English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
ගෝලීය වසංගතයක් සමඟ සෙල්ලම් කරන රාජ්‍යයක් : කොරෝනා සහ ශ්‍රී ලංකාව
(2020-03-22)

<< Go Back
Share |   


ගෝලීය ව්‍යසනයක් මඟින් අප වැනි සංවර්ධනය වෙමින් පවතින කුඩා දූපත් රාජ්‍යයකට සිදුවිය හැකි ඛේදවාචකය සුළු කොට තැකිය නොහැකිය. ඒ අප ආර්ථිකමය වශයෙන් ශක්තිමත් නොවන, නිෂ්පාදනයෙන් බැහැරව සේවා ආර්ථිකයක් කෙරෙහි නැඹුරු වී සිටින, බොහෝ අවශ්‍යතා සඳහා සංවර්ධිත රාජ්‍යයන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන මත යැපෙන රාජ්‍යයක් වීම හේතුවෙනි. රාජ්‍ය පාලනයේ අසමත්භාවයන් සහ දූෂිත රාජ්‍ය පාලකයන්ගේ අදූරදර්ශී තීරණ හේතුවෙන් විශාල ණය ප්‍රමාණයක් වාර්ෂික රාජ්‍ය ආදායම මඟින් පියවීමටත්, දරා ගත නොහැකි රාජ්‍ය අංශයක් නඩත්තු කිරීමටත් සිදු වීම නිරන්තර ආර්ථීක පසුබෑම්වලට තුඩු දී ඇත. මෙවැනි පසුබිමක් තුළ කොරෝනා වැනි ගෝලීය වසංගත තත්වයක් හමුවේ ශ්‍රී ලංකාව දැඩි ලෙස තර්ජනයට ලක් වන බව තේරුම් ගැනීමටත්, ඊට ප්‍රතිචාර දැක්වීමටත් අප මෙතරම් ප්‍රමාද වූයේ ඇයි?

වගකීම් විරහිත මාධ්‍යකරණය

චීනයේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳව අනතුරු ඇඟවීම් හමුවේ ශ්‍රී ලංකාව උත්කර්ෂයට නැංවූයේ වූහාන්හි සිරවී සිටි සිසුන් මුදා ගැනීමේ මෙහෙයුමයි. මේ අතර වේගයෙන් සමාජ මාධ්‍ය ජාල තුළ පැතිර ගිය බොරු ප්‍රචාර නිවැරදි කිරීමට හෝ කොරෝනා පිළිබඳ නිවැරදි තොරතුරු සපයා ජනතාව දැනුවත් කිරීමට ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය උත්සාහ දැරුවේ නැත. ඒ වෙනුවට කොරෝනාවලින් තොර රටක්ය යි කියමින් සංචාරකයන්ට ආරාධනා කරන දැන්වීම් ප්‍රචාරය කෙරුනි. විදේශ සංචාරකයන්ගේ පැමිණීම සීමා කර, ඔවුන් දැඩි පරීක්ෂාවට ලක් කළ යුතු මොහොතක නැනෝ තාක්ෂණය සහ යුධ හමුදාව උත්කර්ෂයට නැංවූවා මිස, කොරෝනා ව්‍යසනයට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ සාධනීය පියවර ගන්නා ලෙස කිසිදු ජනමාධ්‍යයක් ප්‍රබල හඬක් නැගුවේ නැත. ජනමාධ්‍යයේ ප්‍රධාන ආකර්ෂණය යොමු වී තිබුණේ පාර්ලිමේන්තු මැතිවරණය සහ දේශපාලන පක්ෂවල අභ්‍යන්තර අර්බුද කෙරෙහිය. තම මාධ්‍ය ආයතනය විසින් අනුග්‍රහය දක්වන දේශපාලන පක්ෂය හෝ චරිතය කෙරෙහි මිස ජනතා අවශ්‍යතා කෙරෙහි යොමු වූ මාධ්‍ය භාවිතාවක් දක්නට නොවීය.

