English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
දුම්රිය වර්ජනේ දිනුම කාටද ?
(2019-10-08)

<< Go Back
Share |   


දින දොලහක් පුරා තිබු දුම්රිය වර්ජනය අවසන් වුයේ ඊයේ (07) දිනය. බොහෝ පිරිසකට සැනසුම් සුසුම් හෙලූනේ ඊයේය. මන්ද දිනපතාම දුම්රියේ රැකියාවට ගිය මගීන් මේ දින 12 ට දුම්රිය නොතිබීමෙන් හොදහැටි හෙම්බත්ව සිටි බැවිනි.

දුප්පත්, පොහොසත් සැමගේ පොදු වාහනය වු දුම්රිය ජනතාවට සමීප හිතවතෙකි. බස් රථයේ යනවාට වඩා අඩු මුදලකින්, අඩු දුරක් වෙහෙසකින් තොරව ගමන් කිරිමට හැකි වීම ඇතැම් විට මීට හේතු විය හැක. මසකට සොච්චම් පඩියක් ගන්නා බොහෝ දෙනෙක් දුම්රිය වාර ප‍්‍රවේශ පත‍්‍රයෙන් ගමන් කළේ ඇතැම්විට අතේ සතය නැතිවය. නමුත් හිගන්නාගේ පාත්තරයට හෙනහුරා කඩා වැටුණා සේ ඉකුත් 25 දා ආරම්භ කළ දුම්රිය වර්ජනයෙන් බැට කෑවේ සාමාන්‍ය දුම්රිය මගීන්ය.

මෙම දුම්රිය ර්ජනය නිසා  රජයට රුපියල් කෝටි තිස් පහකට වැඩි අලාභයක් සිදුව ඇති බව දුම්රිය වෘත්තිය සමිති සදහන් කර තිබුණි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ දිනක ආදායම රුපියල් කෝටි 3- 4 ත් පමණ වේ. දුම්රිය වර්ජනය පැවති ඉකුත් දින දොළහ පුරාවටම මෙම ආදායම රජයට අහිමිව ගියහ. එමෙන්ම පැවති දුම්රිය වර්ජනය නිසා දුම්රිය මගීන් දැඩි අපහසුතාවයටද පත්ව සිටියහ. ඔවුන් දුම්රිය වර්ජකයින්ට, දුම්රිය දෙපාර්තමේන්තුවට, පවතින රජයට දෙමාපියන් සිහි කරමින් බැන වැදුණි. දුම්රිය රිය සහායකයින් විසින් ධාවනය කරනු ලැබු දුම්රිය කිහිපයක් ධාවනය වුවද එය මගීන්ගේ අවශ්‍යතා සපුරාලීමට ප‍්‍රමාණවත් වුයේ නැත. නමුත් බොහෝ දුම්රිය මගීන් සිය ජිවිත අවදානමද නොතකා දුම්රියේ එල්ලී හෝ වහලය මත නැ`ගී ගමන් කරන්නට වුයේ මාසික දුම්රිය වාර ප‍්‍රවේශපත‍්‍රයක් මිලදි ගෙන නැවතත් මුදල් වියදම් කර බස් රථ වල යෑමට නොහැකි නිසා විය හැකිය.

සත්‍ය වශයෙන්ම මේ දුම්රිය වර්ජනයත්, රජයට රුපියල් කෝටි ගාණක් අහිමි කිරිම පිටුපසත් සිටින්නේ කවුරුන්ද යන්න විමසා බැලිය යුතුය.

