English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
මොකක්ද මේ මැතිවරණය ? - බැසිල් ප‍්‍රනාන්දු
(2019-10-09)

<< Go Back
Share |   


ජනාධිපති මැතිවරණයක් ළඟදී පැවැත්වීමට යන බව රටේ දැනට පවතින පළල්ම සාකච්ඡා විෂයය වේ. එහෙත් එය ඉමහත් උනන්දුවකින් කෙරෙන සාකච්ඡාවකැයි පෙනෙන්නට නැත. උනන්දුවක් ඇත්නම් එය තරඟකරුවන්ගේ උනන්දුවක් මිස සාමාන්‍ය ජනතාව අතර ඇති උනන්දුවක් නොවේ. එහෙත් එය සිදුවීමට යන දෙයක් හෙයින් කවුරුත් ඒ ගැන යම් සාකච්ඡාවක් කිරීම පුදුමයක්ද නොවේ.

මෙහිදී ජනාධිපතිවරයෙක් ඡන්දයෙන් පත් කර ගැනීම යන්නෙන් කුමන අර්ථගතවීමක් සිදුවේද යන්න සාකච්ඡා කිරීම වටී. ජනාධිපතිවරයෙකු හෝ මන්ත‍්‍රීවරයෙකු ඡන්දයෙන් පත් කර ගැනීම යනු මහජන නියෝජිතයෙකු පත් කර ගැනීමකි. ඡන්දය යන්නෙහි අර්ථය වන්නේ මහජනයා තමන් විසින්ම තමන් නියෝජනය කිරීම සඳහා යමෙකු පත් කර ගැනීමය. එම නිසා ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම ජනතා නියෝජිතයෙකු පත්කර ගැනීමට වැඩි දෙයක් යැයි සැලකීම කිසිම පදනමක් නැත. 1978 ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයෙකු පත් කිරීම රජ කෙනෙකු පත් කර ගැනීම වැනි තත්ත්වයකට ඉහළට තබා ඇත. මුලින්ම රජවරු ජනතා ඡාන්දයෙන් පත් වන්නෝ නොවෙති. රජවරු ජනතාවට ඉහළින් සිට ජනතාවට නියෝග පනවන්නෝ වෙති. ජනතා නියෝජනය හා රජකම යනු එකිනෙකට මුළුමනින්ම පටහැනි වූ අදහසකි. ඇත්තෙන්ම පාර්ලිමේන්තුව මගින් මහජන නියෝජිතයන් පත්කොට මහජන නියෝජිතයන් මගින් රට පාලනය කිරීම පිළිබඳව සංකල්පය ඇති වූයේ රජවරුන් මගින් පාලනය වීමෙන් අත්මිදීම සඳහාය. එංගලන්තයේ චාල්ස් රජතුමා නඩු ඇසීමකින් පසු මරණයට පත් කිරීම සිදුවූයේ ඔහු මහජන නියෝජිතයන්ට එනම් පාර්ලිමේන්තුවට යටත් වීමට අකමැති වීම නිසාය. රටේ ඉහළම තනතුර පවා මහජන නියෝජිතයෙකු විසින් කළ යුතුය යන අදහසින් කියැවුනේ එම නිලය මහජනතාවට යටත්ව සිදු කළ යුතු එකක් බවය.