දේශපාලන අවස්ථාවාදය

ශ්‍රී ලාංකීය දේශපාලනයේ දරුණුතම ඛේදවාචකය වන්නේ අර්බුද සහ ව්‍යසන හරහා දේශපාලන වාසි ලබා ගැනීමට බොහෝ නායකයන් උත්සාහ දැරීමයි. බලය වෙනුවෙන් රාජ්‍යයේ සියලු පුරවැසියන් වුව පාවා දීමට සූදානම් වීම මොවුන්ගේ නෛසර්ගික ලක්ෂණයකි. වසා දමන ලෙස අනේක ඉල්ලීම් කරද්දීත් සියලු ජාත්‍යන්තර ප්‍රවේශ මාර්ග විවෘත කරගෙන සිටීමත්, කොරෝනා ගෝලීය ව්‍යසනයක් බවට පත් වෙමින් තිබියදීත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යොමුවීමත් දේශපාලන අවස්ථාවාදයේ විවිධ අදියර ලෙස හඳුනාගත හැකිය. දිගින් දිගටම ජනාධිපතිවරයා සහ මැති ඇමතිවරු පවසා සිටියේ, ඔවුන්ට තුනෙන් දෙකේ බලය ලබා ගැනීමට අවශ්‍ය බව සහ මැතිවරණය කිසිසේත්ම කල් නොදමන බවයි. විසුරුවා හැරීම අවලංගු කර නැවත පාර්ලිමේන්තුව කැඳවීමේ හැකියාව තිබියදීත් ජනාධිපතිවරයා ඒ ගැන උනන්දු නොවීය. ජන ජීවිත අවදානමට ලක් වීම කෙරෙහි කිසිදු තැකීමක් නොකළ ආණ්ඩුව මුල්තැන දුන්නේ නාමයෝජනා භාර ගැනීම සහ මැතිවරණ රැස්වීම් පැවැත්වීම කෙරෙහිය. පළමු කොරෝනා ආසාදිත පුද්ගලයා වාර්තා වීමත් සමඟ “ශ්‍රී ලංකාව වසා දමන්න” (Lock Down Sri Lanka) යන ඉල්ලීම වඩාත් ප්‍රබලව ඉස්මතු වූ අතර, ඊට ද ආණ්ඩුවේ ප්‍රතිචාරය අතිශය අනම්‍ය විය. මුලින් පාසල් ද, දෙවනුව විශ්වවිද්‍යාල ද වසා දැමූ ආණ්ඩුව, රාජ්‍ය සහ පෞද්ගලික අංශය කෙරෙහි වෙනස් ආකාරයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින්, ජනතාව මහත් ව්‍යාකූල තත්වයකට ඇද දැමීය. මෙහිදී පැහැදිලි වූ කාරණය නම්, මෙම ගෝලීය ව්‍යසනයට මුහුණ දීමට ආණ්ඩුවට තිබූ නොදැනුම සහ නොහැකියාවයි; එසේම මැතිවරණය පවත්වා බලය තහවුරු කර ගැනීමට තිබූ හදිසියයි. ජනතා ඡන්දයෙන් තෝරා පත් කරගත් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ජන ජීවිත නොසලකා හරින විට ජනතා සුබසිද්ධිය වෙනුවෙන් මැතිවරණය කල් දමන්නේ රාජ්‍ය නිලධාරියෙකු වූ මැතිවරණ කොමසාරිස්වරයාය. ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 19වැනි සංශෝධනය යටතේ ඇති කරන ලද ස්වාධීන මැතිවරණ කොමිසමට හිමි බලය උපයෝගී කර ගනිමිනි.

අනෙකා අමතක වීමේ ඛේදවාචකය

ආණ්ඩුවේ හැසිරීම එසේ තිබියදී පුරවැසියා ද හැසිරුණේ අතිශය ආත්මාර්ථකාමී සහ විනාශකාරී ලෙසයි. ආණ්ඩු සහ පාලකයන් පත් කිරීම පිණිස කතිරය ගැසීමට මිස ඉන් අනතුරුව රාජ්‍ය ප්‍රතිපත්ති කෙරෙහි බලපෑම් කිරීමට ලාංකීය පුරවැසියා දායක වන්නේම නැති තරම්ය. ආණ්ඩුවලින් සියල්ල අපේක්ෂා කිරීමත්, පාලකයන් කෙරෙහි අන්ධ භක්තියක් ඇතිකර ගැනීමත්, සිය වගකීම් සහ අනෙකා පිළිබඳව අමතක වීමත් ලාංකීය පුරවැසියාගේ කැපී පෙනෙන දුර්වලතා ලෙස හඳුනාගත හැකිය. නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීමට විරුද්ධව උද්ඝෝෂණය කිරීම සහ හැකි තරම් ආහාර ද්‍රව්‍ය, ඉන්ධන සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය එක්රැස් කර ගැනීමට තරගකාරී ලෙස පොර බැදීම හරහා පැහැදිලි වූයේ, ගෝලීය ව්‍යසනයකින් තමාට පමණක් බේරී සිටිය හැකිය යන වැරදි උපකල්පනය වන අතර, දැඩි ආත්මාර්ථකාමීත්වය හමුවේ අනෙකා අමතක වීමේ විභවතාවයයි. රෝහලක් හෝ නිරෝධායන මධ්‍යස්ථානයක් යනු, රෝග සුව කරන හෝ නිවාරණය කරන ස්ථානයක් මිස, රෝග ව්‍යාප්ත කරන ස්ථානයක් නොවන බව වටහා දීමට කිසිවකු ඉදිරිපත් වූයේ නැත. කොරෝනා වෛරසය පිළිබඳව පුරවැසියන් පැටලී සිටින මිත්‍යාවලින් ගොඩ ගැනීමට කිසිවකු කැපී පෙනෙන ලෙස මැදිහත් වූයේ ද නැත. තම රටේම එදා වේල සොයා ගැනීමට කුලී වැඩ කරන පිරිසක් සිටින බවත්, ඔවුන්ට ආහාර ද්‍රව්‍ය ගබඩා කර ගැනීමට හැකියාවක් නොමැති බවත් බොහෝ අයට මෙන්ම ආණ්ඩුවට ද අමතක විය. ක්ෂණිකව ප්‍රකාශයට පත් කරන නිවාඩු හා ඇඳිරි නීතිය මඟින් වඩාත් පීඩාවට පත්වන මේ දුප්පත් පන්තියට යම් සහනයක් ලබා දීමට ආණ්ඩුව හෝ වෙනත් කිසිදු ආයතනයක් ක්‍රියා කළේ නැත.

