English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
නින්දෙන් අවදිව අර්ජුන මහේන්ද්‍රව සෙවීම!
(2019-09-09)

<< Go Back
Share |   



නින්දෙන් අවදිව අර්ජුන මහේන්ද්‍රව සෙවීම!

මහබැංකු බැදුම්කර වංචාවට අදාලව හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුලූ විත්තිකරුවන් දස දෙනෙකුට නීතිපති දප්පුල ද ලිවේරා විසින් ස්ථිර ත‍්‍රිපුද්ගල මහධිකරණයේ අධිචෝදනා ගොනු කරනු ලැබුයේ ඉකුත් ජුනි 28 වෙනිදාය.

එම නඩුව නැවත ඉකුත් අගොස්තු 09 වෙන දින කැදවු අවස්ථාවේ නීතිපතිවරයාගේ ඉල්ලීම මත ස්ථිර ත‍්‍රිපුද්ගල මහධිකරණය විසින් නියෝග කරනු ලැබුයේ හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසය.

ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය ලියකියවිලි වලට අත්සන් කිරිම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විසින් පසුගිය 7 වන දින සිදු කළේය.
ඒ නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද පිටු 21,000 ක් පමණ වන ලිපි ලේඛන ආරක්ෂක අමාත්‍යාංශයට හා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුවය.

ජනාධිපතිවරයා අත්සන් තැබු මෙම ලිපි ලේඛන විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සිංගප්පූරුව වෙත යවා උදර්පණ ඉල්ලීමක් කර අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වේ.

මහබැංකු බැදුම්කර වංචා නඩුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වන කාලයේ සිටම හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිටියේ අධිකරණය මගඟරිමින්ය. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ටවත් ඔහුව අල්ලා ගැනීමට නොහැකි වුයේ ඔහු සිංගප්පූරුවට පලා ගොස් සිටි හෙයිනි. එහිදි ඔහුව අත්අඩංගුවට ගත නොහැකිය. මන්ද? ඔහු එරට පුරවැසියෙකු වීම නිසාය.

මෙම මහබැංකු බැදුම්කර වංචාවට අදාලව අර්ජුන් මහේන්ද්‍රන්ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප‍්‍රකාශක් ලබා දෙන ලෙස දන්වා තිබුණේ 2018-04-08 වෙනි දිනට ප‍්‍රථමයෙනි.

මේ බව සදහන් සිතාසියක් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ලබාගෙන අන්තර් ජාතික කූරියර් සේවාවක් හරහා සිංගප්පූරුවේ ඔහු පදිංචිව සිටින නිවෙස වෙත යැවීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ක‍්‍රියා කළ නමුත් එම ලිපිනයේ ඔහු පදිංචිව නැති බව සදහන් වෙමින් එකී සිතාසිය නැවත පැමිණ තිබුණි. එහිදි ජාත්‍යන්තර පොලිසියේ සහායද ලබාගෙන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව අත්අඩංගුවට ගැනිමට රතු නිවේදනයක් ලබා ගත්තේය. නමුත් කිසිවක් සිදු වුයේ නැත.

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පමණක් නොව මෙරට නමගිය අපරාධකරුවන් රැුසක් මේ වන විට ජිවත් වන්නේ විදේශයන්වලය. මන්ද? ඒ මෙරටදි අත්අඩංගුවට පත් වීමෙන් වැලකී සිටිමටය. මෙරට පාතාලායේ ගෝඞ් පාදර් ලෙස හැදින්වු මාකදුරේ මධුෂ්ද සිටියේ ඩුබායි වලය.

මෙවැනි පුද්ගලයින්ට අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කළ පමණින් මෙරට පොලිසියට එතෙර ගොස් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් නැත.
මෙරට අධිකරණය විසින් නිකුත් කරන වරෙන්තු ප‍්‍රධාන වශයෙන් කාණ්ඩ 03 ක් ඔස්සේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වර්ග කරනු ලැබේ. එනම් කහ නිවේදනය, නිල් නිවේදනය හා රතු නිවේදනය ලෙසිනි. මෙම වරෙන්තු ක‍්‍රියාත්මක කරනු ලබන්නේ ඉන්ටපෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසිය විසිනි. ජාත්‍යන්තර පොලිසිය ත‍්‍රස්තවාදය පිලිබදව ඇති චෝදනා ගැන දැඩිව කටයුතු කරන අතර ඊට මුල් තැනක් දෙනු ලබයි. එහෙත් මුල්‍ය වංචා, මුල්‍ය හානි පිලිබද එතරම් තැකීමක් කරන්නේ නැත. කහ නිවේදනයෙන් කරනු ලබන්නේ අදාළ සැකකරු පිලිබ`ද සොයා බැලීමක් පමණි.

