English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
දේවානිගේ මැදිහත්වීමෙන් එළිදරව් වූ දේශප්‍රේමයේ නිරුවත. - දුලාන් දසනායක
(2020-02-13)

<< Go Back
Share |   


දැන් ලංකාවේ ඇත්තේ අතිශයින්ම දේශප්‍රේමී රජයකි. එහි ජනාධිපතිවරයා දිව්රුම් දුන්නේ රුවන්වැලි මහ සෑ බිමෙහිය. බලයට ඒමට ජීවය සැපයූවේ බෞද්ධ භික්ෂූන් ඇතුළු සිංහල ස්වෝත්තමවාදීන්ය. ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට මැද පන්තියේ හා තරුණ ඡන්ද එකතු කිරීමට අවශ්‍ය මතවාදය සැපයූවේ ඔවුන්ය. රාජ්‍යයේ ආරක්ෂාව අනතුරක ඇති බව එකී මතවාද අතර ප්‍රධාන විය. ඊට අමතරව තවත් ප්‍රධාන මාතෘකාවක් වූයේ මුස්ලිම් ජාතිකයන් මේ රට ආක්‍රමණය කරන බවයි. මෙහිදී ප්‍රධාන සිදුවීම් දෙකක් ඔවුන් මතු කරන ලදී. එකක් වෛද්‍ය සාෆි වඳ සැත්කම් කරන කතාවයි. අනෙක රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා විල්පත්තුව කපමින් මුස්ලිම් ජනාවාසකරණයක් සිදු කරන කතාවයි.

මේ විල්පත්තුව කපන කතාව සමගම පසුගිය සමයේ භූමියේ පරිසරය ආරක්ෂා කරගැනීමට පෙරමුණගත යුතුය යන සංවාදයක් ඇති කරවනු ලැබීමය. කිසි දිනක පරිසරයට සංවේදී නැති මහතුන් මෙහි පෙරමුණ ගන්නා ආකාරයක් දක්නට ලැබුණි. රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට විශාල දායකත්වයක් සැපයූ හා මතවාදයන් සැකසූ විද්‍යුත් නාලිකාවක් පැළ සිටුවා පරිසරය රකින වැඩසටහන් ගණනාවක් මෙහෙයවනු දැකිය හැකි විය. තවත් එවැනිම නාලිකාවක් විල්පත්තුවට ගොස්  ආන්දෝලනාත්මක වාර්තාකරණයක් ලෙස ඇතැම් දේ වාර්තා කරනු දැකිය හැකි විය.

මේ සියල්ල රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තියට අවශ්‍ය දේශපාලන මතවාදය සැපයීම වෙනුවෙන් සිදු කරන ලද කටයුතු විය. නගර අලංකරණය සිදු කල කුණු ප්‍රශ්නය කෙසේ හෝ විසඳූ සුපිරි පරිසර හිතකාමියකු බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ගොඩ නගා තිබුණි. සුරකිමු ලංකා ඇතුළු බොහෝ සංවිධාන ඒ මහතා වෙනුවෙන් කටයුතු කරනු දැකිය හැකි විය. විල්පත්තුව මුස්ලිම් බදියුදීන් කපන බවත් ශ්‍රී ලංකාව විනාශ කරන්නේ මුස්ලිමුන් බවටත් මතවාදයක් මැද පන්තියේ හා තරුණයන් අතර ප්‍රචලිත විය. අවසානයේ මෙරට පරිසරය වනසන්නන් මුස්ලිම් ජාතිකයන් පමණක් වන බවට තරුණයන්ගේත් මැදපන්තියේත් හිත් තුළට කාවැද්දීමට මේ මතවාදී ව්‍යාපාරය සමත් විය. ඒ බව පැහැදිලි වන හොඳම කරුණක් වන්නේ පසුගිය සමයේ තරුනයන් විසින් දිවයින පුරා තාප්පවල ඇඳි සිතුවම් තුළ ගස් කපන්නා මුස්ලිම් ජාතිකයෙක් බවට ඇගවෙන සිතුවම් බොහොමයක් දැකිය හැකි වීමෙනි. ඔවුන්ගේ සිතට මේ මතවාදය කා වැදී ඇති ආකාරය ඉන් පෙනේ.

ඇත්තවශයෙන්ම මේ සියල්ල හරහා ඉතාමත් සංවිධානාත්මකව සිංහල ස්වෝත්තමවාදීන් උත්සහ කළේ පරිසරය රැකීමට නොව මුස්ලිම් විරෝධය අවුලුවාලීමටත් ඒ හරහා අසහාය සිංහල නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමත්ය. පරිසරය උදෙසා වන විරෝධතා මුස්ලිම් විරෝධයක් බවට පරිවර්තනය වී තිබුණි.

දැන් තරුණයන්ටත් මැද පන්තියටත් සිහි එළවා ගැනීමට කාලය පැමිණ තිබේ. පසුගියදා දේවානි ජයතිලක නම් වනසංරක්ෂන නිලධාරීතුමිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත හට කොන්ද පණ ඇතිව නීතිය හා කළ යුතු දේ පැහැදිලි කරන ලදී. ඒ පිළිබඳ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරුණි. ඉන් පසු ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යවලටද මේ මාතෘකාව සාකච්ඡාවට ගත නොහැකි තත්වයක් නිර්මාණය විය. රජයේ ඇමතිවරයකු ඉදිරියේ මෙලෙස කොන්ද පණ ඇතිව හැසිරීමට ඇයට ඇති ධෛර්යයට අප ඇයට ගරු කල යුතුය. අනිවාර්යයෙන් නීතියට කටයුතු කරන රජයේ නිලධාරීන් ඇගේ ක්‍රියාවෙන් යම් උත්තේජනයක් ලබනු ඇත.