නූගත්කම සහ අතාර්කිකත්වය

දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ජන මනස දරුණු ලෙස ආක්‍රමණය කරමින් සිටින ආගම්වාදය, ජාතිවාදය, අන්තවාදය, ජ්‍යෝතිෂය ඇතුළු බොහෝ මිත්‍යා දෘෂ්ටික අදහස් මෙම ගෝලීය ව්‍යසනය හමුවේ ද අධිපතිත්වයට පත් වී ඇති ආකාරය කැපී පෙනේ. ආගමික සිද්ධස්ථාන වසා තැබීම වෙනුවට ආගම මඟින් ලෙඩ සුව කළ හැකිය යි පතුරවන මිත්‍යා හැරුණුකොට දිවා රෑ නොබලා අතිශය බාධාකාරී ලෙස පිරිත් විකාශය කිරීම ද, විකාරරූපී ජ්‍යෝතිෂ අනාවැකි පළ කිරීම ද ලාංකීය සමාජයේ පසුගාමී බව පෙන්නුම් කරයි. සත්‍ය සහ නිවැරදි විද්‍යාත්මක තොරතුරු වෙනුවට මිත්‍යාව කෙරෙහි විශ්වාසය තබන ජනතාවක් රාජ්‍ය නීති මඟින් ද පාලනය කළ නොහැකි බව අපට දිගින් දිගටම පැහැදිලි වෙමින් තිබේ. සියයට 92ක සාක්ෂරතා හැකියාවක් ඇතැයි වාර්තා වන ජනතාවක් මෙසේ හැසිරෙන්නේ ඇයි? මවු බසින් පමණක් කියවන, මවු බසට පමණක් සවන්දෙන බහුතර ජන කොටසකට මවු බසින් ලැබෙන්නේ අන්තවාදී ලියුම් කියුම් පමණක් නම්, ඔවුන් අතාර්කික වීම නොවැළක්විය හැකිය. සුනාමි ව්‍යසනයට බොහෝ පිරිසක් ගොදුරු වූයේ ඒ පිළිබඳ තිබූ නොදැනුවත්භාවය හේතුවෙනි. කොරෝනා ව්‍යාප්තියේ භයානකකම ද බොහෝ පුද්ගලයන් විසින් ගණන් නොගන්නේ ඒ පිළිබඳ ඇති නොදැනුවත්භාවය සහ අත්දැකීම් විරහිතභාවය හේතුවෙනි.

