English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
නීතිඥයන් පුහුණු කිරීමේ අසාර්ථකත්වය - බැසිල් ප‍්‍රනාන්දු
(2019-10-08)

<< Go Back
Share |   


නීතිය හා තර්කානුකූලභාවය අතර ඇත්තේ එකිනෙකින් වෙන් කළ නොහැකි සම්බන්ධයකි. තර්ක විද්‍යාව නොමැතිව නීතියක් තේරුම් කර ගැනීමට නොහැකි වනවා මෙන්ම නීතියක් කි‍්‍රයාත්මක කර ගැනීමටවත්, එසේ කි‍්‍රයාත්මක කර ගැනීමට බැරි වීම් පිළිබඳව අධිකරණමය කටයුත්තක් නිසි ලෙස පවත්වා ගෙන යාමටවත් බැරිය.

සාමාන්‍ය ජීවිතයේ සමහර වැඩ මෝඩකමක් ඇත්තෙකුට හෝ කළ හැකිය. එහෙත් එසේ කිරීමේ වුවද එම අදාල කි‍්‍රයාවට අනුව අවශ්‍ය කල්පනා ශක්තියක් පවතී. උදාහරණයක් වශයෙන් ගසක් කපන මිනිසෙකුට එම ගස කැපීම වෙනත් දේපල වලට හානි නොකර කර ගැනීමට තරම් අවබෝධයක් පැවතිය යුතුය. ගඟක ඔරුවක් පදින තොටියාටත් එම කටයුත්ත පිළිබඳ ඥාණය පැවතිය යුතුවා පමනක් නොව එසේ නොපැවතුනහොත් ඔහුට මෙන්ම ඔහුගේ ඔරුවේ ගමන් කරන්නන්ගේ ජීවිත වලටද හානි පැමිණවිය හැකිය. මාලූ අල්ලන්නට යන ධීවරයා සම්බන්ධයෙන් වුවත්, රා මදින්නට පොල් ගසකට නගින අයෙකු වුවත් වෙනත්  ඕනෑම කාර්යයක යෙදෙන පුද්ගලයෙකුට වුවත් එම අදාළ ක්ෂේත‍්‍රය පිළිබඳව දැනීමක් හා එය තුළ පවතින තර්ක ඥානයට අනුකූල වීමට හැකියාවක් පැවතිය යුතුය. එසේ නැතිව කටයුතු වල යෙදෙන්නන් සාමාන්‍යයෙන් ජනව්‍යවහාරයේ හඳුන්වන්නේ  මහදැනමුත්තන් ලෙසය. උදාහරණයක් වශයෙන් එළුවෙකුගේ ඔලූවේ සිරවූ මුට්ටියක් එළියට ගැනීම සඳහා එළුවාගේ බෙල්ල කැපීම වැනි කරුණකින් පැහැදිළි වන්නේ අමුම මෝඩ ගතිගුණය.
 
මෙවැනි මූලික තර්ක ඥාණයක් පැවැත්මට විශාල අධ්‍යාපනයක් අවශ්‍ය නොවේ. එයට ජීවිතය තුළින්ම ලැබෙන හා විවිධ ක‍්‍රියාවන් තුළින් ලැබෙන ඥානයක් ඇත. අලූතෙන් අදාල කි‍්‍රයාවට යෙදෙන්නා ඉන් ඉහතදී එම කි‍්‍රයාව කළ අයගේ පළපුරුදු දෙස බලා එම ක‍්‍රියාව කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව අවබෝධයක් අත් කර ගනී. එම අතීත අවබෝධය තුළ භෞතික ලෝකයේ ඇති විවිධ න්‍යායන් ප‍්‍රායෝගිකව උකහා ගැනීමක් කෙරී තිබෙන්නේ කෙසේදැයි පැහැදිළි කර ගැනීම අමාරුවක් නැත.