බොහෝ දෙනා සිතන්නේ  දුම්රිය වර්ජනය එකවර සිදුවුවක් බවය. නමුත් එය එසේ නොවන බව දුම්රිය වෘත්තිය සමිති සදහන් කර සිටියි. දීර්ඝ කාලයක සිට පවතින වැටුප් විෂමතාවය හා ශ්‍රේණි විෂමතාවය පිලිබද දුම්රිය වෘත්තිය සමිති කිහිපවරක්ම අදාල බලධාරින් මුණගැසී විසදුම් ඉල්ලා තිබුණද එය ලැබී නොතිබුණි. අවසානයේ දුම්රිය වෘත්ති සමිති ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හමු වී මෙම ගැටලූ වලට විසදුමක් ඉල්ලා සිටි අවස්ථාවේ ජනාධිපතිවරයා විසින් මේ පිලිබද සොයා වාර්තාවක් ලබා ගැනීමට ජනාධිපති කොමිසමක් පත් කළේය. නිලධාරීන් පහලොස් දෙනෙකුගෙන් පමණ සමන්විත එම කොමිසම දුම්රිය සේවයේ ගැටලූ වලට විසදුම් සෙවීමට පෙර සමස්ත රාජ්‍ය සේවකයින්ගේ තොරතුරු සොයා බලා ඒවා පදනම් කර ගනිමින් දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධ සැකසුණු වාර්තාව කැබිනට් අනු කමිටුවක් වෙත ඉදිරිපත් කර තිබේ. මෙම කැබිනට් අනු කමිටුවෙන් පසු මෙය ටෙක්නිකල් කමිටුව ලෙස හදුන්වන කමිටුවක් වෙත ඉදිරිපත් කරනු ලදුව අවසානයේ දුම්රිය දෙපාර්ත්මේන්තුවේ වැටුප් වැඩි වුයේ සියයට පහයි දශම ගණනකිනි. නමුත් සමස්ත රාජ්‍ය සේවකයාගේ ආරම්භක වැටුප් පියවරේ සිට රුපියල් 3000 ත් 24000 ත් අතර ප‍්‍රමාණයකින් ඉහළ දැමුණි.

මෙය සිදුනොවිය යුතු දෙයක් ලෙස සැලකූ දුම්රිය වෘත්තිය සමිති මෙහිදි දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක ගැටලූ අභ්‍යන්තරයේම විසදා ගත හැකි ක‍්‍රමයක් එනම් සංවෘත සේවාවක් ඉල්ලා සිටියහ. නමුත් රජයේ මේ සදහා වගකිව යුතු බලධාරීන් මේ ගැටලූව සුලූවෙන් තැකීය. ඔවුන් සිටියේ උඹලට කරන්න පුලූවන් දෙයක් කරපන් යන න්‍යායය තුලය. කැබිනට් මණ්ඩලයකින් අනුමත කළ දෙයක් ක‍්‍රියාත්මක කළ නොහැකි වාතාවරණයක් ප‍්‍රවාහන සේවය තුල ඔඩු දුවමින් තිබියදි දුම්රිය රියදුරන්, දුම්රිය නියාමකයින්, දුම්රිය පාලක , දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය අධීක්ෂණ නිලධාරින් ඇතුලූ දුම්රිය වෘත්තිය සමිති 11 ක් ඉකුත් සැප්තැම්බර් 25 දා සිට දුම්රිය වර්ජනයක් ආරම්භ කරනු ලැබුයේ මෙවන් පසුබිමක් තුලදීය. මෙම ගැටලූව ජාතික වැටුප් හා සේවක කොමිෂන් සභාව සම`ග විස`දා ගත යුතුව තිබු අතර ප‍්‍රවාහන අමාත්‍යාංශය ඒ සදහා ඔවුන්ට අවස්ථාවක් ලබා නොදුන් බව දුම්රිය වෘත්තිය සමිති සදහන් කර සිටියි.

වර්ජනය අතරතුර කිහිප අවස්ථාවකදීම මුදල් අමාත්‍යාංශය, ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා ඇතුලූ පාර්ශව කිහිපයක් සමග සාකච්ඡා පැවැත්ත්වුද දුම්රිය සමිති වලට නිසි විසදුම් ලැබුණේ නැත.

ඔවුන් සදහන් කරන ආකාරයට ඔවුන් වැටුප් කොමිසම හමුවීමට උත්සහ කළ සෑම අවස්ථාවකදීම ප‍්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් මැදිහත් වී එය වලක්වා තිබේ. අවසානයේ අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා මැදිහත් වී සාකච්ඡාවක් ලබා දීමට සැලසුම් කර ඇති අතර එම සාකච්ඡාවට පැය කිහිපයක් තිබියදි එයද අවලංගු වී ගියේ පෙර කී බහිරවයාගේ බැල්ම ඊට වැටුණු නිසා බව දුම්රිය සමිති නිලධාරින් පවසයි.

