English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
“වියත් රජයේ අද්විතීය මහජන නියෝජිත ගරු ප්‍රසන්න රණවීර” - නීතිඥ දුලාන් දසනායක
(2020-02-10)

<< Go Back
Share |   


මේ දිනවල සමාජ මාධ්‍ය තුළ හා වෙනත් මාධ්‍ය තුළත් පොදු මහජනයා තුළත් බොහෝ සෙයින් සාකච්ඡාවට ලක් වන කරුණක් වන්නේ ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාගේ ශ්‍රී ලංකා රාජ්‍යයේ නියෝජිතයකු ලෙස අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දියානු සංචාරයට එක් වීමයි.

ප්‍රසන්න රණවීර ශ්‍රී ලංකාව පුරාම ප්‍රසිද්ධියට පත් වුනේ දින 52 කුමන්ත්‍රණ ආණ්ඩු සමයේ කතානායකවරයා වටකර ගෙනසිටි පොලිස් නිලධාරීන්ට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙනි. ඔහුගේ පැටිකිරිය දිගහැරුණේ ඉන් පසුවය.

ප්‍රසන්න රණවීරගේ අධ්‍යාපන මට්ටම, සමාජ පසුබිම ලංකාවේ සම්මතය අනුව ඉතාමත් පහළ මට්ටමේ වුවත් ඔහු ලංකාවේ උගත් බුද්ධිමතුන් සිටිනවා යැයි කියන ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලක්ෂ දෙකකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන එහි මනාප ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත් වූ මන්ත්‍රීවරයෙකි. එසේ නම් ඔහු නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාවේ බුද්ධිමත් ජනතාවයි.

ප්‍රසන්න රණවීර ගම්පහ දිස්ත්‍රික්කයෙන් දෙවන ස්ථානයට පත්වන්නට හේතුවන පරිදි අති විශාල මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබා දෙන්නේ ප්‍රසන්න රණවීරගේ පැටිකිරිය ජනතාව නොදන්නවා නිසා නොවේ. ඒ ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයන් හැසිරෙන ආකාරයයි. ශ්‍රී ලංකාවේ මනාප ඡන්ද වැඩි වැඩියෙන් ලබා ගැනීමට යම් ආකාරයක චණ්ඩි පාට් එකකුත් අවශ්‍යය. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය තුළිනුත් ප්‍රසන්න රණවීර වැනි පුද්ගලයන් මන්ත්‍රීවරයන් ලෙස පත් වන්නේ නම් අනෙක් දුර බැහැර දිස්ත්‍රික්ක ගැන කවර කතාද? ශ්‍රී ලංකාවේ පසුගිය මහා මැතිවරණයේ මනාප ලැයිස්තුව පරීක්ෂා කර බැලුවහොත් ඕනෑ තරම් චෝදනාවන්ට ලක් වූ අධිකරණයන්හි නඩු කටයුතු තිබෙන ඇතැම් විට මහාධිකරණයන්හි අධිචෝදනාද ගොනු වී තිබෙන පුද්ගලයන් ඕනෑතරම්  ඉතා ඉහළ මනාප සංඛ්‍යාවක් ලබා ගෙන පාර්ලිමේන්තුවට පත් වී ඇත.

පළාත් සභාවේ හා පළාත් පාලන ආයතනයන්හි ආධිපත්‍යය උසුලන්නේ බොහෝ විට ප්‍රසන්න රණවීර පන්නයේ මන්ත්‍රීවරුන්ය. ඉතා ඉහළ මනාප සංඛ්‍යාවකින් ඔවුන්ද පත් වී ඇත. මේ වෙන කිසිවක් නොව ශ්‍රී ලංකාවේ බුද්ධිමත් ඡන්ද දායකයන්ගේ තරමයි.

එම නිසා ප්‍රසන්න රණවීර ඉන්දියානු අගමැති හමු වීමෙන් හෝ රාහුල් ගාන්ධි හමුවීමෙන් හෝ ඔහු ඉතිහාසය නොදැන කරන ප්‍රකාශ වලින් ශ්‍රී ලංකාවාසී ජනයා කණගාටුවට පත් විය යුතු නැත. මේ ලැබෙන්නේ ඔවුන් පැළ කරන ලද බීජ වල අස්වැන්නයි.

විශේෂයෙන් පසුගිය නොවැම්බර් 16 වන දින ශ්‍රී ලංකාවාසී ජනයා පත් කලේ විනය සුරකින වියත් ජනාධිපතිවරයෙක් වන අතර, ඒ මගින් බලය ලැබුණේ ප්‍රසන්න රණවීර වැනි මහජන නියෝජිතයන්ටය. මෙහිදී හැම විටම ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා හෑල්ලුවට ලක් වුවද එවන් මහජන නියෝජිතයන් ගණනාවක් වියත් රජය තුළ මේ වන විට බලය අභ්‍යාස කරයි. පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ප්‍රහාරයෙන් පසු පාර්ලිමේන්තුවේ පැවති පරීක්ෂණයට පැමිණි ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කලේ "ඔක්කොම කුණු මගේ පිටින් යවන්න හදන බවයි. "

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාද පාර්ලිමේන්තුවේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් ඇසුවේ මට චරිත සහතික දෙන්න පුලුවන් අයෙක් මෙම සභාවේ සිටීද යන්නයි.

ශ්‍රී ලංකා ජනයාට මේ දකින්නට ලැබෙන්නේ ඔවුන් අති විශාල වැඩි ඡන්දයකින් පත් කල වියත් රජයේ තරමයි. මේ ගැන අප පුදුම නොවිය යුත්තේ ශ්‍රී ලංකා ජනතාව අති විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් පත් කල එකී වියත් රජයේ ඉහළතම නායකයන්ද සුදෝ සුදු වතින් සැරසුණද ඔවුන්ගේ ඇතුළාන්තය එතරම්ම සුදු නොවන නිසාය. ප්‍රසන්න රණවීරගේ වෙනස ඔහුව හැම විටම නිරාවරණය වීම පමණකි.

-නීතිඥ දුලාන් දසනායක-







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.