සාමාන්‍ය ජීවිතයේ කටයුතු වලදී එසේ වුවත් වෘත්තීමය වශයෙන් කෙරෙන කටයුතු ස්වභාවිකව උකහා ගත් ඥාණයකින් පමනක් කළ නොහැක. මේ නිසා අදාළ වෘත්තිය සම්බන්ධයෙන් පවතින ඥාන සම්භාරය ඉතා හොඳින් ඉගෙන ගැනීමට අලූතෙන් එම වෘත්තියට ඇතුළු වීමට  ඕනෑකම් ඇති කාට වුවත් කළ යුතුම කාර්යයක් බවට පත්වේ. උදාහරණයක් වශයෙන් වෛද්‍ය වෘත්තිය පිළිබඳව ගතහොත් වෛද්‍ය විද්‍යාව පිළිබඳව දැනුමත් මෙන්ම ලෙඩට බෙහෙත් කිරීම පිළිබඳව අනුගමනය කළ යුතු විධික‍්‍රම පිළිබඳ දැනීමත්, ශල්‍යකර්ම පිළිබඳ දැනීමත් ආදී වශයෙන් දැනුම් සම්භාරයක් ඉගෙන ගත යුතුය. ඔහු ප‍්‍රායෝගිකව මෙම කි‍්‍රයාවට යන කල මෙම දැනුම් සම්භාරය මත පදනම් වූ තර්ක කිරීමේ හැකියාවත් ඔහු තුළ ඇති කිරීම වෘත්තිකයන් පුහුණු කිරීමේදී වැදගත් කාරණයක් වේ.

වෘත්තියක් හැටියට නීතියද එවැනිම තත්ත්වයක පසුවේ. නීතියේ විවිධ ක්ෂේත‍්‍ර පිළිබඳව අතීත කාලයේ සිට නිර්මාණය වූ විවිධ නිර්වචන ඇත්තේය. එම නිර්වචන වර්තමාන තත්ත්වයේ සුවිශේෂ සිද්ධීන් කෙරෙහි බලපාන ආකාරය පිළිබඳව තාර්කික වශයෙන් කල්පනා කොට තමන් ඉදිරිපිට ඇති ගැටලූවට විසඳුමක් සෙවීමට පුරුදු කිරීම නීතිමය ක්ෂේත‍්‍රය තුළදී වෘත්තිකයන් පුහුනු කිරීමේදී සිදු විය යුතුම කාර්යයකි. මෙම කාර්යයට නිසි ලෙස පුහුණු කිරීමක් ඇති නොවුවහොත් සිදු වන්නේ බුද්ධිමය පසුගාමිත්වයකින් පෙළෙන නීතිඥයන් ඇතිවීමය. බුද්ධිමය පසුගාමීත්වය යන්න වඩා සරලව ප‍්‍රකාශ කළ විට එහි අදහස නම් මෝඩකමයි.
නිසි ලෙස නීතිය පිළිබඳ දැනීම තර්කානුකූලව කර ගැනීමට නොහැකි වීම හෝ එසේ කර ගැනීමට ප‍්‍රතික්ෂේප කිරීම තුළින් මෝඩයන් පමනක් නොව කපටියන්ද ඇති වේ. නීතිය කපටි ආකාරයෙන් හසුරුවා ගෙන තමන්ගේ සේවා යෝජයකයාට කිසියම් සහනයක් ලබා දී ඒ මගින් තමන්ගේ පසුම්බිය තර කර ගැනීම කෙරෙහි අංකූර බුද්ධියක් වර්ධනය කර ගැනීම මගින් මෙවැනි නීතිඥ කපටියන් බිහි වේ. උදාහරණයක් වශයෙන් රටේ නඩුවක් විසඳීම සඳහා විශාල කාලයක් එනම් දශක දෙකක් පමන ගතවන බව දන්නා නීතිඥයන්ගෙන් සමහරෙක් තමන්ගේ සේවා යෝජකයෙකුට මෙසේ යෝජනා කර හැකිය. ඔබ විසින් සිදුකර ඇති අපරාධය ගැන ඇති සාක්ෂි අනුව හරියාකාරව නඩුවක් ඉක්මනින් විසඳුවහොත් ඔබට හිරේට යාමට හෝ මරණීය දණ්ඩනයට යාමට සිදුවනු ඇත. පවතින සාක්ෂි අනුව මේ ගැන කළ හැකි දෙයක් නැත. මට කර දිය හැකි එකම දෙය නම් හැකිතරම් මෙම නඩුව කල් දැමීමට කටයුතු කොට ඒ මගින් ඔබට නිදහසේ සිටීමට හැකි කාලය දික් කර දීමට පමනක් නොව සමහර විට එම කාලය තුළදී ඇති වන යම් බාහිර සිදුවීම් තුළින් යම් වාසියක් ලබා ගැනීමට ඔබට අවස්ථාවක් සලසා දිමය.

