English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
මුලු රටක් අවදි කළ ඔක්සිජන් කත!
(2020-02-13)

<< Go Back
Share |   


දේවානී ජයතිලක කියු පමණින් අද රටේ සියලු දෙනා ඇයව හඳුනයි. ඉකුත් 10 දාට ප්‍රථම ඇයව රටේ සියලු දෙනා දැන සිටියේ නැත. නමුත් ඉකුත් 10 දා ඇය සහභාගි වු මීගමුව කලපු සංවර්ධන රැස්වීමෙන් පසු ඇයව මුලු රටක්ම හඳුනනු ලබයි. ඒ ඇය ඇයගේ රාජකාරිය නීතියටම කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව කඩොලාන පද්ධතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නැඟී සිටිම නිසාය. වෙනදා පරිසරය ගැන උනන්දුවක් නැති පුද්ගලයින් පවා අද පරිසරය ගැන, ඔක්සිජන් ගැන සොයන්නට පටන් ගෙන ඇත.

දේවානී ජයතිලක යනු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගම්පහ කාර්යාලයේ දිසා වන නිලධාරිනිය වේ. ඇය මෙහි පැමිණ වසර තුනක් පමණ වේ. ඒ වසර තුන කාලය පුරා ඇයට නිරික්ෂණය වු එක් දෙයක් ඇත. එනම් අඩුම වන ගහනය ඇත්තේ ගම්පහට බවය. එය සියයට එකයි දශම හයකි. ඉන් වනජිවියට ඇත්තේ අක්කර 18 කි. වන සංරක්ෂණයට ඇත්තේ හෙක්ටයාර් 81 කි. ගම්පහ දිස්ත්‍රික්කයේ බොයිලේරු 52 ක් ඇති බවත් ඒවාට ටොන් 40 ක ගස් කපන බවත් දේවානි ජයතිලක අනාවරණය කර ගෙන තිබේ. මෙලෙස පරිසරයට හානි වීම තුලින් කාබන්ඩයොක්සයිඞ් උරා ගැනීමට ගස් නොමැති වන බවත් එවිට හුස්ම ගැනීමට ඔක්සිජන් නොමැති බවත් ඇය ඉතා සරලව තේරුම් ගත් කරුණකි. මේ නිසාම වන සංරක්ෂණ නිලධාරිනියක් ලෙස ඇය මාසික වැටුපට පමණක් සීමා නොවි පරිසරය සුරැකීමට පෙරට පැමිණියාය.

ගැටුම

මෙහිදි හෙක්ටයාර් 14 ක වපසරියකින් යුත් මීගමුව - සින්නඩිතෝට්ටම් දුපතට පස් පිරවීම සම්බන්ධයෙන් ගැටලුවක් මතුව තිබුණි. මෙහිදි ගම්පහ වන සංරක්ෂණ නිලධාරින් මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පැවරු අතර එහිදි දුපතෙන් පස් ඉවත් කරන ලෙස නියෝග ලබා දී ඇත. මේ අතර මීගමුව - මුන්නක්කරය  ශාන්ත නිකුලා සිංහල මිශ්‍ර කනිෂ්ඨ විද්‍යාලයට ක්‍රිඩා පිටියක් නොමැති වීම නිසා මීගමුවේ එක්තරා දේශපාලන පාර්ශවයක ආශිර්වාදයෙන් එහි කඩොලාන කපා පිට්ටනියක් සකස් කර තිබුණි.

මෙම රජයේ ඉඩමේ පිට්ටනිය තනා ගැනීමට අනුමැතිය ලබා දෙන ලෙස ඉකුත් 10 දා මීගමුව කලපු සංවර්ධන රැස්වීමේදි ධීවර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කුරුගමගේ සනත් නිශාන්ත පෙරේරා මහතා දේවානී ජයතිලක මහත්මියගෙන් ඉල්ලා සිටියේය. එහිදි ඇය එක හඬින් කියා සිටියේ එය රජයට අයත් කඩොලාන පරිසරයක් බවත් කිසිසේත්ම පිට්ටනියක් සකස් කිරිමට ඉඩ දිය නොහැකි බවත්ය. එහිදි රැස්වීමට පැමිණ සිටි යම් යම් පුද්ගලයින් පිරිසක්ද ඇයට එරෙහිව හඬ නැගු නමුත් දේවානී ජයතිලක නම් ඇය කියා සිටියේ නීතියට පිටින් කිසිදු දෙයක් සිදු නොකරන බවය.

මෙම අවස්ථාවේ වීඩියෝ අන්තර්ජාලය පුරා සංසරණය වීමත් සමඟ සමාජ මාධ්‍ය වල දේවානී ජයතිලකට ප්‍රශංසා හිමි වු අතර සනත් නිශාන්ත ගැන විවිධ අප්‍රසාදයන් පළ වන්නට විය.

මේ අතර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අමාත්‍යවරයා ඊයේ (12) දින මාධ්‍ය හමුවකදී කියා සිටියේ දේවානී ජයතිලක එදා රැස්වීමේදි ධීවරයින්ගෙන් ගුටි නොකා බේරා ගත්තේ තමන් මැදිහත් වී බවය. එමෙන්ම රජයේ සංවර්ධන කටයුත්තකට ඇයට බාධා කිරිමට නොහැකි බවත් ඇය නිසා රුපියල් ලක්ෂ 7000 ක ව්‍යාපෘතියක් නැවැත්විය නොහැකි බවත්ය.

ඔහුගේ මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ඔහු හොඳින් හෝ නරකින් මෙහි ක්‍රිඩා පිටිය ඉදිකරන බවය.

-ශානිකා මාධවී-







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.