1978 න් ඇති කළ ව්‍යවස්ථාවෙන් රජෙකුට සමාන බලතල අත්පත් කර ගැනීමෙහි සැර බාල කිරීම සඳහා 17 වන සංශෝධනය ඉදිරිපත් විය. ඒ මගින් රටේ ප‍්‍රධාන සංස්ථා වල නායකයින් පත් කර ගැනීම සුවිශේෂ ව්‍යවස්ථාදායක සභාවකට පැවරීම මගින් එය ජනාධිපතිගේ බලපෑමට යටත් නොකර සිටීමට හැකිය යන අදහස මත එම සංශෝධනය ගෙන එන ලදි. එහෙත් ජනාධිපති හා කොමිෂන් සභාව අතර ඇති ගැටීම නිසා එම සංශෝධනය 18 වන සංශෝධනය මගින් බොහෝ දුරට බාල කර දමන ලදි. ඉන්පසුව ඇති වූ 19 වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ බලය සීමා කොට බලය පාර්ලිමේන්තුවට පැවරීමක් සිදු විය. එසේ වුවත් 1978 රජකම පිළිබඳ පිළිබඳ සංකල්පය මත පදනම් වූ බලතල රාමුව මුළුමනින් ඉවත් කර දැමීමට මෙම සංශෝධන වලට නුපුළුවන් විය.

ඇමෙරිකාවේ ජනාධිපති හෝ ප‍්‍රංශයේ ජනාධිපති ද පත්වන්නේ ජනතා ඡන්දයෙනි. එහෙත් එසේ පත් කරනු ලබන පාලකයා ජනතා නියෝජිතයෙක් මිස රජෙක් නොවේ. ඔහු යම් විධායක කාර්යයන් කිරීම සඳහා යම් බලතල ඇත්තෙකු වුවත් එම බලතල මුළුමනින්ම රටේ පවතින නීතිය යටතේ කිරීමට බැඳී සිටී. එසේ නොකළහොත් නෛතික වශයෙන් ඔහුට විරුද්ධව නෛතික වශයෙන් කටයුතු කිරීමට හැකිවා පමනක් නොව බලයෙන් පහ කර දමන්නත්, බලය අනිසි ලෙස පාවිච්චි කිරීමේ චෝදනාව මත සිරගත කිරීමටත් පුළුවන.

ජනතාව ජනාධිපති කෙනෙක් ලෙස තෝරා ගන්නේ තමන්ගේ නියෝජිතයෙක් නම් ඔහු හෝ ඇය මගින් නියෝජනය කළ යුත්තේ කුමක්ද යන්න තීරණය කිරීමද ජනතාව සතු අයිතියකි. ඔහුට හෝ ඇයට  ඕනෑ විදිහට පාලනය කිරීමට ඉඩ හැරීම ජනතා නියෝජනය යන සංකල්පයට මුළුමනින්ම පරිබාහිරව පමනක් නොව එරෙහිව පවතින අදහසකි. ජනතා නියෝජනය මගින් ජනතා අයිතිවාසිකම් නැති කිරීමක් කෙරෙනවා නම් එය මහජන නියෝජනයක් ලෙස සැලකිය නොහැකිය. 2015 ඇතිවූ මැතිවරණය තුළ ලැබූ ජයග‍්‍රහණයේද මෙම ප‍්‍රශ්නය පැහැදිළිව නිරානකරණය කර නොතිබුනි. ජනාධිපතිගේ ඒකාධිපති බලතල විධායක අගමැති වෙත පවරා ගැනීමේ සංකල්පයක් පසුව නිර්මාණය විය. අගමැතිවරයා ජනතාව පත් කළ නියෝජිතයන්ගෙන් එක් අයෙකු මිස ඊට වෙනස් තත්ත්වයක් ඇත්තෙකු නොවේ. පාලනය පිළිබඳව හා පරිපාලන කටයුතු සඳහා ඔහුට විශේෂ වගකීම් පැවරී තිබෙන්නට පුළුවනි. එහෙත් එයද කෙරෙන්නේ අංගසම්පූර්ණ නීතියේ රාමුව තුළය. නීතිය අභිබවා යෑමට ඔහුට ඇති හැකියාවක් නැත.