මෙම අංකූර කපටිභාවය කොතෙක් දුරට ප‍්‍රකාශයට පත් වනවාද යන්න ලංකාවේ සුප‍්‍රසිද්ධ නීතිඥයෙක් වශයෙන් සිටි එස්. එල් ගුණසේකර මහතා ඔහු ලියූ පොතක සඳහන් කරයි. නඩු වලට දින අරන්දීම පිළිබඳව ප‍්‍රසිද්ධියට පත් වූ නීතිඥයෙක් සිටියේය. ඔහු ඉතා නරක නඩුවක එනම් සේවා යෝජකයාට විරුද්ධව ඉතා දැඩිව සාක්ෂි පැවති නඩුවකදී එම සේවා යෝජකයාගේ නිතිඥයා වශයෙන් පෙනී සිටියේය. මහාධිකරණයේ විනිසුරුවරුන් ගණනාවක් ඉදිරියේම මෙම නඩුව විටින් විට කල් දමා ගැනීමට ඔහුට හැකි විය. එහෙත් එක් අවස්ථාවකදී අධිකරණයට පැමිණි මහාධිකරණ විනිශ්චයකාර වරයෙක් කිසියම්ම ආකාරයකින් නඩු පමා කිරීමට ඉඩ නොදෙන අයෙකු විය. මේ බව නීතිඥයා අත්දැකීමෙන් දැන ගෙන සිටියේය. ඊළඟ දිනයේ නඩුව ඇසීමට නියම කළ විට නීතිඥයා සේවා යෝජකයාට යෝජනා කළේ මෙසේය. ලබන පාර නඩුව ඇහුවොත් ඔබට මරණ දණ්ඩනය ලැබෙනවා සහතිකයි. දැන් තියෙන තත්ත්වයට අනුව තව දිනයක් ගන්න ඉඩකඩත් නැහැ. එසේ ගැනීම කළ හැක්කේ ඔබ ඉස්පිරිතාලයකට ඇතුල් වී ශල්‍යකර්මයක් කර ගතහොත් පමනයි.  මෙහිදී සේවා යෝජකයා කියා සිටියේ ශල්‍යකර්මයක් කර ගැනීමට තරම් රෝගයක් ඔහුට නැති බවයි. නීතිඥා ඔහුට කියා සිටියේ එය වෛද්‍යවරයෙකුට කතා කොට සැලසුම් කර දිය හැකි බවත් ඒ නිසා කිසියම් ඇපැන්ඩික්ස් වැනි රෝගයක් සඳහා ශල්‍යකර්මයක් කරවා ගෙන ඒ පිළිබඳව වෛද්‍ය සහතිකයක් ලබාදී දිනයක් ගත හැකි බවය.

