English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
“ආණ්ඩුවේ මධුසමය සහ ගෝඨාභය ෆැන්ටසිය” - දේශපාලන විචාරක රසික ජයකොඩි
(2020-02-14)

<< Go Back
Share |   


මාස තුනකට කලින් බලයට පත් වු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව මේ වන විට තීරණාත්මක සංන්ධිස්ථානයකට පැමිණ ඇති බව අපට කිව හැකිය. මේ දේශපාලන තත්ත්වය නිවැරදිව හඳුනා ගැනීමට නම් ගෝඨාභය රාජපක්ෂ යනු කවරෙක්ද? යන්න අප තුල කියවීමක් තිබිය යුතුය.

ගෝඨාභය රාජපක්ෂ කියලා මේ මොහොතේ අප අත්දකින ජනාධිපතිවරයා ලංකාවේ නව මධ්‍යම පන්තියේ සහ තරුණ පරපුරේ නිර්මාණයකි. මේ නව මධ්‍යම පන්තියට සහ තරුණ පරපුරට බටහිර සමඟ ප්‍රතිවිරුද්ධ ෆැන්ටසි එකක් ඇත. මේ පුද්ගලයින් ඉංග්‍රිසි චිත්‍රපටිවල හෝ නැතිනම් බටහිරට ගිය විට හෝ බටහිරට යම් ආශක්ත වීමක් තිබේ. ඉන් අදහස් වන්නේ බටහිර විදිහට විනය පවත්වාගෙන යාමට, බටහිර විදිහට සංවර්ධනය කිරිමට, බටහිර විදිහට ලංකාව දියුණු කරන්න ඔවුන් ආසය. ඒ බටහිර පිලිබඳ ඔවුන් තුල ඇති ෆැන්ටසිය වේ. එමෙන්ම බටහිර දේශපාලන කුමන්ත්‍රණ ගැන, බටහිරින් කෙරෙන දේශපාලන අතපෙවීම් ගැන, බටහිර මැදිහත් වීම් වලට ඔවුන් බයය. සරලව කියතොත් ලංකාවේ නාගරික හා අර්ධ නාගරිකව ජිවත් වන නව මධ්‍යම පන්තියට සහ තරුණ පරපුරට ඇත්තේ බටහිර ගැන ආසයි බයයි දෙකමය.

ගෝඨාභය රාජපක්ෂ තුල ඔවුන් දකින්නේ මේ බටහිර සංවර්ධනය, බටහිර පිලිවෙල, බටහිර විනය අප රට තුලට ගෙන ආ හැකි වීර චරිතයක් බවත් එය කළ හැක්කේ ඔහුට පමණක් බවත් සිතයි. ඒ අනුව පහුගිය ජනාධිපතිවරණයේදී ඔවුන් ඉතාම විශාල ප්‍රතිශතයකින්, ඉතා විශාල පරතරයකින් ගෝඨාභය රාජපක්ෂ මහතාව ජයග්‍රහණය කරනු ලබයි. ගෝඨාභය රාජපක්ෂ කියා ඔවුන් ඒ නිර්මාණය කරනු ලබන ෆැන්ටසිය ඇතුලේ ඔහුට ඡන්දය දීපු අය අත්විඳියි.

දැන් මේ සිටිනා ගෝඨාභය රාජපක්ෂ මීට අවුරුදු 10 කට කලින් එහෙමත් නැතිනම් පහුගිය ආණ්ඩු කාලයේ සිටි ආරක්ෂක ලේකම්වරයාම නොවේය. රතුපස්වල උද්ඝෝෂකයින්ට ආමි එකෙන් වෙඩි තියනකොට, ලසන්ත වික්‍රමතුංග මහ පාරේ ඝාතනය වෙනකොට, උපාලි තෙන්නකෝන්ට, කීත් නොයාර්ට, පෝද්දලට ප්‍රහාර එල්ලවෙනකොට ලංකාවේ ආරක්ෂක යාන්ත්‍රණය උඩ සිටි ආරක්ෂක ලේකම්වරයා නොව දැන් සිටින්නේ වෙන කෙනෙකි.

