English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
දේශප්‍රේමියකු අවසානයේ දේශද්‍රෝහීයකු ලෙස අවසන් ගමන් යයි : රොබට් මුගාබේගේ ඉරණම - දුලාන් දසනායක විසිනි.
(2019-09-06)

<< Go Back
Share |   


දේශප්‍රේමියකු අවසානයේ දේශද්‍රෝහීයකු ලෙස අවසන් ගමන් යයි : රොබට් මුගාබේගේ ඉරණම - දුලාන් දසනායක විසිනි.

නිදහස් සිම්බාබ්වේ දේශයේ පළමු නායකයාද  එරට නිදහස් සටනට නායකත්වය දුන් වීරයාද ලෙස සැළකෙන රොබට් මුගාබේ අද දින මිය ගිය බව ජාත්‍යන්තර පුවත් සේවා වාර්තා කරයි. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 95ක් වූ අතර වර්ෂ 1980 සිට 2017 දක්වා සිම්බාබ්වේ දේශය පාලනය කලේ ඔහු විසිනි.

මුල් කාලීනව ලෝකය පුරා ප්‍රගතිශීලි ජනතාව අතර ඔහු අධිරාජ්‍යවාදයට වර්ණහේදවාදයට එරෙහි ධෛර්යවන්ත ලෙස සටන් වදින අරගලකරුවකු ලෙස අතිශයින් ජනාදරටය පාත්‍ර වී තිබුණි. සිම්බාබ්වේ ජනතාව අතරද ඔහු අතිශයින් ජනප්‍රිය නායකයකු වූ අතර 1980 පැවැති මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ධූරයට ඔහු පත් වන්නේ අතිවිශාල බහුතර ඡන්දයකිනි. නමුත් ඔහු පසුව අතිශයින් පීඩාකාරී ඒකාධිපතියකු බවට පත් වී ජනයාගේ බලවත් අප්‍රසාදයට ලක් විය.

1960 දශකයේ සිට සුළුතර සුදු ජාතික අධිරාජ්‍යවාදී පාලනයට එරෙහිව මුගාබේ සටන් වැදුණි. එම සටන් හේතු කොට ගෙන 1964 සිට 1974 කාලයේදී සුදු ජාතික පාලනය විසින් ඔහුව සිරගත කරන ලදී. 1975 දී සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික සංගමයේ (Zimbabwe African National Union - ZANU) නායකත්වයට පත් වුනු රොබට් මුගාබේ වර්ෂ 1980 දී එය සිම්බාබ්වේ අප්‍රිකානු සංගම් දේශප්‍රේමී පෙරමුණ (ZANU – Patriotic Front) නමින් දේශපාලන පක්ෂයක් බවට පත් කරන ලදී. ඔහු සිම්බාබ්වේ හි අග්‍රාමාත්‍ය ධූරයට පත් වන්නේ එම දේශපාලන පක්ෂය හරහාය. එම දේශපාලන පක්ෂයට ඔහු 1980 සිට 2017 දක්වා නායකත්වය ලබා දුන්නේය.

සුදු ජාතික පාලනයට එරෙහි ගරිල්ලා යුද්ධයටද නොබියව සම්බන්ධ වූ රොබට් මුගාබේ ගෙන ගිය අරගලය නිර්භීත එකකි. එය ලොව පුරා පැවැති කළු ජාතික විමුක්ති අරගල වලත් අධිරාජ්‍යවාදයට එරෙහි අරගල තුළත් නොමැකෙන සටහනක් තබා ඇත. මේ ආකාරයේම අරගලයක් සමකාලීනව අසල්වැසි දකුණු අප්‍රිකාවේද පැවැතුණි. එයට නායකත්වය දෙනු ලැබුවේ අදටත් ලෝකයේම ගෞරවාදරයට පත් වී සිටින නෙල්සන් මැන්ඩෙලාය. නෙල්සන් මැන්ඩෙලා ගෞරවයට පාත්‍ර වන්නේ බලයට පත් වුනු පසුව ගෙන ගිය වැඩසටහන නිසාය. අවාසනාවකට නෙල්සන් මැන්ඩෙලා තරම් මුගාබේ පරිණත නොවුණි. මැන්ඩෙලා ප්‍රජාතන්ත්‍රවාදය, සාමය හා සංහි‍ඳියාව තෝරා ගනිද්දී මුගාබේ ඒකාධිපතිවාදය, ප්‍රචණ්ඩත්වය හා හිංසනය තෝරා ගත්තේය. එම තෝරා ගැනීම හේතුවෙන් සිම්බාබ්වේ රාජ්‍යයත් මුගාබේත් ලෝකයෙන් හුදකලා විය. ආර්ථික වශයෙන්ද බරපතළ අර්බුදයන්ට සිම්බාබ්වේ දේශය ලක්විය. දරිද්‍රතාවය එන්න එන්නම වැඩි විය.

