English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
බේරේ වැව හා මැතිවරණ වලදී ගම්පහ දිස්ත්‍රික්කය
(2020-02-12)

<< Go Back
Share |   


මෙවර පැවැත්වෙන මහ මැතිවරණය සඳහා මේ වන විට ප්‍රධාන පක්ෂ කිහිපයක්ම දැනටමත් ප්‍රචාරක කටයුතු අරඹා තිබේ.

දේශපාලනමය වශයෙන් ගත් කළ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බලකොටුව වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ආසනයය. දේශපාලන, කලාව, සංස්කෘතිය, පුරා විද්‍යාව, ලේඛකත්වය, අධ්‍යාපනය ආදි මොන අංශයෙන් ගත්තත් ගම්පහ දිස්ත්‍රික්කයට හිමි වන්නේ අද්වීතිය ස්ථානයකි.

ගම්පහ දේශපාලනය කියු සැණින් රට්ටුන්ගේ මතකයට එන්නේ එස්.ආර්.ඩබ්ලිව්.ආර්.බණ්ඩාරනායකගේ වතගොතය. නැතහොත් ඩී.එස්.සේනානායකගේ වතගොතය. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක්ම අතීතයේදි ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළේ මහත්මා දේශපාලනයක් ගෙන යමිනි. එදා කටපුරා කිව හැකි පිරිසිදු දේශපාලනයක් මේ දිස්ත්‍රික්කය තුල පැවතුණි.

නමුත් වර්තමානය වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලනය වලපල්ලට යමින් ඇත. එදා දේශපාලනය කළ උගතුන් අද ගම්පහ නැත. අධ්‍යාපනයේ ප්‍රමුඛයා ලෙස විරුදාවලි ලත් ගම්පහ තුල දැන් හට ගනිමින් ඇත්තේ බලය පෙරටු කර ගත් දේශපාලනයකි. උගත්කම දැන් මේ දේශපාලඥයින් තුල නැත. ගම්පහ දිස්ත්‍රික්කයේ පරම්පරාගත පදිංචිකරුවන්ට වඩා දැන් සිටින්නේ වෙනත් පළාත් වලින් ගොස් එහි පදිංචි වු පුද්ගලයින්ය. එහෙයින් එදා තිබු ගම්පහ අභිමානය අද දක්නට නැත.

ඔක්කොම කුණු බේරේ වැවේ බොක්කට මෙන් කිසිදු උගත්කමක් නැති, දේශපාලන සුදුසුකම් නැති පුද්ගලයින් ගම්පහින් මැතිවරණ වලට ඉදිරිපත් වීමට පටන් ගෙන තිබේ. ගම්පහට කිසිදු සම්බන්ධයක් නැති පුද්ගලයින් මැතිවරණයක් ආසන්නයේදී එක්වරම අහසින් කඩා පාත් වුවන් සේ ගම්පහට පැමිණේ. මෙහි විශේෂත්වය වන්නේ එසේ පැමිණෙන ඔවුන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉහළින්ම තේරී පත් වීමය.

එවන් සිදුවීම් ගණනාවක්ම මෑත ඉතිහාසයේ ගම්පහ දේශපාලනය තුල පෙරළි කිරිමට සමත් විය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බැසිල් රාජපක්ෂ මැතිවරණයට ඉදිරිපත් වීම, එක්සත් ජාතික පක්ෂයෙන් උපේක්ෂා ස්වර්ණමාලි නොහොත් පබා මැතිවරණයට ඉදිරිපත් වීම, එක්සත් ජාතික පක්ෂයෙන් රන්ජන් රාමනායක ඉදිරිපත් වීම, ගම්පහ නගර සභාවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් අජිත් බස්නායක ඉදිරිපත් වීම ඒ අතර කැපී පෙනෙන සිදුවීම් විය.

එක්සත් ජාතික පක්ෂයෙන් උපේක්ෂා ස්වර්ණමාලි පාර්ලිමේන්තුවට වැඩිම මනාපයෙන් තේරී පත් වුයේ ඇයව ගම්පහට ගෙනා කරු ජයසුරිය මහතාවද පරාජය කරමිනි. එසේ පැමිණි ඇය අවසානයේ එක්සත් ජාතික පාක්ෂිකයින් අතරමං කරමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට එක් වීමද මෙම දේශපාලන ඉතිහාසය තුල විශේෂ සිද්ධියක් විය.