අද කොළඹ නගරයේ ජනාධිපති ලේකම් කාර්යාලය අභියස එක්තරා බිම්කඩක් උද්ඝෝෂකයින්ටම වෙන් වී තිබේ. මෙය සිදු වන්නේ එදා රතුපස්වල සිද්ධියේදි ආරක්ෂක ලේකම්වරයාව සිටි පුද්ගලයා දැන් ජනාධිපතිවරයාව සිටින අවස්ථාවකය. මේ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතාද පෙර සඳහන් කළ ගෝඨාභය ෆැන්ටසිය තුලම ජිවත් වේ. දේශපාලන ලෝකයේ රජ කරන්නේ ඒ ෆැන්ටසියය. එය අප තේරුම්ගත යුතු ප්‍රධාන කාරණාවකි. ඒ අලුත් ගෝඨාභය රාජපක්ෂ මහතා වියතුන් දේශපාලනයට ගේන්න උත්සහ කරන්නා සේම වෘත්තිකයින්ට, ව්‍යාපාරිකයින්ට රජයේ ඉහළ තනතුරු ලබා දී ලංකාවේ පාලන ත්‍රන්තය තුල යම් කිසි වෙනසක් ඇති කිරිමට උත්සහ කරමින් සිටියි. මේ සමස්ථ ක්‍රියාවලිය තුල ඔහුට ඡන්දය ලබා දුන් ජනතාව තවමත් බලාපොරොත්තු සහගතව සිටින්නේ ඔහු මොනවා හෝ දෙයක් ඉටු කරාවි යැයි යන්නය.

නමුත් මේ ෆැන්ටසියත් සමඟ අපට අමතක වන දේ වන්නේ මේ දේශපාලන කඳවුර පහුගිය ජනාධිපතිවරණ කාලයේ දිගින් දිගටම කියන ලද කාරණා විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයේ වගකිව යුතු අයට දඬුවම් ලබා දීම, බැඳුම්කර හොරුන්ට දඬුවම් ලබා දිම, ජීවන වියදම පහත හෙළිම ආදි කරුණු රැසක් මේ ෆැන්ටසිය නිසා අමතක වීමය. තවත් පැත්තකින් කිවහොත් ඔවුන් අමතක කරමින් සිටිමය. මේ ඇත්ත ප්‍රශ්න වලට විසඳුම් සොයනවාට වඩා ඔවුන්ට ෆැන්ටසිය නඩත්තු කරන එක පහසුය. ඒ අනුව ලංකාවේ බඩු මිල පිලිබඳ බරපතල ප්‍රශ්නයක් ආණ්ඩුව තුන් වෙනි මාසය වන විට පැන නැඟී ඇත. බැඳුම්කර හොරුන්ට දඬුවම් ලබා දීම ගැන කථා කරන විට වෝහාරික විගණන වාර්තාවට මොකද්ද කරන්නේ කියන තිරණය ගත නොහැකිව ආණ්ඩුව සිටියි. ආණ්ඩුවේ විවිධ අය මේ ගැන විවිධ තැන් වල එක එක දේ ප්‍රකාශ කළත් ඔවුන් අධිකරණයට යාමට බයක් දක්වන බව පෙනේ. අනෙක් පැත්තෙන් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු කිසිවෙකුට විරුද්ධව තීරණාත්මක පියවරක් මේ වන විටත් අලුත් ආණ්ඩුව අරන් නැත. මේ ගෝඨාභය ෆැන්ටසිය නිසා ඇත්ත ප්‍රශ්න යට ගැසීමේ ප්‍රවණතාවක් ලංකාවේ දේශපාලන භූමියේ පෙනෙන්නට ඇත.

