English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
දේශප්‍රේමයට මුවාවී ඡන්දය බා ගැනීම - මලික් පියදිගම
(2019-11-05)

<< Go Back
Share |   


කුරණෑගල රෝහලේ වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි සිංහල මව්වරුන් 4000ක් වඳ භාවයට පත් කළ සිදුවීම දේශපාලන වුවමනාව මත ප්‍රබන්ධ කළ එකක් බවට එම දේශපාලන පාර්ශ්ව වෙතින්ම අනාවරණය වෙමින් පවතී. එහෙත් මේ වන විට එයින් සමාජයට කර ඇති හානිය සුළුපටු එකක් නොවේ.

"සිංහල මව්වරුන් වඳභාවයට පකිරීමේ මුස්ලිම්වරුන්ගේ උපක්‍රම" පිළිබඳ ප්‍රවාදය සමාජගත කර ඇති ආකාරය අනුව  "භීතිකා" තත්වයක් නිර්මාණය වී ඇත.එය සමාජ ව්‍යාධියකි. සමාජයෙන් ඉවත් කිරීම පහසු කටයුත්තක්ද නොවේ.මෙය පැහැදිලි වශයෙන්ම තම දේශපාලන අරමුණු ජයග්‍රහනය කරගැනීම සඳහා පාදඩ දේශපාලන බලවේග විසින් දිගු කලක පටන් පවත්වාගෙන යනු ලබන වැඩපිළිවෙලක නවතම මුහුණුවරයි.වෙනසකට ඇත්තේ එකල දෙමළ ජනතාව ඉලක්කකරගත් භීතිකා සමාජගත කිරීම මෙකල මුස්ලිම් සමාජය ඉලක්ක කරගැනීමයි.


වෛද්‍ය සාෆිට එල්ලවූ චෝදනාව සංවේදී විෂයයකට අයත්ය.එනිසා මහජන කැළඹීමක් ඇති වීම ස්වාභාවිකය.භික්ෂු වෙස්ගත් සටකපට නරෝද්නිකවාදියෙක් මෙහි ප්‍රධාන චරිතය රඟපෑවේය.එහි අරමුණ තමන් පිල් මාරුකිරීමට බලාපොරොත්තු වන දේශපාලන කල්ලියට අවශ්‍ය ජාතිවාදී ඡන්ද පොදිය සූදානම් කර තබා ඊට ප්‍රතිඋපකාර ලෙස ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරයක් ලැබ දේශපාලන ප්‍රභූ වරප්‍රසාද භුක්ති විඳීමය.බුදුමඟ යමින් බුද්ධ පුත්‍රයකු වීමට වඩා මෙය අමර සැපකි.මේ අනුව මෙය අසූචි තැවරුණු ගනුදෙනුවකි.ඒ ගනුදෙනුව සඳහා අවිචාරවත් ජනයා උසිගැන්වීම පාහර වැඩකි.

මෙය එක් අතකින් ලංකාවේ දේශපාලන සංකෘතියෙහි විකෘතිය පිළිබිඹු කිරීමකි.එය ජාතික ව්‍යාපාරයේ පටන් පැවත එන්නකි.එහි පසුබිම වෙළෙඳකුල ප්‍රශ්නයකි.