නිල් නිවේදනයක් මගින් අදාළ සැකකරුව අත්අඩංගුවට ගැනීමක් සිදු වෙන අතර එහිදි සැකකරුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කෙරේ. එහිදි ජාත්‍යන්තර පොලිසියට ඔහුගේ ප‍්‍රකාශයෙන් සෑහීමකට පත් විය හැකි නම් ඔහුව මුදා හරිනු ලබයි. රතු වරෙන්තුව මගින් අදාළ සැකකරුව අත්අඩංගුවට ගන්නා අතර උදර්පන ගිවිසුම මත ඔහුව අදාළ අවශ්‍ය රටට ලබා දීම කරනු ලබයි.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ අවි සැපයුම්කරු වු කුමාර් පද්මනාදන් හෙවත් කේ.පී ජාත්‍යන්තර පොලිසිය මගින් මැලේසියාවේදි අත්අඩංගුවට ගනු ලැබුයේ ඔහුට එරෙහිව රතු වරෙන්තුවක් ලබා දි තිබුණු බැවිනි.

එහෙත් යුක්රේනයෙන් මිලදි ගත් මිග් යානා ගණුදෙණව සම්බන්ධයෙන් මෙරට අධිකරණය වෙත අවශ්‍යව සිටින රුසියාවේ ශ‍්‍රි ලංකාවේ හිටපු තානාපති වන උදයංග වීරතුංග තවමත් අත්අඩංගුවට ගැනීමට නොහැකිව ඇත්තේ ඔහුට නිල් වරෙන්තුවක් නිකුත් කර ඇති හෙයිනි. ඔහුව කිහිප අවස්ථාවකදීම එරට පොලිස් අත්අඩංගුවට පත් වුවද ඔහුගෙන් ප‍්‍රශ්න කර මුදා හැර තිබුණි.

යම් රාජ්‍යයක් ඉල්ලීම් කළ පමණින් එරට රජයන් හෝ ජාත්‍යන්තර පොලිසි පැය විසි හතරකින් සැකකරුවන් අපට ලබා දෙන්නේ නැත. ඔවුන් සැකකරුවන් පිලිබ`ද සම්පුර්ණ තොරතුරු දැන ගෙන සිටිය යුතුය. එමෙන්ම එකී තොරතුරු පිලිබද සෑහීමකටද පත් විය යුතුය. එසේම උදර්පන ගිවිසුම අනුව කටයුතු කෙරේ.

උදර්පනය යනු අපරාධකරුවන්, සැකකරුවන් නඩු සදහා රටකින් රටකට මාරු කිරිමය. ලංකාව සහ සැකකරු සිටින රට අතර උදර්පන ගිවිසුමක් තිබේනම් උදර්පන නීතිය යටතේ සැකකරුව අත්අඩංගුවට පත් වුවහොත් ලංකාවට ලබා දීමට එරට බැ`දි සිටියි. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම උදර්පන ගිවිසුමට මෙතෙක් අත්සන් තබා නොමැත.

පොදු රාජ්‍ය මණ්ඩලීය රටක් වන ලංකාවට පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 54 ක රාජ්‍ය නායකයන් හමු වන අවස්ථාවක එම රටවල රාජ්‍ය නායකයන්ගෙන් අදාල සැකකරුව ලබා දෙන ලෙස ඉල්ලීම් කළ හැකි වුවත් අප දන්නා තරරමින් තවමත් එවැනි දෙයක් සිදුව නොමැත.

සේපාල ඒකනායක ඉතාලියේ අලිතාලියා ගුවන් සේවය අයත් යානයක් පැහැරගෙන ලංකාවට පැමිණි අවස්ථාවේ ඉතාලි රජය විසින් ඔහුව එරටට ඉල්ලා සිටියත් මෙරටින් ඔහුව එරටට බාර දුන්නේ නැත. මන්ද ? ඉතාලිය හා ශ‍්‍රි ලංකාව අතර උදර්පන නීතියක් ක‍්‍රියාත්මක නොවුනු බැවිනි. නමුත් එවකට සිටි රජය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙරටදීම ඔහුට එරෙහිව නඩු පවරන ලදි. නමුත් එම සිද්ධිය නිසා අදටත් අලිතාලියා ගුවන් සේවයේ ගුවන් යානා මෙරටට පැමිණෙන්නේ නැත.

එහෙයින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට සිදු කර ඇත්තේ උදර්පන ඉල්ලීමකි. මෙය කොතරම් දුරට සාර්ථකභාවයට පත් වේදැයි කිව හැක්කේ සිංගප්පූරු රජය ගන්නා ක‍්‍රියා මාර්ග අනුවය. අර්ජුන් මහේන්ද්‍රන් එරට පුරවැසියෙකු බැවින් අපිට සිංගප්පුරුවට බලපෑම් කිරිමේ හැකියාවක් නැත.

වසර ගණනාවක සිට අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන ඒමේ අවශ්‍යතාව පැවතියද වගකිවයුතු රාජ්‍ය නායකයෙකු ලෙස ජනාධිපතිවරයා සිටියේ මර නින්දකය. එහෙත් ජනාධිපතිවරණය දැන් එළැඹ ඇති හෙයින් ඔහු නින්දෙන් අවදිව සිටිති.

එබැවින් දැන් ඔහු මනාප එකතු කිරිමේ පොරයට එක්ව සිටි. ඒ නිසාම කැපී පෙනෙන වැඩ කරන්නට ඔහුට අවශ්‍ය වී ඇත. ඒ අනුව මෙතෙක් කළ නොහැකිව තිබු උදර්පන ඉල්ලීමද දැන් ඔහු කරන්නේ නින්දෙන් අවදි වි ඇති හෙයිනි.

-මාධවී-




Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.