මීට අමතරව ගෝඨාභය රාජපක්ෂ මහතා ෆැන්ටසිය තුල ගෙන එන්නට හදන ආකෘතියට මේ ආණ්ඩුව ඇතුලෙන්ම ප්‍රතිවිරුද්ධ චෝදනා එල්ල වන බවකුත් පෙනෙන්නට ඇත. හිටපු ජනාධිපති, වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා නවදිල්ලි නුවර සංචාරයට යන විට එම දුත පිරිසේ සිටින ප්‍රසන්න රණවීරද සිටියි. ප්‍රසන්න රණවීරව ප්‍රසිද්ධ වී සිටින්නේ පහුගිය දේශපාලන කුමන්ත්‍රණ කාලයේ පාර්ලිමේන්තුවේ මිරිස්කුඩු එල්ල කළ පුද්ගලයා ලෙසය. කථානායකවරයාගේ පුටුවට වතුර වත්කළ පුද්ගලයා ලෙසටය. ඒ ප්‍රසන්න රණවීර අගමැතිගේ සංචාරයේ දුත පිරිසේ සාමාජිකයෙක් බවට පත්ව තිබුණි. මෙය සමාජ මාධ්‍ය වල දරුණු ලෙස විවේචනයට ලක් කෙරුණි. මේකද? ආණ්ඩුවේ වියත් දේශපාලනය කියන එක ගැන ප්‍රශ්න කිරිමට පටන් ගත්හ. එතකොට මේ සිද්ධවෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නඩත්තු කරන්න යන අර වියත් දේශපාලන සංස්කෘතියට ආණ්ඩුව ඇතුලෙන්ම අභියෝග කිරිමය. වියතුන් දේශපාලනය යොදවා වැඩක් නැහැ.ඔවුන්ට භූමිය ගැන තේරුමක් නැති නම් යැයි නාමල් රාජපක්ෂ මහතා කියනවා අප දුටුවෙමු. ඒ අනුව ආණ්ඩුවට මාස තුනක් ගතවෙන මේ වේලාවේ ආණ්ුඩව ඇතුලෙන්ම මේ දේශපාලන ක්‍රියාවලිය අභියෝගයට ලක් වෙන බවක් පෙනේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වු විගස රජයේ ඉහළ තනතුරු සඳහා නිලධාරින් පත් කර ගැනිමට කමිටුවක් පත් කර ගත්තේය. ඒ කමිටුවට පත්තර හරහා දැන්වීම් පළ කිරිමෙන් ඇප්ලිකේෂන් ගෙන්වාගෙන ඒ අතරින් සුදුසුකම් ඇති පුද්ගලයා පත් කිරිමේ යාන්ත්‍රණයක් මුලින් යෝජනා විය. ඒ පිලිබඳ රටේ බොහෝ පිරිසකගේ ප්‍රසාදය පළවිය. නමුත් අද සිද්ධවෙන පති කිරිම් දිහා බැලුවහම මේ කමිටුවද මේ පති කිරිම් කළේ? එහෙමත් නැතිනම් මේ කමිටුවට දේශපාලන බලපෑම් එල්ල වෙලා තියෙනවද? කවුද මේවා පිටිපස්සේ හිටියේ කියන එක ගැන නැවත වතාවක් අපට ප්‍රශ්න කිරිමට සිදුව තිබේ.

අද මේ මොහොත වන විට රෝහණ බැද්දගේ මහතා මාලදිවයින තානාපතිවරයා ලෙස පත් කර ඇත. ඔහු කලාවට විශේෂ සේවයක් කළ අයෙක් වන නමුත් තානාපතිවරයෙකු වීමට ඇති මුලික සුදුසුකම්වත් ඔහු සපුරනවද කියන ප්‍රශ්නය අපට ඇසිමට සිදු වේ.

මාස තුනක් යනු ආණ්ඩුවක මධුසමය කාල සීමාවය. මධුසමය කාලය තුලත් ආණ්ඩුව මේ තරම් ප්‍රශ්න දා ගන්නවානම් ඉදිරි කාල සීමාව තුල ආණ්ඩුව මොන විදිහකට වැඩ කරයිද කියන දෙගිඩියාව සහ චකිතය පොදු ජනතාව තුල ඇති බව මේ දේශපාලන භූමිය කියවන අයෙකුට අවබෝධ වේ.







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.