අද ලංකාව මුහුණ දෙන ප‍්‍රධාන ගැටලූව නම් මහජන නියෝජිතයන් සේ පත්වන අය අතරින් අගමැති හෝ ජනාධිපතිවරයා ලෙස පත්වන්නා හිතුවක්කාර ලෙස පාලනය කිරීමට අයිතියක් ඇත්තෙකුය යන්න බොහෝ දුරට තහවුරු කොට තිබීමය. ඔහු හෝ ඇය ඔහුට කැමති ආකාරයකට නීති වෙනස් කිරීමට පමනක් නොව නීතියක් නැතිව කටයුතු කිරීමටද හැකියාව ඇත්තෙකි. මහජන නියෝජනය ප‍්‍රදර්ශනය කරන ප‍්‍රධානම ලක්ෂණයක් නම්  ,ඔබ කුමන බලයක් යටතේ වැඩ කරන්නේද ?, යන්නෙන් ඇසූ විට මම අහවල් නීතියේ අහවල් නීති ප‍්‍රකාරව කටයුතු කරන්නේ යැයි ඔහුට ප‍්‍රකාශ කරන්නට පුළුවන් විය යුතුය. එය සැබෑ නම් ඔහු බලය පාවිච්චි කරන්නේ නීත්‍යානුකූලවය. එහෙත් එසේ නැතිව මට  ඕනෑම දෙයක් කිරීමට බලය තිබෙනවාය යන්නෙන් උත්තරය එව්වොත් එයින් අදහස් කරන්නේ ඔහු මහජන නියෝජිතයෙක් නොවන බවය.

ඇමෙරිකාවේ ව්‍යවස්ථාව ගොඩනැගීමේදී මහජන නියෝජනය යන්න අර්ථකතනය වූයේ නීතිය මගින් කි‍්‍රයාත්මක වීම යන්නය. එක් සුප‍්‍රසිද්ධ ලේඛකයෙකු ප‍්‍රකාශ කළ ආකාරයට, එංගලන්තයේ රජතුමා
නීතියයි. ඇමෙරිකාවේ නීතිය රජතුමාය., ජනාධිපතිවරයා නීතිය තුළ කි‍්‍රයාත්මක කිරීම පමනකින්ම ඔහු මහජන නියෝජිතයෙක් සේ සැලකිය යුතුය. ජනාධිපතිකමට යමෙකු තෝරා ගැනීම රජකමට යමෙකු තෝරා ගැනීමක් නොවේ. මේ නිසා ජනාධිපති තනතුර මෙන්ම විධායක අගමැති තනතුර යන කාර්යයන් පිළිබඳව සුවිශේෂ අධ්‍යනයක් ජනතාව කළ යුතුවා මෙන්ම මෙය නිරන්තරයෙන්ම ජනතා සාකච්ඡාවට භාජනය විය යුතුය. එසේ නොවුවහොත් ලංකාවේ පාලකයන් හිතුවක්කාර ආකාරයකට  ඕනෑම දෙයක් කරන තැනක් බවට පත්වේ. අතීතය දෙස බලන විට එවැනි හිතුවක්කාර කි‍්‍රයා මොනවාද?

1. හිතුවක්කාර ලෙස හා වගකීමෙන් තොරව විදේශ ණය ගැනීම

හිතුවක්කාර ලෙස ණය ගැනීම විනාශයේ මාවත වේ. තව කෙනෙකුගෙන් ණයක් ගන්නා  ඕනෑම කෙනෙක් මුළින්ම කල්පනා කළ යුතු වන්නේ එම ණය හා පොළිය ගෙවා ගැනීමේ හැකියාවක් තමුන්ට පවතීද යන්නය. එසේ නැතිව ණය ගතහොත් එහිදී සිදුවන්නේ තමන් සතු කුමන හෝ දේපලක් වැඩි කල් නොගොස් අන්සතු වීම පමනක් බව ඔහු හෝ ඇය දනී. හිතුවක්කාර ණය ගැනීම වනාහි රටට අයිති දේපලක් කෙටි කාලයක් තුළ අන්සතු කිරීමේ විධික‍්‍රමයක් වේ.

