English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
උලමා සංවිධානය යළි සකස් කිරීම සහ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ප්‍ර​තිසංස්කරණය කිරීම
(2019-08-09)

<< Go Back
Share |   



උලමා සංවිධානය යළි සකස් කිරීම සහ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ප්‍ර​තිසංස්කරණය කිරීම

‘මුස්ලිම් විවාහ හා දික්කසාද පනත’ ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ විනිසුරු සලීම් මස්රූෆ් කමිටුව මගින් නිර්දේශ කරන ලද යෝජනා සහ නිර්දේශ කඩාකප්පල් කිරීමට ‘සමස්ත ලංකා ජමීයතුල් උලමා’ සංවිධානය මේ වන විට රහසින් කටයුතු කරන බවක් වාර්තා වෙයි. සලීම් මස්රූෆ් කමිටුව දශකයකට ආසන්න කාලයක් තිස්සේ මේ පිළිබඳව විවිධ කණ්ඩායම් සහ මුස්ලිම කාන්තාවන් ඇතුළු විවිධ පුද්ගලයන් සමග සාකච්ඡා කරමින් අදහස් ඒකරාශී කෙළේය. දැනට පවතින පනතට විරුද්ධව මුස්ලිම් කාන්තාවන් ඉදිරිපත් කළ සියලූ කාරණා සම්බන්ධයෙන් මස්රූෆ් කමිටුව සිය නිර්දේශ ඉදිරිපත් කොට නැතත්, එම කමිටු වාර්තාව ප‍්‍රශංසනීය සාර්ථකත්වයක් පෙන්නුම කරන බව කිව යුතුය.

මේ වාර්තාව ප‍්‍රකාශයට පත්වෙනවාත් සමගම ‘සමස්ත ලංකා ජමියතුල් උලමා’ සංවිධානය එය කඩාකප්පල් කිරීමට තීරණය කෙළේය. එහි සාමාජිකයන් කිහිප දෙනෙකු ලවා තුප්පහි වැඩ කිරීමට පටන්ගත්තේය. මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ට තමන්ගේ දේශපාලනික පැවැත්ම සඳහා මේ උලමා සංවිධානයේ හොඳ හිත අවශ්‍ය කෙරේ. එසේ හෙයින් සලීම් මස්රූෆ් කමිටු නිර්දේශවලට වෙනස් නිර්දේශ මේ උලමා සංවිධානයේ ඉත්තන් ලවා ඉදිරිපත් කැරැුවූ විට මුස්ලිම් මන්ත‍්‍රීවරු ඒවාට අවසානයේදී යට වූහ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, සලීම් මස්රූෆ් කමිටු යෝජනා ක‍්‍රියාත්මක කිරීම තවදුරටත් කල් ගියේය.

කෙසේ වෙතත්, දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් සහ අතරමැදි ස්ථාවරයන් සොයා ගැනීමෙන් අනතුරුව මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සලීම් කමිටුවේ යෝජනා පසුගිය ජුලි 11 වැනි දා අනුමත කිරීමට තීරණය කිරීමත් සමගම උලමා සංවිධානය නැවතත් සුපුරුදු කඩාකප්පල්කාරී වැඩ කටයුතු පටන්ගෙන තිබේ. ඒ තත්වය තුළ, යෝජිත නිර්දේශ වහා ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පසුගිය ජුලි 26 වැනි දා, මුස්ලිම් කාන්තා සාමූහිකයක් ප‍්‍රසිද්ධ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීය. ආණ්ඩුවත් නන්නත්තාර වී ඇති තත්වයක් තුළ සහ මුස්ලිම් ඇමතිවරුන් ගණනාවක් ආණ්ඩුවෙන් ඉවත් වීම සහ යළි ආණ්ඩුවේ තනතුරු භාර ගැනීම වැනි දැනට පවතින ව්‍යාකූල තත්වය තුළ, ඊළඟ ආණ්ඩුවක් බලයට පත්වන තෙක් සලීම් කමිටුවේ නිර්දේශ ක‍්‍රියාත්මක කෙරෙතියි සිතීම උගහට ය.

