English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
විදේස්ගත ශ්‍රි ලාංකිකයින් ඉක්මන් වී ලංකාවට පැමිණිමට පෙර දෙවරක් සිතන්න අවශ්‍යද?
(2020-05-18)

<< Go Back
Share |   


ලොවපුරා ගෝලීය වසංගතයක්ව පැතිර යන කොවිඩ් 19 මාරාන්තික වෛරසය හමුවේ විදේශ රටවල සිටින ශ්‍රි ලාංකික සිසු සිසුවියන්, ශ්‍රමිකයින්, විවිධ පාථමාලා සඳහා ගිය රජයේ නිලධාරීන් ඇතුලු පිරිස මෙරටට යළි ගෙන්වා ගැනිමට රජය මේ වන විට පියවර ගනිමින් සිටියි. ඒ් අනුව මේ වන විට රටවල් 15 කින් 3600 කු මෙරටට පැමිණ ඇත.

මෙම අවස්ථාවේ මෙලෙස පැමිණි බොහෝ දෙනෙකු තම මව්බිමට පය තබා ඇත්තේ සිය රැකියාව අහිමි කර ගනිමිනි. නැතිනම් අධ්‍යාපනය අතරමඟ නවතා දමමිනි. ඇතැම් විට ඔවුන්ට ආපසු ඒ් රටට යාමේ හැකියාවක් නැත. කොවිඩ් වසංගතය හමුවේ ඇතැම් පුද්ගලයින් ඉක්මන් වී මෙරටට පැමිණියද ඔවුන්ට ඒ් තරම් පහසුවෙන් යළි විදේශගත විමේ හැකියාවක් නැත. මොවුන්ට ඒ් බව වැටහෙද්දි සියල්ල සිදුවි අවසන්ය.

මේ අතර තවත් පිරිසක් තමන්ගේ නිවාඩු කාලය නිමා වීමට පෙර තම මව්බිමට පැමිණිමට බලා සිටිති. ඇතැම් විට ඔවුන් මව්බිමට පැමිණෙන්නේ කොවිඩ් 19 වසංගතය නිසා නොව තමන්ගේ වීසා කාලය නිමා වීමෙන්ය. විදේශයේ සිටින ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ මව්බිමට පැමිණීමට, ඒහි ජිවත් වීමට අයිතියක් ඇති නමුත් මෙහිදි ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ විදේශයේ අසරණ වී සිටින අයට බව රජය තිරණය කර ඇත.

රජය විසින් මේ අවස්ථාවේ  මෙහෙයවනු ලබන සීමිත ගුවන් ගමන්වලින් ප්‍රයෝජන ගනිමින්, ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට  තීරණය කිරීමට පෙර, එසේ පැමිණීමෙන් ඔවුන්ගේ රැකියා හා අධ්‍යාපනය කෙරෙහි ඇතිවිය හැකි බලපෑම පිළිබඳව සියුම්ව සලකා බලන ලෙස විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා සංක්‍රමණික ශ්‍රමිකයන්ගෙන් මෙන්ම ශිෂ්‍යයින්ගෙන් සහ දෙමාපියන්ගෙන් ද ඉල්ලීමක් කර ඇත්තේ ඒ නිසාය.

ඔහු කියා සිටින්නේ මෙම අවස්ථාවේ දී රජයේ ප්‍රමුඛතාවය වන්නේ ආපසු පැමිණීමට අවශ්‍යතාවය තිබෙන මෙන්ම, සමහර අවස්ථාවල දී පැමිණීය යුතුව තිබෙන, සංක්‍රමණික ශ්‍රමික කාණ්ඩය ආපසු රැගෙන ඒම බවය. ඔවුන් සතුව නීත්‍යානුකූලව එම රටවල රැදී සිීටීමට අවශ්‍ය වීසා හා අනෙකුත් ලිපි ලේඛණ නොමැති වීම නිසා  නීතිවිරෝධී සංක්‍රමණිකයන් බවට පත්ව ඇති අතර, ඔවුන් නීත්‍යානුකූල නොවීම හේතුවෙන් එම රටවල දී සෞඛ්‍ය පහසුකම් සහ වෙනත් කිසිදු පහසුකමක්  ලබා ගත නොහැකි තත්ත්වයට මුහුණ දී සිටින බවත්   එසේම රැකියාවෙන් නෙරපා හරින ලද බොහෝ දෙනෙකු ද එහි සිටින හෙයින්  ඔවුන් බොහෝ දුරට අසරණ වී ඇති බවද පෙන්වා දෙයි. මෙම පිරිස් පිළිබදව කටයුතු කිරීමෙන් අනතුරුව, මෙහි පැමිණීමට අපේක්ෂා කරන, එහෙත් රැකියා තිබෙන අය සහ හුදෙක් කොරෝනා අවදානම වළක්වා ගැනීම සඳහා නිවාඩුවට පැමිණීමට අපේක්ෂා කරන අය පිළිබඳව සලකා බැලිය හැකි බවද ඔහු සඳහන් කර සිටියි.

විදේස්ගත ශ්‍රමිකයින් මෙහි පැමිණීමෙන් සිදුවිය හැකි රැකියා අහිමිවීම හෝ අධ්‍යාපන අවස්ථා අහිමිවීම හෝ විශාල ප්‍රමාදයන් පිළිබඳව ප්‍රවේශමෙන් සිතා බැලිය යුතු බවත් මක්නිසාද යත්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධයෙන් ගත් කල, විශේෂයෙන් පෙනී යන්නේ, සමහර ස්ථානවල, එක් දෙමව්පියන් පිරිසකට දරුවන් මෙහි පැමිණීම අවශ්‍ය වන අතර, තවත් දෙමව්පියන් පිරිසකට අවශ්‍ය වන්නේ දරුවන් එහිම රැඳී සිටිමින් විභාග අවසන් කිරීම බවද ඔහු පවසයි.  එබැවින්, මේවා එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික තේරීම් බව දන්නා අතර, මෙහි දී යම් තාර්කිකත්වයක් ද තිබිය යුතු යැයි ඔහු සිතයි.  මක්නිසාද යත්, විදේශ අමාත්‍යාංශයේ දෘෂ්ටි කෝණයෙන් බලන කල, ඔවුන් නැවත ගෙන්වා ගැනීම සඳහා අද  ඉතා වෙහෙස වී කටයුතු කරන නමුත්, තවත් මාසයකින් හෝ දෙකකින් ඔවුන්ට ආපසු යාම සඳහා දුෂ්කරතා ඇති වන විට හෝ එක් අධ්‍යයන වාරයක් අහිමි වන විට, ශිෂ්‍යයන් වශයෙන් ඔවුන්ගේ තත්වය සමථයකට පත් කිරීමට උත්සාහ දරන ලෙස නැවත වරක්  රජය වෙතින් ඉල්ලා සිටිනු ඇතැයිද ඔහු සඳහන් කර සිටියි.

-ශානිකා මාධවී-





Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.