සුදු ජාතික පාලනය පෙරළා දැමූ පසු කෙමෙන් කෙමෙන් සුදු ජාතිකයන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වර්ධනය කිරීමට මුගාබේ කටයුතු කරන ලදී. මැන්ඩෙලා මෙන් සත්‍ය හා සංහිඳියා කොමිසමක් මගින් සංහිඳියාව ඇති කොට සුදු ජාතිකයන් පිටමං නොකට පාලනයට හවුල් කර ගැනීමට තරම් මුගාබේ පරිණත නොවුනි. ඔහු වෛරය හා ප්‍රචණ්ඩත්වය පතුරවමින් විවිධ නීති මගින් සුදු ජාතිකයන්ගේ ඉඩම් අත්පත් කර ගැනීම හා ඔවුන්ව පීඩාවට පත් කිරීම සිදු කරන ලදී.

ඔහුගේ පීඩනය සුදු ජාතිකයන් පමණක්ගෙන් නතර නොවුනි. ඔහුගේ මර්ධනයේ හස්තය ඉන් පසු දිගු වූයේ දේශපාලන විරුද්ධවාදීන් වෙතයි. දේශප්‍රේමය පාවිච්චි කරමින් දේශපාලන විරුද්ධවාදීන් දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගසමින් ඔවුන්ට එරෙහිව දරුණු මර්ධනයක් දියත් කිරීමට මුගාබේ කටයුතු කරන ලදී. 1987 දී ඔහු සිම්බාබ්වේහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට ලක් කරමින් ජනාධිපතිවරයාට අධික බලයක් ලබා දෙමින් ජනාධිපති ආණ්ඩුක්‍රමයක් ඇති කරන ලදී. ඉන් පසු 1987 දී ඔහු ජනාධිපති ලෙස පත් විය. 1987 සිට 2017 තෙක් දශක තුනක් තිස්සේ සිම්බාබ්වේ හි අසහාය නායකයා ලෙස අධික බලයක් අභ්‍යාස කරමින් ඔහු කටයුතු කරන ලදී. විරුද්ධවාදීන් අභිරහස් ලෙස ඝාතනය කිරීම් සිදු කරන ලදී. විරුද්ධවාදීන් පමණක් නොව ඔහුට අභියෝගයක් විය හැකි යැයි සිතන ඔහුගේම පක්ෂයේ සගයන්ද අභිරහස් ලෙස ඝාතනය වීම් පිළිබඳ ඔහුට චෝදනා එල්ල විය. මේ ආකාරයේ දැඩි මර්ධනකාරී ඒකාධිපති පාලනයක් ඔහු ගෙන යන ලදී. රටේ පාලනයේ අංශ වලින් ඉතා විශාල ප්‍රමාණයක් ඔහු හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ පාලනයට නතු වී තිබුණි. ඔහුගේ බිරිඳ විසින්ද ඉතා විශාල බලයක් අභ්‍යාස කරන ලදී. ඒ පිළිබඳවද බරපතළ ලෙස චෝදනා එල්ල වී තිබුණි. 2002, 2008 හා 2013 වසර වලදී ඔහු නැවත නැවතත් ජනාධීපති ලෙස තේරී පත් වුවද එම සියලු ජනාධිපතිවරණ අන්ත දූෂිත ඒවා විය. ඒවා සාධාරණ මැතිවරණ නොවූ අතර ප්‍රතිඵලයන් පිළිගත නොහැකි ඒවා විය. ආර්ථිකමය වශයෙන් අන්ත දූෂිත ලෙස කටයුතු කරන ලද බවටද ඔහුට හා ඔහුගේ පවුලේ අයට චෝදනා එල්ල විය.

