තකහනියේම ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරිමට උත්සහ ගන්නේ කඩිනමින් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීමටදෝ කියා නොසිතා සිතීමට නොහැකිය.

-ශානිකා-







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.