English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
රැඳවියන් ඝාතනය කළේ ගෝඨාගේ ලැයිස්තුවට අනුව- පොලිස් අධිකාරී පී.ඩබ්ලිව්.කුඩා බණ්ඩාර
(2019-10-19)

<< Go Back
Share |   


රැඳවියන් ඝාතනය කළේ ගෝඨාගේ ලැයිස්තුවට අනුව- පොලිස් අධිකාරී පී.ඩබ්ලිව්.කුඩා බණ්ඩාර  

ආයුධ සන්නද්ධව අවසරයකින් තොරව බන්ධනාගාරයට 2012 නොවැම්බර් 9 වෙනි දින දහවල් පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළුවීම හා සිදුවූ සියල්ල තමන් සියැසින් දුටු බව  සාක්ෂි ඉදිරිපත් කළ, එවකට වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් ධූරය දැරූ පොලිස් අධිකාරී පී.ඩබ්ලිව්.කුඩා බණ්ඩාර  පළමු වෙනි සාක්ෂිකරු වශයෙන් පසුගිය ඔක්තෝම්බර් 14 වෙනි දින සාක්ෂි දීම අරඹමින් පැවසුවේය.

හිටපු ප්‍රධාන ජේලර් ප්‍රධාන ජේලර් පොලිස් අධිකාරී පී.ඩබ්ලිව්.කුඩා බණ්ඩාර සාක්ෂිදීමට ප්‍රථම  නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් අධිනිතිඥ ඩිලාන් රත්නායක දීර්ඝ ප්‍රකාශයක් සිදු කරමින් වැලිකඩ බන්ධනාගාර ලැයිස්තු ගත ඝාතනය අදෘශ්‍යමාන පුද්ගලයෙකු ගේ අණ දීමක් මත සිදු කරන ලද්දක් බවත්, එම ඝාතනය ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුව ඇති කෲරතම ඝාතනයක් බවත් ඔහු ප්‍රකාශයේ දී පැවසුවේය.

2012 නොවැම්බර් මස 09 වෙනි දින වැලිකඩ බන්ධනාගාරයේ දී සිදුවූ සැලසුම් සහගත, ලැයිස්තු ගත ඝාතනය සම්බන්ධයෙන් වූ නඩු විභාගය පසුගිය ඔක්තෝම්බර් මස 14,17 වෙනි දින පැවැත්විනි. මෙම නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුළතුංග(සභාපති) ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන විනිසුරුවන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග වේ. නිතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් සිදුකරන ලද ඉල්ලීමක් අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් පිහිටුවන ලදි. 

පැමිණිල්ල වෙනුවෙන් ජේ්‍යෂ්ඨ රජයේ නීතිඥ මාධව තෙන්නකෝන්, රජයේ නීතිඥ කසුන් සරත්චන්ද්‍ර, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක යන අය පෙනී සිටියෝය. අගතියට පත් පාර්ශ්වයන් වෙනුවෙන් නීතිඥ රෙක්සි පියදාස සමග නීතිඥ සේනක පෙරේරා පෙනි සිටියි.

මෙම වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 27 දෙනෙකු සමූහ ඝාතනය කිරීමේ චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරී එමිල් රන්ජන් යන අය විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ 14 වෙනි දින නඩුව ආරම්භයේ දීම කියා සිටියේය. 2012 නොවැම්බර් 09 වෙනි දින හා ඊට ආසන්න දිනයක දී බන්ධනාගරයේ රඳවා සිටි රැඳවියන් සමූහ ඝාතනය කිරීම ඇතුළු අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ අධිචෝදනා 33 ක් යටතේ නිතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.

ඔක්තෝම්බර් 14 වෙනි දින හිටපු ප්‍රධාන ජේලර් පොලිස් අධිකාරී පී.ඩබ්ලිව් කුඩා බන්ඩාර විසින් පැය 03 ක පමණ කාලයක් සාක්ෂි ලබා දුන්නේය. 16 වෙනි දිනයේ නැවතත් සාක්ෂි ලබා දෙමින් කුඩා බණ්ඩාර පැවසුවේ බන්ධනාගාරයට ඇතුළු වූ යුද හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු අත තිබු නම් ලැයිස්තු පෙන්වා තමන්ගෙන් ඒ නම් සඳහන් පුද්ගලයන් පිළිබඳව විමසා සිටි බවයි. අදාල නම් ලැයිස්තුව රැගෙන ආ හමුදා නිලධාරීන්, එම ලැයිස්තුව ඉදිරිපත් කළේ ගෝඨාගේ ලැයිස්තුව ලෙස බව එහිදී පැවසීය. එහිදී ගෝඨා ලෙස හමුදා පවසන ලද්දේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව ඔවුන්ගෙන් දැනගත් බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. ඒ මොහොතේ වැලිකඩ නොසිටි සිරකරුවන් දෙදෙනෙකු පිළිබඳවද එම හමුදා නිළධාරීන් තමාගෙන් විමසා සිටි බවද ඔහු පැවසුවේය.

හමුදා නිලධාරින් බන්ධනාගාරය තුළ සිදු කළ මෙහෙයුම අතර තුරදී, සිරකරුවන් ගේ විලාපය තමන්ට ඇසුණු බවත්, අපිව මරාදමන්න එපා යැයි කියමින් ඔවුන් විලාප දුන් බවත්, තමන්ගේ නම් කියමින් ඔවුන්ව බේරාගන්නා ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බවත් පොලිස් අධිකාරී කුඩා බණ්ඩාර විසින් අධිකරණයේදී පැවසුවේය. නමුත් තමන්ට කළ හැකි කිසිවක් එහි නොතිබුණු බව ඔහු පැවසුවේය.

නඩුව ලබන සතියේත් නැවත පැවැත්වේ.

මෙම නඩුවට ආරම්භ වීමට ප්‍රථම විත්තිකරුවන් ලෙස නම් කරන ලද ඉන්දික සම්පත් නැමති බන්ධනාගාර නිලධාරියා මෙරටින් පලාගොස් ඇති බවට වාර්තා වේ. විත්තිකරුවන්ට මාධ්‍යවේදීන්ට හා නීතිඥයන්ට මරණීය තර්ජන කිරීම, පහරදීම වැනි චෝදනාවන් ද එල්ල වී තිබේ.

-අධිකරණ වාර්තා ඇසුරිනි



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.