‘මුස්ලිම් විවාහ හා දික්කසාද පනත’ ප‍්‍රතිසංස්කරණය කිරීමට කලින් උලමා සංවිධානය ප‍්‍රතිසංස්කරණය කළ යුතුව තිබේ. පසුගිය පෙබරවාරි 19 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියට මා ලියූ වෙනත් ලියවිල්ලක මා මෙසේ සඳහන් කොට තිබුණි: ‘‘උලමා සංවිධානයේ බුද්ධිමය බලකොටුව නිමවා තිබෙන්නේ ෂරියා, ෆික් සහ මැද්හැබ් ගඩොල්වලිනි. කාන්තාව, විවාහය, දික්කසාදය සහ පවුල පිළිබඳ නූතන ආකල්පවලින් එහි ව්‍යුහය යළි සකස් කිරීමට බැරි වන තරමට ඒ කියන බලකොටුව බිඳහෙලිය නොහැකි එකක්ද? ඓතිහාසිකව බලන විට, ඒ ගඩොල් යළි සකස් කිරීමට තරම් ශක්තිමත් වන, විචාරශීලීත්වය, වෙනස් අදහස් දැරීම, විවාදාපන්න වීම සහ සම්මුතිගත වීම පිළිබඳ නිර්මාණාත්මක සම්ප‍්‍රදායයක් ඉස්ලාම් දහමට තිබේ. උලමා සංවිධානයේ නායක කාරකාදීන්ගේ ඔළුවල නැතත් එය තවමත් ඉතිරිව ඇති සම්ප‍්‍රදායකි. විවාහ සහ දික්කසාද පිළිබඳ ෆික් නීතිරීති ව්‍යුත්පන්න වූ යුගයේ විසූ කාන්තාවන්ගෙන් අද කාන්තාවන් වෙනස් ය. අද කාන්තාව වැඩියෙන් උගත් ය. වැඩියෙන් ස්වාධීන ය. වෘත්තීයමය භාවයකට උරුම කියයි. එබැවින් රටේ ශ‍්‍රම බලකාය තුළ ඔවුන්ද වැදගත් පාර්ශ්වකරුවන් ය. අද මුස්ලිම් කාන්තාව යනු, ආරක්ෂා කළ යුතු හෝ මිලදී ගත යුතු හෝ විකිණිය යුතු හෝ භාණ්ඩයක් නොවේ. වර්තමාන වියත් මුස්ලිම් කාන්තාවන් කුරානය හොඳින් කියවා ඒ පිළිබඳ අධ්‍යයනයන් කොට ඇති අතර, කුරානයෙන් තමන්ට පැවරෙන අයිතීන්, ගතානුගතික මුස්ලිම් ආරක්ෂකයන් දෙසා වදාරන දේවල් නොවන බව ඔවුහූ අවබෝධ කරගෙන සිටිත්. උලමා සංවිධානය ඉදිරිගාමී දැක්මක් සහිත ආයතනයක් විණි නම්, මීට බොහෝ කලකට පෙර සිටම ෆික් නීතිරීති එම සංවිධානය ඇතුළෙන්ම ප‍්‍රතිසංස්කරණය වන්නට තිබුණි. අවාසනාවකට, එහි ප‍්‍රතිගාමී දැක්ම සහ බුද්ධිමය එකතැන පල්වීම නිසා ඒ ප‍්‍රතිසංස්කරණ දැන් එන්නේ ඊට පිටතිනි.’’

සමස්ත මුස්ලිම් ලෝකයේම පවතින වෙනත් එවැනි සංවිධාන මෙන් ලංකාවේ උලමා සංවිධානයත් උලමා යන නාමය තමන්ගේ ඒකාධිකාරී අයිතියට පවරාගෙන සිටී. එය භාවිත කිරීම ඔවුන් විසින් සීමා කරගෙන තිබෙන්නේ, සම්ප‍්‍රදායික මද්‍රසා ආගමික අධ්‍යාපනය ලද, ආගමික පූජකවරුන් වශයෙන් කටයුතු කරන පිරිසකගේ සින්නක්කර බූදලයක් ගානට ය. ඒ අනුව ඔවුන්, තමන් විසින්ම පත්කර ගත් පූජක පැලැන්තියක් බවට පත්ව සිටී. එය, ඉස්ලාම් දහමෙන් නොසැපයෙන ප‍්‍රතිපාදනයකි.

උලමා යන්නෙහි අර්ථය වන්නේ උගත් පුද්ගලයන් යන්නයි. මේ කියන බහුවචන අර්ථයෙන් කුරානය තුළ එය සඳහන් වන්නේ තැන් දෙකක පමණි. ඒ, 26:197 සහ 35:28 පරිච්ෙඡ්දවල ය. මේ දෙවැනි පරිච්ෙඡ්දය කල්පනාවෙන් කියවා බලන කෙනෙකුට පෙනී යන කාරණය වන්නේ, උලමා යනු වෙනත් ක්ෂේත‍්‍ර පිළිබඳවත් උගත් පුද්ගලයන් විය යුතුය යන්නයි. එබැවින් ලංකාවේ උලමා සංවිධානයත්, ඉස්ලාමීය ඉතිහාසය සහ ශුද්ධ වූ පාඨග‍්‍රන්ථ පරිශීලනය කරන වෙනත් බුද්ධිමය ධාරාවන්හි නිපුණයන්ද ඇතුළත් කරගත යුතු ආයතනයක් විය යුතුව තිබේ.