එදා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බැසිල් රාජපක්ෂව ගම්පහට ගෙන ආයේ එවකට ජනාධිපති වු ඔහුගේ සොහොයුරු මහින්ද රාජපක්ෂ විසිනි. බැසිල් රාජපක්ෂ ගම්පහ ජනතාවගේ වැඩිම මනාප ලබා ගත්තේ කිසිවෙකුත් නොසිතු ආකාරයටය.

ඉදිරියේදි මෙවර පැවැත්වීමට නියමිත මැතිවරණය වෙනුවෙන්ද මේ වන විට ගම්පහ පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් කිහිප දෙනෙකු ඉදිරිපත්ව සිටිති. ඒ අතර ආචාර්ය නාලක ගොඩහේවා හා පිවිතුරු හෙළ උරුමයේ මධුමාධව අරවින්ද ඇත.

පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් පසු හලාවත, මිනුවන්ගොඩ, කුරුණෑගල ආදි ප්‍රදේශ වල ඇති වු සිංහල - මුස්ලිම් ගැටුම් රැසක් ඇති වු බව අපට අමතක නැත. මෙහිදි වැඩිම මුස්ලිම් ජනතාවකට හානි වුයේ මිනුවන්ගොඩ නගරයේ සිංහල යැයි කියා ගත් පිරිසක් විසින් සිදු කළ ගිනි තැබීම් නිසාය.

මේ මිනුවන්ගොඩ කළහාකාරි සිදුවීම සම්බන්ධයෙන් එවකට මධුමාධව අරවින්දගේ නමද සම්බන්ධ විය. ඒ ඔහු එම අවස්ථාවේ මිනුවන්ගොඩ නගරයේ සිට පයින් ගමන් කරන අයුරු පටිගත වී තිබිම නිසාය. මිනුවන්ගොඩ සිදුවීම පිටතින් ගිය පිරිසක් විසින් කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව හෙළි වු අතර මධුමාධව අරවින්ද සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරිමට මිනුවන්ගොඩ පොලිසිය ඉදිරිපත් කළ කරුණු ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඔහු ඉන් නිදහස් කෙරුණි.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මධුමාධව උගුරේ ලේ රහ එනතුරු කෑ ගසමින් ජනහමු වලට ගිය අවස්ථාවක ඔහු මුස්ලිම්වරුන්ට එරෙහිව කළ ප්‍රකාශයක් නිසා දැඩි සමාජ ආන්දෝලනයක් ඇති වුහ. මෙහිදි මුස්ලිම්වරුන්ගේ ඡන්ද නැති කර ගැනීමට අකමැති වු ගෝඨාභය රාජපක්ෂ වහාම සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු වලින් මධුමාධව ඉවත් කිරිමට පියවර ගෙන තිබුණි.

එම ඉවත් කිරිමෙන් පසු මාස ගණනාවක් නිහඬව සිට යළි ඔහු කරළියට පැමිණ ඇත. ඒ ගම්පහ,කොළඹ පාරේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයක් විවෘත කරමිනි. ඉන් නොනවැතුණු ඔහු කඩවත උත්සව ශාලාවකදී මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කර සිටින්නේ තමන් මෙවර මැතිවරණයට පොදුජන සන්ධානය සමඟින් ගම්පහින් ඉදිරිපත් වන බවය.

ඔහු මෙලෙස අපෙක්ෂකත්වය ලබා ගැනීම වෙනුවෙන් සටන් කරද්දී වියත් මඟේ සාමාජිකයින් ආචාර්ය නාලක ගොඩහේවාගේ ජයග්‍රහණය වෙනුවෙන් දුම්රිය ස්ථාන, බස් නැවතුම්පලවල් අවට හා ඡන්ද දායකයින්ගේ නිවාස වෙත ගමන් කරමින් නාලක ගොඩහේවා ජයග්‍රහණය කළ යුත්තේ මන්ද? යන්න අත්පත්‍රිකා බෙදමින් දැනුවත් කරමින් සිටියි.

තව තව පුද්ගලයින් ඉදිරියේදී ගම්පහ ජනතාවගේ මනාපය කොල්ලකෑමට ගම්පහට පැමිණෙනු ඇත. රූපයට, කථාවට, නොමිලේ දෙන දෙයට වඩා මෙවර මැතිවරණයේදීවත්  සිය මනාපය කුණු කොල්ලයට යා නොදී ඊට වටිනාකමක් දීමට ගම්පහ  ජනතාව බුද්ධිමත් තීරණයක් ගත යුතුව ඇත.

-ශානිකා මාධවී-







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.