ඔහුට විරුද්ධ සියලු මහජන විරෝධතා දරුණු ලෙස මර්ධනය කිරීමට ඔහු කටයුතු කරන ලදී. ඔහුගේ අවසන් කාලයේදී දරුණු විරෝධතා රැල්ලක් මතු වී තිබුණු අතර ඒවාද ඔහු දැඩි ලෙස මර්ධනය කිරීමට කටයුතු කරන ලදී.

අවසානයේ හමුදාවද සම්බන්ධ කුමන්ත්‍රණයක් මගින් ඔහුගේම පක්ෂයේ ඉහළ සාමාජිකයන් විසින් ඔහුව වර්ෂ 2017දී බලයෙන් නෙරපන ලදී. ඒ වන විට පෙර සිම්බාබ්වේ හි ජාතික වීරයා බොහෝ සෙයින් සිම්බාබ්වේ ජනයාගේ මෙන්ම ලෝකය පුරාම ඒකාධිපතියෙකු ලෙස අප්‍රසාදයට ලක් වී තිබුණි.

දශක 4ක් පුරාවට සිම්බාබ්වේ දේශපාලනයේ ආධිපත්‍යය ඉසිලූ රොබට් මුගාබේ බ්‍රිතාන්‍ය යටත්විජිතවාදයෙන්, අධිරාජ්‍යවාදයෙන් හා සුලුතර සුදු ජාතික පාලනයෙන් සිම්බාබ්වේ දේශය මුදවා ගැනීමට නායකත්වය දුන් විප්ලවීය වීරයෙක් ලෙස ගෞරවයට පාත්‍ර වුනු නමුත් සිම්බාබ්වේ දේශය ඔහු පාලනය කිරීමේදී ආර්ථික කළමණාකරණය දුර්වල වීම, රට පුරා පැතිරී තිබූ දූෂණය හා වංචාව, සුදු ජාතික විරෝධී වර්ගවාදය, බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන්, මනුශ්‍යයත්වයට එරෙහි අපරාධ සිදු කිරීම ආදී කරුණු ගණනාවක් නිසා මර්ධනකාරී ඒකාධිපතියෙක් ලෙස බරපතළ ලෙස අප්‍රසාදයට පත් වූ නායකයෙක් ලෙස දේශපාලන පිටියෙන් සමුගැනීමට ඔහුට සිදු වී තිබුණි.

තිස් අවුරුදු යුද ජයග්‍රහණයෙන් පසු ලංකාව තුළ වීරත්වයට පත් මහින්ද රාජපක්ෂ මහතාද යුද ජයග්‍රහණයෙන් පසු ඔහු ලබා ගත් පුළුල් දේශපාලන බලය මුගාබේ මෙන්ම අවභාවිතා කරමින් කටයුතු කරන්නට විය. මැන්ඩෙලාගේ මාවත වෙනුවට ඔහු තෝරා ගත්තේද මුගාබේ තෝරා ගත් මාවත විය.

ප්‍රජාතන්ත්‍රවාදය, සාමය හා සංහිඳියාව තෝරා ගත් මැන්ඩෙලා ලෝක නායකයන්ගේද ලෝක ජනයාගේද ගෞරවයට පත්ව අවසන් ගමන් ගිය නමුත් මැන්ඩෙලා මෙන්ම විප්ලවීය වීරයෙක් වූ මුගාබේ බලය ලබා ගත් පසු ඒකාධිපතිවාදය, ප්‍රචණ්ඩත්වය හා හිංසාව තෝරා ගැනීම නිසා අවසන් ගමන් යන්නේ ලෝකයේම බලවත් අප්‍රසාදයට ලක් වූ චරිතයක් ලෙසිනි.

-දුලාන් දසනායක-


Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.