දිගින් දිගටම දුම්රිය මගීන් පීඩාවට පත් වෙමින් සිටි මොහොතක මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා මෙම දුම්රිය වර්ජකයින් හමු වී තිබේ. එහිදි ඔහු පවසා ඇත්තේ වෘත්තිය සමිති වලට බලපෑම් කිරිමට තමන්ට හැකියාවක් නොමැති නමුත් මේ සම්බන්ධව රජයට බලපෑම් කළ හැකි බවත් මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක වර්ජන පැවැත්විය නොහැකි බවත්ය.

මේ අතර අශෝක අබේසිංහ අමාත්‍යවරයා දුම්රිය වෘත්තිය සමිති වලට අභියෝග කර සිටියේ පුලූවන් තාක් වර්ජනය කරන ලෙසත් වර්ජනය අත්හරින තෙක් තමන් විසදුම් ලබා නොදෙන බවත්ය. එහිදි අමාත්‍යවරයා දුම්රිය රිය සහායකයින්, විශ‍්‍රාමික රියදුරන් යොදවා දුම්රිය ධාවනයට උත්සහ කළද එය සාර්ථක වුයේ නැත.

එමෙන්ම දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් පත‍්‍රයක්ද මුද්‍රණය කෙරුණි.සේවයට නොපැමිණෙන අය සේවය හැර ගියා සේ සලකා ලිපි යැවීමද ප‍්‍රවාහන අමාත්‍යාංශය මගින් සිදු කෙරුණි.

කැත්තට පොල්ල මෙන් දුම්රිය සමිති සමග සිටි ප‍්‍රවාහන අමාත්‍යාංශය මෙහිදි බලාපොරොත්තු වුයේ නාම යෝජනා ලබා දෙන 07 තෙක් මොවුන් වර්ජනයේ යෙදී එය අත්හරිනු ඇති බවය. නමුත් මෙයින් පීඩාවට පත් වුයේ සාමාන්‍ය මගීයාය.
වර්තමානය වන විට දුම්රිය දෙපාර්තමේන්තුව පමණක් නොව වෛද්‍යවරුන්, පරිපාලන නිලධාරින්, බැංකු නිලධාරින් ඇතුලූ බොහෝ ක්ෂේත‍්‍ර වල පුද්ගලයින් වර්ජන රැල්ලට ගොදුරුව සිටිති.

ඔවුන් සියලූ දෙනා තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් රටේ ජනතාව උගසට තබති. රට්ටුන්ට සිදුව ඇත්තේ වර්ජන, ඉල්ලීම් මැද අතරමංවන්නටය.
මෙහිදි රට්ටුන්ගේ අහිමි වෙන  මානව හිමිකම් ගැන කථා කරන්නට කිසිවෙකු නැත. එකෙකු පරයා තවකෙකු නැගී සිටිමට වෙර දරන මේ සමාජයේ දුම්රිය වර්ජනයත් මගීන්ට එක් කළේ අවනඩුවකි.

වෙනදා අතේ සතේ නැතිව රැකියාවට ගිය අයට  පහුගිය දිනවල කොහෙන් හෝ සොයාගත් මුදලක් අතේ තබා ගැනීමට සිදු වුයේ බස් වලට හෝ ත‍්‍රිරෝද රථ වලට වියදම් කරන්නටය. එසේත් කළ නොහැකි පිරිස් මේ අතර සිටි බවද අප අමතක නොකළ යුතුය.

මේ අතර වර්ජනය අත්හළ දුම්රිය සේවකයින් මෙම මස දුම්රිය වාර ප‍්‍රවේශපත‍්‍ර ලබා ගැනීම රජයේ අයට 12 තෙක් හා පුද්ගලික අංශයට 10 තෙක් අවස්ථාව ලබා දිමට පියවර ගෙන ඇත. නමුත් මේ වන විට මාසයෙන් දින 10 ක් ගෙවි ගොසිනි. මගීයා වාර ප‍්‍රවේශපත‍්‍රය ලබා ගත යුත්තේ මාසයටමය. මෙයින්ද තට්ටු වන්නේ දුම්රිය මගීන්ටය. මේ ආකාරයෙන් දිගින් දිගටම වර්ජන පැවතුණහොත් රට්ටුන්ද පාලකයින් වර්ජනය කරන දවස වැඩි ඈතක නොවනු ඇති බව නොඅනුමානය.

මාධවී



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.