2. රාජ්‍ය දේපල හිතුවක්කාර ලෙස අන්සතු කරදීම

එසේ බෙදා දීම තමන්ට හෝ තමන්ගේ ඥාතීන්ට හෝ හිතමිතුරන්ට විය හැකිය. මෙයද ජනතාව සතු දේපල අන්සතු කිරීමක් වේ. ජනතා නියෝජිතයන් පත් කර ගන්නේ තමන් සතු දේපල අන්සතු කරදීම සඳහා නොවේ. එම දේපල ආරක්ෂා කිරීම තම නියෝජිිතයන්ගෙන් බලාපොරොත්තු වන ප‍්‍රධාන යුතුකමක් වේ.

3. ජනතා ආරක්ෂාව සඳහා පියවර නොගැනීම

ජනතාව තමන්ගේ නියෝජිතයන් පත් කර ගන්නේ තමන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය වන්නා වූ සියලූම පියවර මෙම නියෝජිතයන් විසින් ගෙන ඔවුන්ගේ ජීවිත මෙන්ම ඔවුන්ගේ දේපල ද ආරක්ෂා කර දීමේ වගකීම පවරමිනි. නියෝජිතයා ජනාධිපති වුවත් ඔහුගේ හෝ ඇයගේ යුතුකම වන්නේ ජනතා ආරක්ෂාව සලසා දීමය. ජනතා ආරක්ෂාව හුදු වචන වලින් සිදු නොවේ. ජනතාවගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය මානව හා මූල්‍ය සම්පත් වෙන්කර දීම මගින් පමනක්ම ජනතාවගේ ආරක්ෂාව සැලසිය යුතු රාජ්‍ය තන්ත‍්‍රයක් ගොඩනැගේ. එම රාජ්‍ය තන්ත‍්‍රය ගොඩනැගීම, පවත්වා ගෙන යාම හා වැඩිදියුණු කිරීම ජනාධිපතිවරයාගේ හෝ විධායක අගමැතිවරයාගේ ප‍්‍රධානම යුතුකම සේ පවතී. එසේ කර ගැනීමට බැරි තත්වයක පවතී නම් තමාට ජනතාව නියෝජනය කිරීමට හැකියාවක් නැතැයි කියා අව්‍යාජව පිළීගෙන එසේ කළ හැකි අයෙකු පත් කර ගන්නා ලෙස ජනතාවගේ ඉල්ලා සිටීම එම වගකීමෙහිම තවත් අංගයකි.

4. යුක්තිය පසිදලීමේ කි‍්‍රයාවලිය ශක්තිමත් කිරීම

යුක්තිය පසිඳලීමේ සංස්ථාවන් ක‍්‍රියාශීලීව හා නිසි ශක්තියකින් යුතුව කි‍්‍රයාකර ගන්නා තත්ත්වයක් නිරන්තරයෙන්ම පවත්වා ගැනීමද මහජන නියෝජිතයකු සේ බලයට පත් වූ ජනාධිපතිවරයෙකුගේ හෝ විධායක අගමැතිවරයෙකුගේ ප‍්‍රධානම යුතුකම වේ. යුක්තිය පසිඳලීමේ ආයතන අඩපන කර දැමීම හෝ ඒවා නිසිලෙස පැවැත්වීමට ඉඩ නොදීම මගින් ජනතා නියෝජනය අර්ථ විරහිත සංකල්පයක් බවට පත් කළ හැකිය. තමන් හෝ තමන්ට හිතවත් පුද්ගලයන්ගේ නඩු විභාග නොකළ යුතුය හෝ එය එසේ කිරීමට බාධා වන සේ කි‍්‍රයා කළ යුතුය යන සංකල්පයක් පවතී නම් එය රටේ යුක්තිය පසිඳලීමේ ක‍්‍රමය මුළුමනින්ම අඩාල කිරීමක් වේ. යුක්තිය පසිඳලීමට නම් රටේ පොලිසිය, අවශ්‍ය පුහුණුව, අවශ්‍ය විනය, අවශ්‍ය සම්පත් සහිත ආයතනයක් බවට පත් විය යුතුය. නීතිපති දෙපාර්තමේන්තුව හා අධිකරණයද එසේම ප‍්‍රකාශ කළ හැකිය. මෙම යාන්ත‍්‍රණ කි‍්‍රයාත්මක කරවීම සඳහා නියෝජතයෙකු පත් කර ගන්නවා මිස ඒවා කි‍්‍රයා විරහිත කර ගැනීම සඳහා නියෝජිතයෙකු පත් කර ගන්නවා යැයි කිවහොත් එය බොහෝ දුරට එම නිලයන් විහිළුවට භාජනය කරනු ලැබීමක් වේ.

