English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
දේශපාලනයට සමාජ මාධ්‍ය යොදා ගැනීම - හිරෝෂන් ලක්ෂාන්
(2019-09-10)

<< Go Back
Share |   


 දේශපාලනයට සමාජ මාධ්‍ය යොදා ගැනීම - හිරෝෂන් ලක්ෂාන්

සමාජ මාධ්‍යය භාවිතය තුළින් දේශපාලන වෙනස්කම් සිදු වූ ආකාරය ලෝක දේශපාලන ක‍්‍රමය පිළිබද අවධානය යොමු කිරීමේදී වටහා ගත හැකිය. ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මැතිවරණ කාල පරාසය තුළ ප්‍රධාන සන්නිවේදනය බවට පත් කරගනු ලැබුවේ නව මාධ්‍යයන්ය. ඉන්දියාව තුළ පුවත්පත් ප‍්‍රවෘත්ති නාලිකා විශාල ගණනක් සක‍්‍රීය ව පැවතිය ද ඔහු බොහෝ අවස්ථාවන්හි දී එම මාධ්‍යයන් පසෙකලා ට්විටර් හාෆේස් බුක් සමාජ ජාලා මගින් තම ඡන්දදායකයන් හා සන්නිවේදනයේ යෙදී ඇත.

වයස අවුරුදු 25ට අඩු තරුණ පිරිස මිලියන 600ක් වන ඉන්දියාවේ ඒ අතරින් මිලියන 100ක් ෆේස්බුක් සමාජ ජාලය භාවිතා කරයි. උක්ත දැක්වෙන පරිදි විශාල ෆේස්බුක් ජාලයක් පවතින රටක් වන ඉන්දියාව තුළ දේශපාලන සන්නිවේදනය නව මාධ්‍යය ඔස්සේ සිදු කිරීම ඔහුගේ ජයග‍්‍රහණයට කරන ලද අනුබලය අතිමහත්ය. දේශපාලන ප‍්‍රචාරණ කාල සීමාව තුළ පමණක් නොව ඉන් පසුවත් නව සමාජ මාධ්‍යය සමග සක‍්‍රීයව කටයුතු කිරීමඔහුගේ ජනතා ප‍්‍රසාදය වර්ධනයවීමට ප‍්‍රබල වශයෙන්ම හේතු වී තිබේ.

අන්තර්ජාලයේ ආගමනයත් සමග වර්ධනය වූ නව මාධ්‍යයන් මගින් දේශපාලන සන්නිවේදනයට කරන ලද බලපෑම සුළුපටු නොවන අතර මෙමගින් සරල චර්යාත්මක වෙනස්කම් පමණක් නොව රටක පාලන බලය පෙරලා දැමීමටද මෙම නව මාධ්‍යයන් හේතුවිය. මෑතකදී සිදුවූ ඊජිප්තු විප්ලවය හදුන්වන්නේ ෆේස් බුක් විප්ලවයක් ̃ලෙසයි.

දශක තුනකට අධික කාලයක් ඊජිප්තුව පාලනය කළ හොස්නි මුබාරක් සති කිහිපයක් තුළදී රටින් පලවා හැරීමට හැකි වූයේ අන්තර්ජාලය මගින් බව දේශපාලන විචාරක අදහස වේ. මරණ ගණන 384කට සීමා කරමින් මෙම විප්ලවය ජයගත හැකිවූයේ, අන්තර්ජාලය හේතු කොටගෙන බව බටහිර විචාරකයින් මෙන්ම ඊජිප්තු ජාතිකයින් ද පිළිගනී. මෙම ෆේස් බුක් විප්ලවය මෙහෙය වූ නිර්ණාමික නායකයෙකු මාධ්‍යයට ප‍්‍රකාශ කර සිටියේ,  ”අපි උද්ඝෝෂණ සැලසුම් කළේ, ෆේස් බුක් මගින්, සම්බන්ධීකරණ කටයුතු කළේ ට්විටර් මගින්, ලෝකයාට මේ පණිව්ඩය කීවේ යූටියුබ් හරහා යනුවෙනි. මෙම විප්ලවයේදී මුබාරක් ඉවතට ගැනීමට පෙළ ගැසෙනා ලෙස ෆේස් බුක් හරහා ඉල්ලා සිටින ලදි. එහිදී ලක්ෂ ගණනාවකගේ සහාය ලබා ගැනීමට හැකිවූ අතර, උද්ඝෝෂණ පැවැත්වෙන දිනය, ස්ථානය හා කළ යුතු දේ ෆේස් බුක් මගින් දැනුම් දුණි. ඒ අතර මුබාරක්ගේ රජය ඊජිප්තුව තූළ අන්තර්ජාලය තහනම් කළද, ෆේස් බුක් සටන්කාමීන් වාරණ නීති නොතකමින් නව මාධ්‍යය ඔස්සේ සන්නිවේදන කටයුතු අඛණ්ඩව ගෙන ගියහ.

