English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
බොරු සදාචාරයෙන් වැසී යන ලිංගිකත්වයේ යතාර්ථය!
(2020-02-11)

<< Go Back
Share |   


බෞද්ධ රටක් ලෙස සලකන ශ්‍රි ලංකාව වර්තමානය වන විට පත්ව ඇති ඛේදනීය තත්ත්වයක් ගැන ඉකුත් 07 දා ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. ඒ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කල ප්‍රශ්නයකට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලබා දුන් පිළිතුරක් නිසාය.

2020 ජනවාරි 01 දා සිට ජනවාරි 15 දා වන සති දෙකක කාලය තුල මෙරට ස්ත්‍රී දුෂණ 142 ක්, බරපතල ලිංගික අපයෝජන 42 ක්, ළමා අපයෝජන  54 ක් වාර්තා වී ඇති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා පවසා තිබුණි.

සැබවින්ම මේ ගැන ශ්‍රි ලාංකිකයින් වශයෙන් අප සියලු දෙනාම කණගාටු විය යුතුය. මේ පිරිහෙමින් පවතින්නේ රටේ හැදියාවය. ස්ත්‍රී දුෂණ, ළමා අපයෝජන වලට මුලික හේතු වී ඇත්තේ මත්ද්‍රව්‍ය හා අන්තර්ජාලය වේ. ස්ත්‍රි දුෂණයක් හෝ ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා බොහෝ සැකකරුවන් මේ කරුණු දෙකෙන් එකකට අනිවාර්යෙන්ම ඇබ්බැහි වී සිටින බව පොලිසිය පවසයි.

ස්ත්‍රී දුෂණ ගැන කථා කිරිමේදි අපට 2006 නොවැම්බර් 03 වෙනි දින මීරිගම, විල්වත්ත ප්‍රදේශයේදි දුෂණය කොට අමානුෂික ලෙස ඝාතනය කර තිබු නිශානි බුද්ධිකා (26) අමතක කළ නොහැක. එකල එම සිද්ධිය මුලු රටම කම්පා කරවීමට සමත් වී තිබුණි. මෙම නඩුවේ චුදිත වු සමන් තිලකසිරි නොහොත් වඩේ සුදාට 2012 මැයි මාසයේදී ගම්පහ මහධිකරණය විසින් මරණ දඬුවම ලබා දුන් අවස්ථාවේ මිය ගිය නිශානි බුද්ධිකාගේ පියා අලුගෝසු තනතුර  ඉල්ලමින් කියා සිටියේ සමස්ත රටේ යහපත වෙනුවෙන් මෙවන් අපරාධකරුවන්ට දඬුවම් ලබා දීමට තමන් කැමැත්තෙන්ම ඉදිරිපත් වන බවය.

යාපනය, පුන්කුඩුතිව්හි ශිවලෝගනාදන් විද්‍යා පාසල් දැරිය පාසල් යන විට පැහැරගෙන ගොස් සමුහ දුෂණයට ලක් කොට ඝාතනය කර තිබුණේ 2015 මැයි 13 දාය. එම සිද්ධිය මුලු උතුරු පළාතේම කටයුතු කණපිට හරවන්නට සමත් වී තිබුණි. ඒ මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාරගේ නම සමඟ එවකට උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති ලලිත් ජයසිංහ, කොළඹ නීති පිඨයේ හිටපු පිඨාධිපති  මහාචාර්ය වී.ටී.තමිල්මාරන් හා හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ගේ නම් ඇඳුනු බැවිනි. කෙසේ නමුදු විද්‍යාගේ ඝාතනය එවකට උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති ලලිත් ජයසිංහව නම් මහ උලු ගෙදර යවන්නට තරම් කරුණු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කර ගෙන තිබුණි. මෙම සිද්ධියට අදාලව සැකකරුවන් නව දෙනෙකුගෙන් හත් දෙනෙකුට 2017 වසරේදී මරණ දඬුවම් හිමි වුයේ මෙවන් සිදුවීමක් යළි ඇති නොවිය යුතු බවට සමාජ කථිකාවතක්ද නිර්මාණය වෙමිනි.