5. රාජ්‍ය කි‍්‍රයාවලිය කාර්යක්ෂම කිරීම

රටේ ජීවිතය ගෙන යන සියලූම සංස්ථාවන් නීති ප‍්‍රකාරව කටයුතු කරවා ගැනීම සඳහා ඒවා කර ගෙන යාම සඳහා අවශ්‍ය මානව සම්පත් ලබා දීමත්, ඒවා කර ගෙන යාමට අවශ්‍ය වාතාවරණය සැකසීමත් එම රාජකාරී නිසි ලෙස කරන කිසිවෙකුට අතවරයක් වීමට ඉඩ නොදීමත්, එම කාර්යයන් කිරීමේදී දුෂණයට ඇති ඉඩකඩ නැති කර දැමීමත් මහජන නියෝජිතයෙකු සේ පත් වූ රාජ්‍ය පාලකයාගේ යුතුකම බවට පත් වේ.

6. දුෂණයෙන් තොර රාජ්‍යයක්

රජයේ සියලූම සංස්ථා තුළින් දුෂණය බැහැර කිරීම මහජන නියෝජිතයෙකු සේ පත් වූ පාලකයෙකුගෙ තවත් ඉතාම බරපතල වගකීමක් වේ. මහජනතාව දුෂණයේ යෙදීම සඳහා නියෝජිතයෝ පත් කර නොගනිති. ඔවුන් නියෝජිතයන් පත් කර ගන්නේ කාර්යක්ෂමව තමන්ගේ වුවමනාවන් ඉටුකර දීමට හා ඒ පිළිබඳව ඔවුන්ට නීත්‍යානුලව ඇති වේතන ආදිය තුළ යැපෙමින් එසේ කිරීමට කැමති බව නියෝජනය ඉල්ලා සිටින්නා විසින් ප‍්‍රකාශයට පත් කිරීමට ගරු කිරීමක් වශයෙනි.

ඉහත සඳහන් වූයේ මහජන නියෝජිතයෙකු සේ පත්වන පාලකයකු සතු වන යුතුකම්ය. තමන් තමන්ගේ නියෝජනය පවරන්නේ කාටද යන්න ජනතාව විසින් නිගමනය කළ යුත්තේ ඉහත කී කරුණු හා ඊට අදාළ වෙනත් කරුණු නිසි ලෙස ඉටු කිරීමේ හැකියාව යම් පුද්ගලයෙකුට පවතින්නේද යන්න සලකා බැලීම මතය. එසේ නැතිව හිතුවක්කාර ආකාරයකට පාලනය කොට තමන්ගේ වුවමනා එපාකම් පමනක් ඉටු කර ගැනීම සඳහා යමෙකු පත් කර ගැනීමට තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්නේ නම් එයින් කියැවෙන්නේ ජනතාව තමන්ගේ නියෝජිතයන් පත් කර ගැනීම පිළීබදව අදහස තවමත් වටහා ගෙන නැති බවය.



බැසිල් ප‍්‍රනාන්දු



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.