දේශපාලන ක්ෂේත‍්‍රයේ විප්ලවීය බලපෑමක් කිරීමට නව මාධ්‍යයන් සමත්ව ඇති බව මෙමගින් ගම්‍ය වේ. එමෙන්ම ශ‍්‍රී ලංකාව ඇසුරින් විමසා බැලීමේ දී 2015 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී ප‍්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වූ මහින්ද රාජපක්ෂ මහතා හා මෛත‍්‍රීපාල සිරිසේන මහතා තම මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු තුළදී නව මාධ්‍යයන් බොහෝ සෙයින් උපයෝගි කර ගනු ලැබූ අතර මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය කෙරෙහි නව මාධ්‍යය බොහෝ සෙයින් බලපෑම් කරනු ලැබීය. එසේම මෑතදී වෙන්නප්පුව ප‍්‍රදේශයේ තරුණ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරියක් පොලිස් නිලධාරීන්ට තර්ජනය කරමින් හැසිරුනු දර්ශන ෆෙස්බුක් මාධ්‍ය ඔස්සේ රට පුරා ව්‍යාප්ත වීමට ගියේ ඉතාමත් සුළු කාලයකි.

සමාජය තුළ දේශපාලන, ආර්ථික, සමාජයීය වශයෙන් සබදතා පැවැත්වීමේ දී මාධ්‍යය උච්ච ස්වරූපයෙන් දායකත්වයක් ලබා දෙන අතර සබදතා ඇති කිරීමට මෙන්ම සබදතා නැති කිරීමට ද මාධ්‍යයන්ට හැකිවනවා මෙන්ම දේශපාලන වශයෙන් ජයග‍්‍රහණයක් ලබා ගැනීමට හෝ පරාජයට පත්වීම කෙරෙහිද විශාල බලපෑමක් සිදු කරයි. නව මාධ්‍යයන් හරහා දේශපාලකයින් හා ජනතාව අතර පවතින සබදතාව නිරන්තරව අළුත්වැඩියා වන ඩිජිටල් තාක්ෂණයක් බවට පත්ව ඇති අතර මෙම සබදතාව හුදෙක් මැතිවරණ කාල සීමාවන්ට පමණක් සීමා නොවෙමින් කාලීන සිදුවීම් ඔස්සේ තමන්ට පක්ෂපාතී දායකයින් තව දුරටත් තමන් වෙත රදවා තබා ගැනීමේ අරමුණින් ජනතාව සමග කටයුතු කරන ආකාරයේ ජායාරූප, ආගමික කටයුතුවල නිරත වන ආකාරයේ ජායාරූප, තම පවුලේ සාමාජිකයින් දැක්වෙන් ජායාරූප තම ෆේස් බුක් ගිණුමට ඇතුළත් කිරීමත්, ජනතා ප‍්‍රතිචාර වර්ධනය කර ගැනීමටත් ෆේස් බුක් ගිණුම එදිනෙදා තොරතුරු මගින් යාවත්කාලීන කර තමන් කෙරෙහි ප‍්‍රසාදයක් ඇතිවන අයුරින් නිර්මාණය කරන ලද විවිධ ලිපි අන්තර්ජාලය වෙත මුදා හැරීමත් දේශපාලන නායකයින් විසින් බොහෝ අවස්ථාවන්හි සිදු කරනු ලබන බවට ලංකාවේ වත්මන් ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ මුහුණු පොත් හා ඔවුන්ගේ අනුගාමිකයින් මුහුණු පොතට එක් කරන විවිධාංගයන් දෙස බැලීමේදී මනාව වැටහෙන කරුණකි. මීට අමතරව දේශපාලන සන්නිවේදනයේ දී චරිත ඝාතනය, අපහාස කිරීම් ආදිය සදහා ද විශාල වශයෙන් නව මාධ්‍යය භාවිතය සිදු වේ.

ශ‍්‍රී ලංකාව, ඉන්දියාව වැනි තුන් වන ලෝකයේ රටවල් දෙස බැලීමේදී මෙම රටවල් වල පුරවැසියන්ට සමාජ ජාල භාවිතයේදී අනුගමනය කළ යුතු ආචාර ධර්ම පිළිබඳ පවතින අවබෝධය ඉතාමත් පහත් මට්ටමක පවතින බව කිව යුතුය. ඒ හේතුවෙන් අසභ්‍ය දර්ශන, අසභ්‍ය වීඩියෝ පට, අසභ්‍ය ප‍්‍රකාශ, අපහාස කිරීම් බහුල වශයෙන් ව්‍යාප්ත වන අයුරු දැක ගත හැකි අතර මේ සම්බන්ධයෙන් විධිමත් අයුරින් නීතිය ක‍්‍රියාත්මක වීම තවමත් ප‍්‍රමානාත්මක මට්ටමක නොතිබෙන බවද කිව යුතුය.

-හිරෝෂන් ලක්ෂාන්-

Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.