English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
පොලිස් පහරකෑමට ලක් වු නිමල් ගැන මානව හිමිකම් කොමිසම නිහඬ වෙලා!
(2020-02-07)

<< Go Back
Share |   


ඇහැළියගොඩ පොලිසියේ වධහිංසාවට ලක් වු පුස්සැල්ලා වැවිලි සමාගමේ මුරකරුවෙකුගේ පැමිණිල්ලක් ගැන වසර දෙකක් පුරා මානව හිමිකම් කොමිසම නිහඬව සිටිමේ පුවතක් අයිතිය වෙත වාර්තා විය.

ගොඩගම්පල, අම්බලම්පිටිය පදිංචිව සිටින කොස්පලගේ නිමල් විජේසුරිය නොහොත් සුදා (50) පුස්සැල්ලා වැවිලි සමාගමේ, ඇහැලියගොඩ, කොට්ටුන්න වත්ත මුරකරුවෙකු ලෙස වසර විසි තුනකට අධික කාලයක් සේවය කරන්නෙකි. මොහු 2017- 07- 24 වෙනි දින දිවා ආහාරය සඳහා නිවසට යමින් සිටියදි ඇහැළියගොඩ පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයෙකු හා තවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු පැමිණ නිමල්ව අල්ලාගෙන උඹ කසිප්පු පෙරනවා නේද? යැයි අසා පහර දෙමින් පොලිස් ජිප් රථයට නංවාගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇත.

එහිදීද එම පොලිස් නිලධාරින් විසින් නිමල්ට දැඩි ලෙස පහර දුන් බව ඔහු පවසයි. 2017-07-25 වෙනි දින පොලිස් ඇප මත නිමල්ව මුදා හැරීමෙන් පසු නිමල් ඇහැළියගොඩ රෝහල වෙත ගොස් නැවතී ඇත. ඒ පොලිසියෙන් කළ පහර දීම් නිසා කොන්ද ප්‍රදේශයේ හටගෙන තිබු වේදනාවක් නිසාය. 2017-07-29 දින තෙක් රෝහලේ නේවාසිකව සිටිමට නිමල්ට සිදුව ඇත. මේ අතර ඇහැළියගොඩ පොලිසිය විසින් 2017-07-26 වෙනි දින බී වාර්තාවක් මඟින් අවිස්සාවේල්ල අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් සඳහන් කර ඇත්තේ නිමල් සන්තකයේ නීති විරෝධි මත්පැන් පෙරීමට උපයෝගී කර ගන්නා ගෝඩා ලීටර් 310 ක්, යකඩ බැරල් 02 ක් හා ලී පොල්ලක් තිබු බවය. මීට අදාලව  2017-07-28 වෙනි දින ඔහුව අධිකරණයේ පෙනී සිටින ලෙස අධිකරණයෙන් නියෝග කර සිටියද නිමල් ඒ වන විටත් රෝහල් ගතව සිටි බැවින් ඔහුට අධිකරණයේ පෙනී සිටිමට නොහැකි වු බව ඔහු පවසයි.

රෝහලෙන් ටිකට් කපාගෙන නිවසට පැමිණි පසු 2017-08-02 දින  ඔහු නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයේ පෙනී සිට ඇති අතර එහිදි ඔහු ප්‍රකාශ කර ඇත්තේ අදාල චෝදනාව සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බවය. මේ අතර ඔහු නැවත වරක් 2017-08-05 වෙනි දින රත්නපුර රෝහලේ ප්‍රතිකාර සඳහා නැවතී ඇත්තේ පපුව ප්‍රදේශයේ තිබු ආබාධයක් නිසාය. 2017-08-07 වෙනි දින රෝහලෙන් නිවසට පැමිණි නිමල් තමන්ට සිදු වු අසාධාරණය ගැන දසඅතේ කල්පනා කළේය. තමන්ට පහර දුන් පොලිස් නිලධාරින් තිදෙනොගෙන් දෙදෙනෙකු පිලිබඳ ඔහු තොරතුරු සොයා ගත්තේ ඒ අනුවය. 2017-08-09 වෙනි දින නිමල් තමන්ට සිදු වු අසාධාරණය පිලිබඳ ඇහැළියගොඩ පොලිසියේ උප පොලිස් පරික්ෂක කේ.එස්.ජී.අතපත්තු හා පොලිස් කොස්තාපල් 79813 සුමුදු යන නිලධාරින්ට එරෙහිව මානව හිමිකම් කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඔහු අසා තිබුණේ මානව හිමිකම් කොමිසම් සභාවෙන් වින්දිතයින්ට සාධාරණයක් ඉටු වෙන බවය. ඒ නිසා ඔහු දැඩි විශ්වාසයකින් යුක්තව මේ පැමිණිල්ල ඉදිරිපත් කර සිටියේ තමන්ට සහනයක් බලාපොරොත්තුවෙනි.

මානව හිමිකම් කොමිසම් සභාව  විසින් 2017-10-06 වෙනි දින නිමල්ව කැඳ වුයේ පැමිණිල්ල විභාග කිරිමටය. ඉන් අනතුරුව එකී පොලිස් නිලධාරින් දෙදෙනා සමඟ නැවත වරක් 2018-04-19 වෙනි දින කැඳවා ඇත. එහිදි නිමල්ට දන්වා ඇත්තේ ඊළඟ දිනය දැනුම් දෙන බවය. නමුත් මේ වනතුරුත් ඔහුට යළි මානව හිමිකම් කොමිසන් සභාවෙන් කැඳවීමක් කර නොමැති බව ඔහු පවසයි.

මේ අතර නිමල්ට එරෙහිව අවිස්සාවේල්ල අධිකරණයේ විභාග වු නඩු අංක 16751 දරණ කසිප්පු නඩුව 2019- 08-28 වෙනි දින කැඳවා ඇති අතර එහිදි එහි මහේස්ත්‍රාත්වරිය වු චමරී වීරසුරිය මහත්මිය නියෝග කොට ඇත්තේ සියලු කරුණු සලකා බලා චුදිත නිමල් අදාල චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කිරිමට හැකියාවක් නොමැති බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 186 වගන්තිය ප්‍රකාරව චුදිත චෝදනාවෙන් නිදහස් කිරිමටය.

අධිකරණයෙන් වසර දෙකකට පමණ පසු නිදහස් මිනිසෙකු වු නිමල් එම නඩු තීන්දුවද රැගෙන යළි මානව හිමිකම් කොමිසන් සභාව වෙත ගොස් තමන්ගේ පැමිණිල්ල සම්බන්ධයෙන් විමසා ඇත. නමුත් ඔහුට ලැබී ඇති පිලිතුර වන්නේ පසුව දැනුම් දෙන්නම් යැයි යන්න බව නිමල් අයිතිය වෙත ප්‍රකාශ කර සිටියේය.

නිමල් විසින් චෝදනා නගා ඇති උප පොලිස් පරික්ෂකවරයාට මානව හිමිකම් කොමිසන් සභාවේ තවත් පැමිණිලි ඇති බවද පැවසේ.

ශානිකා මාධවී







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.