 19 වැනි සියවසේ අග සහ විසිවැනි සියවසේ මුල මෙරට ප්‍රාග්ධන සමුච්චකරණය සිදුවූයේ ජාතීන් අනුව බෙදී ගිය රටාවකටය.ඉංග්‍රීසි අධිරාජ්‍යය කොළඹ කේන්ද්‍රිය ව්‍යාපාර පන්තියක් වර්ධනය වීමේදී වාර්ගික භේද ඇති වන පරිදි සිංහල ව්‍යාපාරිකයන්ට අනුග්‍රහය නොදී සෙසු ජනවර්ගවලට පහසුකම් දුන්නේය.විදේශිකයන්ට අයත් බැංකුවලින් සිංහල ව්‍යාපාරිකයන්ට ණයක්වත් ගත නොහැකි විය.මේ නිසා ඔවුන් ව්‍යාපාර කළේ ගිනි පොළියට හෙට්ටින්ගෙන් ණයට ගැනීමෙනි.මෙරට ජාතික ව්‍යාපාරය සියලු ජාතීන්  නියෝජනය කරමින් අධිරාජ්‍ය විරෝධී එකක් වීම වලක්වා එය ජනවර්ග විරෝධී එකක් බවට පත් කිරීම අධිරාජ්‍යයේ උපක්‍රමයකි.එනිසා සාමූහික අරගලයකින් තොරව ලැබූ නිදහසින් පසුව අද දක්වාම ආර්ථික බලය අහිමි මහජාතිය ආර්ථික බලය හිමි සුළු ජාතීන් දෙස බැලුවේ ජානගත වෛරයකිනි.ඒ වෛරය වරින් වර පුපුරා යයි.දේශපාලන අවස්ථාවාදීහූ ඒ වෛරය අවුළුවා බලය කොල්ල කති.

යුද්ධයෙන් පසුව සිංහල බෞද්ධ රාජ්‍යය ගොඩ නැගීමේ එක් පියවරක් ලෙස ආගමික මධ්‍ය‍ස්ථාන ගණනාවක් ප්‍රහාරයට ලක් කරන ලද්දේ මෙකී වෛරයෙන්,හීනමානයෙන් සහ අශිෂ්ටකමින් අගතැන්පත් පාලකයන් හා උන්ගේ කුලී හේවායන් විසිනි.සිංහල ජාතීන් වඳ කරන ඇඳුම් විකිණීමේ චෝදනාව නඟමින් මුස්ලිම් ජාතිකයන්ගේ නවීන සාප්පු ගිනිතබන ලදි.ඒවායෙහි සේවක කළ අයගෙන් බහුතරය සිංහලයෝය.1983 කළු ජූලියේදී ගිනිතැබූ දෙමළ ජාතිකයන්ගේ ව්‍යාපාර හා කර්මාන්ත නිසා විශාල පිරිසකට රැකියා අහිමිවූයේද මෙපරිද්දෙනි.

අලුත්ගම හා දිගන කේන්ද්‍ර කරගනිමින් ජීවිත හා දේපල හානි සිදුකරමින් එල්ල කළ ප්‍රහාරය සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද්දේ ජාතිවාදය,මිථ්‍යාව සහ කෲරත්වය තම පිළිවෙත බවට පත් කරගත් බල හවුලක් විසිනි.මේ සඳහා ආරක්ෂක අංශවල සාමාජිකයන්ද යොදාගෙන තිබිණ.සිංහල ජාතිකයන්ට අහිමි ආර්ථික බලය මිලිටරි බලය හා සමාජ වෛරය අවුළුවා ලබාදිය හැකි සිතීම නාසි චින්තනයේ දේශීය මුහුණුවරකි. සිංහල හිට්ලර් ආගමනයකි.

වඳ කොත්තු,වඳ බ්‍රෙසියර් භීතියෙන් පසුව වඳ සැත්කම් ප්‍රවාදය ගෙන ආහ.මේ සියලු උපක්‍රම මෙවර ජනාධිපතිවරණයේදී සිංහල ජාතිය වඳකරන මුස්ලිම් ජාතියෙන් රට බේරාගැනීම සඳහා වීරපුතෙකුට ඡන්දය දීම පිණිස යොදනු පෙනේ.

සහරාන් කල්ලිය,බොදුබල සේනා යනාදී අන්තවාදීන් හදාවඩා පෝෂණය කළේ මේ කියන දේශප්‍රේමී මාරයන් බව අවබෝධ කරගත යුතුය.


-මලික් පියදිගම-



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.