ඇයගේ මෙම ක්‍රියාව නිසා එළිදරව් වූයේ පරිසරය සුරැකීමට හා දේශය රැකීමට කියා මේ රට භාර දී ඇති කණ්ඩායමේ දේශප්‍රෙමයේ නිරුවතයි. සනත් නිශාන්ත යනු ඒ වෙනුවෙන් වෙහෙස වී වැඩ කල අයෙකි. ඔවුන්ගේ දේශප්‍රේමී කණ්ඩායමට අනුව ඔක්සිජන් අවශ්‍ය නැති දෙයකි. කඩොලාන කපා ක්‍රීඩා පිටියක් සැකසීම මාර දෙයකි.

මේ කඩොලාන කපා ක්‍රීඩා පිටි සකසන කතාව එන්නේ සනත් නිශාන්තගෙන් නොවේ. මෙය ආණ්ඩුවේ ඉහළම තැන් වලින් අනුමත වුණු ව්‍යාපෘතියකි. මේ ව්‍යාපෘතියට අදාළව වන සංරක්ෂණයේ විරෝධය මේ වන විටත් ඉහළම තැන් වලට සන්නිවේදනය වී ඇත. මෙවන් ව්‍යාපෘතියක් නැවත කරළියට ගැනීමට ඉඩ දීම ගැන සනත් නිශාන්තලා නොව ආණ්ඩුවේ දේශප්‍රේමී නායකයන් ලැජ්ජා විය යුතුය. ඇත්තම කරුණ නම් ඔවුන්ට තිබුණේ බලයට ඒමේ අරමුණක් මිස පරිසරය රැකීමේ අරමුණක් නොවේ. පරිසරය ඔවුන්ට තුට්ටුවකට වටින දෙයක් නොවේ. සංවර්ධන ව්‍යාපෘති, කොමිස්, ඡන්ද යන දෑ ඔවුන්ට පරිසරයට වඩා බොහෝ සෙයින් වැදගත්ය.

මේ ජනාධීපතිවරයා බලයට පත් වූ සැනින් සිදු කලේ පස්, වැලි, ගල් ප්‍රවාහනයට තිබූ බලපත්‍ර ගැනීම අහෝසි කිරීමය. ඉන් මේ දක්වා පරිසරයට සිදු වූ හානිය අති විශාලය. එදා විල්පත්තුවට කෑමොර දුන් භික්ෂූන් ඇතුළු ඇතැම් සංවිධාන ජාමෙ බේරා ගැනීමට මාධ්‍ය හමුවක් පැවැත්වුවා මිස කල වෙන කිසි දෙයක් නොමැත. මහා පරිසර හිතකාමී නාලිකාවලට වගේ වගක් නොමැත. පස් කපන්නේ වැලි කපන්නේ ගල් කඩන්නේ මුස්ලිමුන්ද?

දැන් දෙවන අදියර පැමිණ ඇත. ඒ ලංකාවේ ස්වභාවික සම්පත්වලින් ඉහළතම ස්වභාවික සම්පතක් වන කඩොලාන කපා ක්‍රීඩා පිටි හැදීමය. මේ තීරණ එන්නේ මොන වියතුන්ගෙන්දැයි මේ වියත් රජයෙන් විමසිය යුතුය. මේ සම්බන්ධයෙන් විල්පත්තුවට දැගලූ භික්ෂූන් හා සංවිධාන කොහේ දැයි දන්නේ නැත. එදා උදේ සිට රෑ වන තුරු දින පතා විල්පත්තුව ගැන මාධ්‍ය සාකච්ඡාය. උකුස්සා CIA ක්‍රියාන්විත හැමවිටමය. අද සියල්ල කණපිටය. පරිසරය රැකීමට වඩා පාලකයන් රැකීම පෙරමුණට පැමිණ ඇත.

දේශප්‍රේමයේ සැබෑ ස්වරූපය මෙයයි. දේශප්‍රේමය හැමවිටම භාවිතා වී ඇත්තේ අවස්ථාවාදී අරමුණින් මිස මහජන හිතකාමී අරමුණින් නොවේ. ඉතාලියේ කොමියුනිෂ්ට් නායක අන්තෝනියෝ ග්‍රාම්ස්චි කීවේ දේශප්‍රේමය වනාහි පාදඩයන්ගේ අවසාන නවාතැන්පොළ බවයි. දේශප්‍රේමයෙන් ආවරණය වී ඇති ලංකාවේ දේශපාලකයන්ගේ ඇතුළාන්තය බැලූ කල නැවත නැවතත් තහවුරු වන්නේ මේ ප්‍රකාශයේ සත්‍යතාවය නොවේද? ඇත්තවශයෙන්ම දේවානි සහෝදරිය විසින් නැවතත් එළිදරව් කරනු ලැබුවේ දේශප්‍රේමී සලුපිළි පොරවා ගත් පාලකයන්ගේත් ඔවුන්ව බලයට පත් කල චක්ගෝලයන්ගේත් ඇත්ත ස්වරූපයයි.

ඒ ගැන නැවත නැවතත් අප ඇයට ස්තූතිවන්ත විය යුතුය.

-දුලාන් දසනායක-







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.