නමුත් මෙම සිද්ධියෙන් මාස කිහිපයක් ගෙවුණු තැන 2015 සැප්තැම්බර් 12 වෙනි දින කොටදෙනියාව, අකරන්ගහ පදිංචිව සිටි සේයා සදෙව්මි නම් පස් හැවිරිදි දැරිය නිවසින් අතුරුදහන් විය. දින කිහිපයකට පසු ඇගේ නිරුවත් මළ සිරුර හමු වුයේ නිවසට මඳක් දුරින් පිහිටි කැළයක දමා තිබියදීය. එම සිදුවීමෙන්ද පසු මෙරට ජනතාව ළමා අපයෝජකයින් ගැන වැඩි වශයෙන් කථා කරන්නට විය. ලංකාවට මරණ දඬුවම ඇවැසි බව පැවසුහ. පොලිසියද ඉක්මන් වී සැකකරුවන් යැයි කියා විවිධ පුද්ගලයින් අත්අඩංගුවට ගත්තේ මේ විමර්ශන කඩිනමින් අවසන් කිරිමේ ලකුණු දමා ගැනීමටය. නමුත් අවසානයේ අනාවරණය කෙරුනේ සැබෑ සැකකරු වු කොණ්ඩයා නැමැත්තා වෙනුවට නිවැරදි තරුණයෙකු නිකරුණේ අත්අඩංගුවට ගෙන ඇති බවය. පොලිසියට වු ඒ වැරදීම සකසා ගැනීමට යළි කොණ්ඩයා නැමැත්තා අත්අඩංගුවට ගන්නා විට නිකරුණේ පාසල් සිසුවෙකු සේයාගේ ඝාතනය වෙනුවෙන් අනේක වධ හිංසා වලට ලක්ව තිබුණි.

මේ සෑම ස්ත්‍රී දුෂණයක්ම, ළමා අපයෝජනක්ම වන විට විවිධ සංවිධාන, පුද්ගලයින් පුවරු උස්සාගෙන මේ චුදිතයින්ට දඬුවම් ඉල්ලා උද්ඝෝෂණ, පෙළපාලි ගියද කිසිවෙකුත් මේවා නැවැත්වීමට ගත යුතු ක්‍රියා මාර්ග ඉදිරිපත් කළ බවක් නම් දක්නට නොලැබුණි.

පහුගිය දිනවල රටේ ආන්දෝලනයක් ඇති වුයේ හතේ පොතට ලිංගිකත්වය ගැන කරුණු එක් කිරිම ගැනය. මේ රටේ පවතින තත්ත්වය මත සැබවින්ම පාසල් යන දරුවා පමණක් නොව පෙර පාසල් යන දරුවා පවා තමන්ගේ ලිංගිකත්වය පිලිබඳ දැන සිටිය යුතු කාලයක් බව සති දෙකක් තුල වාර්තා වු ළමා අපයෝජන දෙස බැලීමේදි නිරික්ෂණය වේ.

දෙමාපියන් වඩා කාර්යබහුල වීම මත දරුවන් ගැන සොයා බැලීමට ඇති ඉඩකඩ අවම විය හැකිය. නමුත් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, තමන්ගේ මව, සහෝදරිය,බිරිඳගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ව කාමාතුරයින්ගෙන් ආරක්ෂා කර ගැනීමට පෙරට පැමිණිය යුතු කාලය එළැඹ ඇත.

බොරුකාර සදාචාර බැම්මෙන් මිදී ජාතියේ දූ දරුවන් ආරක්ෂා කිරීම සදහා ඔවුන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම ඇතුළු අවශ්‍ය ප්‍රතිසංස්කරණ කිරීමට සියලු දෙනා පෙරමුණ ගත යුතුය.

-ශානිකා-






Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.