ප්‍රතිපත්තිමය සහ ආයතනික ඒකාබද්ධතාවයක් නොමැති වීම

ගෝලීය වසංගත තත්වයකට මුහුණ දීම පිළිබඳව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා වූ ජනාධිපතිවරයා සිටින ස්ථාවරය අතිශයින් ගැටලුකාරීය. ජාතිය අමතා ඔහු ප්‍රකාශ කළේ, යුද්ධය දිනූ ඔහුට කොරෝනා තුරන් කිරීම සරළ කටයුත්තක් බවයි; එබැවින් ඔහු කෙරෙහි විශ්වාසය තබන ලෙසයි. මෙය දරුණු වරද්දා ගැනීමක් බව සෞඛ්‍ය සහ අනෙකුත් ක්ෂේත්‍රවල වගකිවයුතු පිරිස් කොතෙක් පෙන්වා දුන්න ද, ගෝලීය ව්‍යසනයක බරපතළ තත්වය තේරුම් ගැනීමට රාජ්‍ය නායකයා අපොහොසත් වීම අතිශය බැරෑරුම්ය. වසංගත තත්වයක් කිසිසේත්ම යුද්ධයකට සමාන කළ නොහැකිය. රාජ්‍ය නායකයකු තමා පිළිබඳ ජනතා විශ්වාසය ගොඩ නංවා ගත යුත්තේ ක්‍රියාවෙන් මිස පුරසාරම් දෙඩවීමෙන් නොවේ. රාජ්‍ය පාලනය පිළිබඳ අංශුමාත්‍ර අවබෝධයක් හෝ ජනාධිපතිවරයාට තිබුණේ නම්, මේ අර්බුදකාරී අවස්ථාවේ සියලු භාරධූර කාර්යන් හමුදාවට පවරන්නේ නැත.

තනි පුද්ගල වුවමනාවන්ට අනුව, රාජ්‍යයක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය අත්තනෝමතික ලෙස හමුදාවට පැවරිය නොහැකිය. සිදු කළ යුත්තේ වගකිවයුතු රාජ්‍ය ආයතන අතර ඒකාබද්ධතාවයක් ඇතිකොට එම ආයතනවල අධීක්ෂණය යටතේ හමුදාවට ද වගකීම් පැවරීමයි. සෞඛ්‍ය, වෛද්‍ය සහ සමාජ සේවා ද, ආගමන විගමන, වරාය, ගුවන්තොටුපොළ සහ මූල්‍ය සේවා ද, රාජ්‍ය, පෞද්ගලික සහ රාජ්‍ය නොවන අංශ ද, සියලු දේශපාලන පක්ෂ සහ අමාත්‍යංශ ද මේ මොහොතේ ක්‍රියා කළ යුත්තේ ඒකාබද්ධ වැඩපිළිවෙළක් යටතේය.

දැන් සිදුවී ඇත්තේ වෛද්‍යවරුන් ඇතුළු සියලු නිලධාරීන්ට සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ අවම දැනුමක් ඇති හමුදා ප්‍රධානීන් යටතේ සේවය කිරීමටයි. මාධ්‍ය ඉදිරියේ වඩාත් ඉඩක් ලැබී ඇත්තේ හමුදා ප්‍රධානීන්ටයි. ඔවුන් පවසන අදහස් සහ සිවිල් රාජ්‍ය නිලධාරීන් පවසන අදහස් එකිනෙකට පරස්පරය. ජනාධිපති ද, අගමැති ද, ඇමතිවරු ද එකිනෙකට පටහැනි අදහස් පවසති. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී මෙය අතිශය දරුණු වරද්දා ගැනීමකි. මේ මඟින් සිදු වන්නේ අදාළ ක්ෂේත්‍රවල විශේෂඥ පිරිස් දැඩි ලෙස අධෛර්යමත් වීමයි; ඔවුන්ගේ සේවය උපරිමයෙන් ලබා ගත නොහැකි වීමයි. කොරෝනා වසංගතය මැඩ පැවැත්වීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය මොහොතක ජනාධිපතිවරයා සිය මිලිටරිවාදී බල අරමුණු සපුරා ගැනීමට දරන උත්සාහය හෙළා දැකිය යුතුය. මෙහිදී කැපී පෙනෙන්නේ ගෝලීය ව්‍යසනයක් හමුවේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ අසමත්භාවයයි. ලොව බොහෝ රාජ්‍යයන් සිය බල අරමුණු පසෙක තබා මෙම භයානක ගෝලීය ව්‍යසනයෙන් ගොඩ ඒමට තැත් කරද්දී, ශ්‍රී ලාංකීය නායකයන් සිය පටු බල දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ජන ජීවිත පාවා දීම මහත් ඛේදවාචකයකි.

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විසින් ගන්නා ක්ෂණික අදූරදර්ශී තීරණත්, ඇතැම් පුරවැසියන් විසින් ක්‍රියාකරන අත්තනෝමතික ආකාරයත් අනුව ඉදිරි සති කිහිපයේදී සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත සහ මරණ තීන්දු වීම අතිශයින් සිත රිදවන සුළුය.

ආචාර්ය ඉන්දි අකුරුගොඩ

රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශය

රුහුණ විශ්වවිද්‍යාලය







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.