මරනීය දණ්ඩනයත් ශල්‍යකර්මයත් අතර පැටලූනු සේවා යෝජකයා එසේ ශල්‍යකර්මයක් කරවා ගැනීමට එකඟ විය. ඒ අනුව යම් වෛද්‍යවරයෙක් ලවා ශල්‍යකර්මයක් කරවන ලදි. එම සහතිකය ඉදිරිපත් කිරීම මගින් සේවා යෝජකයාට තවත් දීර්ඝ දිනයක් ලබා දීමට නීතිඥයාට හැකිවිය. මෙය විශේෂ සිද්ධියක් සේ සැලකිය හැකි වුවත් ඇත්තෙන්ම විවිධ ආකාරයේ කරුණු දක්වමින් විශේෂයෙන්ම ගැලවීමට බැරි තරම් සාක්ෂි ඇති නඩු වල සේවා යෝජකයන්ට දින ලබා දීම නඩු පමා වීම කෙරෙහි බලපවත්වන ඉතා ප‍්‍රධානම සාධකයක් වේ. විශේෂයෙන්ම යම් බලධාරියෙකු උදාහරණයක් වශයෙන්  අපරාධ නඩුවකට චෝදනා ලැබ සිටින පොලිස් නිළධාරියෙක් වැනි අයෙකුට දින ලබා දීම මගින් අවුරුදු දාහතක් පමන කාලයක් පමා වූ නඩු වාර්තා වී ඇත.

මේ අනුව බලන කළ නීතිඥයන් පුහුණු කිරීමේදී ඇතිවන දෙආකාර අසාර්ථකභාවයන් දකිය හැකිය. එකක් නම් නීතියේ ප‍්‍රධාන නිර්වචන හා මූළධර්ම පිළිබඳව ගැඹුරු අවබෝධයක් ඇති නොකිරීම නිසා විවිධ වැරදි කිරීමට ලෙහෙසියෙන් පෙළඹෙන නීතිඥයන් නිර්මාණය වීම එකකි. දෙවැන්න නම් නීතියට පදනම් වන සදාචාරය පිළිබඳව පදනමක් නැතිව අධ්‍යාපනයක් දීම නිසා ඉහත කී ආකාරයෙන් නීතියේ තිබෙන සියලූ අඩුපාඩු ප‍්‍රයෝජනයට ගනිමින් නීතියේ ප‍්‍රධාන අරමුණු සියල්ල විනාශ කර දමන නීතිඥයන්ද ඇති වේ. මේ දෙආකාරයේම ප‍්‍රතිඵල වන්නේ නීිති ක‍්‍රමය කඩා වැටීමය. නීති ක‍්‍රමය කඩා වැටුනු විට සිදුවන්නේ වේදිකාව කඩා වැටීම නිසා රඟපාන්නට බැරිවන නළුවෙකු ඇතිවීම වැනි දෙයකි. නළුවාට තමන්ගේ කාර්යය කිරීමට නම් ඊට අදාළ පසුබිම හා වාතාවරණය තිබිය යුතුය. එසේ නොමැති කළ සිදුවන්නේ කිසියම් උප්පරවැට්ටි මගින් මොනවා හෝ කොට එය කලාවක් සේ පෙන්වීම පමනි.  බොහෝ විට දැන් නීති වෘත්තිය තුළ සිදුවන්නේ ද මෙම මානසික තත්ත්වයයි. උඩින් ගත් කළ යම් නීතියක් පවතිනවා සේ පෙනුනත් ඇත්තෙන්ම සම්ප‍්‍රදායක නීති පදනම් සියල්ලම බිඳ හෙළමින් නීති ක‍්‍රමයකට පවතින්නට බැරි තත්වයක් දක්වා දැන් ලංකාවේ යුක්තිය පසිඳලීමේ කි‍්‍රයාදාමය පසුබැස ඇත.

මෙම අවාසනාවන්ත කඩා වැටීම නිවැරදි කිරීම සඳහා ගතයුතු කි‍්‍රයාමාර්ග බොහොමයක් පවතින අතර ඒවායින් එකක් වන්නේ ලංකාවේ නීති අධ්‍යාපනයේ ඇති වී ඇති විශාල පරාජය පිළිබඳව අවබෝධයක් රජය මෙන්ම සිවිල් සමාජය විසින්ම ඇති කර ගෙන ඒ මත පදනම් වන විවේචනශීලී මැදිහත්වීමක් මගින් නීති අධ්‍යාපනය මුළුමනින්ම මෙන් වෙනස් කිරීමය.



බැසිල් ප‍්‍රනාන්දු



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.