එහෙත් දැන් පවතින උලමා සංවිධානය, පාකිස්තානු මහා කිවිවර මුහමඞ් ඉක්බාල් හැඳින්වූ පරිදි, මුල්ලාවරුන්ගේ සංවිධානයකි. ඒ නිසා එය ‘සමස්ත ලංකා ජමියතුල් මුල්ලාවරුන්’ යනුවෙන් නම් කිරීම යෙහෙකි. එය, ප‍්‍රශ්න දෙස විචාරක්ෂියෙන් බැලීමෙහි සමත්, විවිධ කෝණවලින් ප‍්‍රශ්න විග‍්‍රහ කිරීමෙහි සමත් බුද්ධිමතුන්ද ඇතුළත් කරගත් සංවිධානයක් විණි නම්, ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව අද මුහුණදෙන බොහෝ ප‍්‍රශ්න සහ විවේචන මතු නොවන්නට ඉඩ තිබුණි.

විවාහය යනු ආගමික ආයතනයක් නොව, සමාජ ආයතනයකි. හරියට බැලූවොත්, විවාහයක් සනාථ කිරීමට මුල්ලාවරුන් අවශ්‍ය නැත. මනාල යුවළේ දෙමාපියන් සහ සාක්ෂිකරුවෙකු සිටියොත් හොඳටම ඇති. එසේ වෙතත්, ලංකාවේ මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය දිව යන්නේ, ශතවර්ෂ ගණනාවක් තිස්සේ නොවෙනස්ව පැවති සිරිත්විරිත් සහ ගතානුගතික සම්ප‍්‍රදායයන් වෙතටයි. ඒ සම්ප‍්‍රදායන් බි‍්‍රතාන්‍යයන් විසින් 19 වැනි සියවස ආරම්භයේදී සංගෘහිත කෙළේ කොළඹ අවට මුස්ලිම් ආගමික ප‍්‍රධානීන් සමග සාකච්ඡුා කිරීමෙනි. මෙසේ කිරීමේ පූර්වාදර්ශයක්, බතාවියාවේ ලන්දේසීන්ගෙන් සැපයී තිබුණි.

මේ සියලූ සිරිත්විරිත් සහ සම්ප‍්‍රදායයන් ආගමික ආටෝපයකින් පූජනීය කෙරුණු අතර, එය මද්‍රසා ධර්මශාලාවල පුහුණුව ලද ආගමික ක‍්‍රියාධරයන් පැලැන්තියක් කුරානය අවබෝධ කරගෙන සිටි ආකාරය අනුව තීන්දු විය. ඒ සියල්ලෝ පිරිමි ය. සමාජ ප‍්‍රශ්න සහ සමාජ ප‍්‍රගතිය පිළිබඳ ඔවුන්ගේ දැනුම අතිශය ස්ථිතික ය. එම දැනුම, මද්‍රසා ආගමික ආයතනවලින් ලද අධිශික්ෂණයට සීමා වූවකි.

ජීවිතයේ ඉතා වැදගත් අවස්ථාවක් පිළිබඳ තීරණය කිරීමේ අයිතිය මුස්ලිම් කාන්තාවන්ට නොලැබුණි. 1951 ‘මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත’ තුළින් නිරූපණය කෙරුණේ එයයි. ඉන්පසුව කරන ලද සංශෝධන, හුදෙක් පටිපාටිමය කාරණා මිස මූලික කාරණාවන්ට අදාළ ඒවා නොවේ. කෙසේ වෙතත්, එම පනත ක‍්‍රියාත්මක වීමේ පටන්, නූතන අධ්‍යාපනය ව්‍යාප්ත වීමත්, සාක්ෂරතාවයේ වර්ධනය සහ රැුකියා අවස්ථා වැඩි දියුණු වීමත් නිසා මුස්ලිම් කාන්තාවන්ගේ තත්වය වෙනස් වීමට පටන්ගැනුණි.

එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මේ වන විට, උලමා සංවිධානයේ බලපෑමට නතුව සිටින ඊනියා ආගමික ක‍්‍රියාධරයන්ට වඩා, යුක්තිය සහ සමානාත්මතාව පිළිබඳ ඉස්ලාම් ඉගැන්වීම් අවබෝධ කර ගැනීමට සමත් උගත්, ස්වාධීන සහ වෘත්තීයමය මුස්ලිම් කාන්තා පංතියක් දක්නට පිළිවන. තවත් විදිහකින් කිවහොත්, ‘මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත’ ප‍්‍රතිසංස්කරණය කිරීමේ අරගලයක් මේ වන විට වෙනස් පංතීන් දෙකක් අතරේ දියත්ව තිබේ. එක පැත්තක, පසුගාමී සමාජ දැක්මක් සහිත දේශපාලනික ආධාරකරුවන් සහ උලමා සංවිධානය නියෝජනය කරන පංතියයි. අනෙක් පැත්තේ, ඉස්ලාම් දහම පිළිබඳ ඉදිරිගාමී දැක්මක් සහිත, කාලයට ගැලපෙන ආකල්පයකින් යුත්, බුද්ධිමය සහ වෘත්තීයමය මුස්ලිම් පිරිමින් සහ ගැහැනුන් ය.

ෂෙරීන් කන්කාන් තමන්ගේ ‘අපේක්ෂාවේ සිහිවටන’ වශයෙන් නම් කොට ඇති කෘතිය පරිදි, ඉස්ලාම් ආගමේ අනාගතය ගැහැනුන් ය. දියණියන්ව පණ පිටින් වළලා දැමූ වටපිටාවකින් ගැහැනිය ගලවා ගැනීමේ අපූර්ව පණිවිඩය වටහාගත හැකි වන පරිදි ශුද්ධ වූ ග‍්‍රන්ථ නිර්වචනය කිරීම ඔවුන් දැනටමත් පටන්ගෙන තිබේ. ගැහැනියගේ තත්වය අද වන විට වර්ධනය වී තිබුණත්, තව අත්කරගත යුතු වර්ධනයන් බොහෝ ය.

ගැහැනුන්ව නිදහස් කර ගැනීම සඳහා මුලින්ම පිරිමි දඬුඅඬුවෙන් කුරානය නිදහස් කරගත යුතුය. එය ලෝකය පුරාම දැනට සිදුවෙමින් පවතී. ලංකාවේ උලමා සංවිධානය තුළට මෑතක සිට කාන්දු වී ඇති අන්ත ගතානුගතික වහබ්වාදයේ බලකොටුව වන සෞදි අරාබියේ උලමාවරුන් ගැහැනුන් සම්බන්ධයෙන් ආගමික නියෝග 30,000 ක් පනවා ඇති බව සිතෙන විට ඇඟ කිලිපොලා යයි. ඉස්ලාම් ආගමේ නාමයෙන්, ගැහැනුන්ගේ කටයුතු සම්බන්ධයෙන් පිරිමියා දක්වන ආධිපත්‍යය එයින් මොනවට පැහැදිලි වෙයි. සෞදි අරාබියේ පවතින එකී තත්වය විරල අසීමාන්තිකත්වයක් විය හැකි වෙතත්, මුස්ලිම් රටවල පීතෘමූලිකත්වයේ දැඩි අධිකාරීත්වය ගැහැනුන් මත පවත්වා ගැනීමට දැරෙන ප‍්‍රයත්නය කෙබඳුදැයි එයින් වටහාගත හැකිය.

‘මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත’ ප‍්‍රතිසංස්කරණය කළ යුතුව ඇතැයි කෙරෙන ඉල්ලීම ලංකාවේ මුස්ලිම් කාන්තා විමුක්තියේ ආරම්භය පමණි. ශතවර්ෂයකට වැඩි කාලයක් මද්‍රසා ආගමික අධ්‍යාපනය මේ රටේ තිබී ඇත. එහෙත්, මේ උලමා සංවිධානයට ගැහැනියක් ඇතුළත් කර නොගැනීම පැත්තකින් තිබියේවා, අඩු වශයෙන් ඉස්ලාම් ධර්මය පිළිබඳ විශාරද එක විද්වත් කාන්තාවක්වත් මේ දක්වා එකී අධ්‍යාපනය හරහා බිහි කර ගැනීමට හැකි වී තිබේද? මුස්ලිම් පල්ලියේ ගැහැනුන්ට යාච්ඤා කිරීමට ඉඩ දෙන්නේද? දිනපතා පැවැත්වෙන රැුස්වීම්වලට කාන්තාවන්ව සහභාගී කර ගැනෙන්නේද? වෙනත් රටවල තිබෙන්නා සේ දැනවත් ගැහැනුන්ට යාච්ඤා කිරීමට වෙනම ඉඩක්වත් පල්ලිය තුළ සැපයීමට කාලය නොවෙයිද මේ?

මේ සියල්ල සඳහා මුස්ලිම් නායකයන්ගේ පැත්තෙන් ප‍්‍රගතිගාමි චින්තනයක් අවශ්‍ය කෙරේ. එය උලමා සංවිධානයට නැති දෙයකි. වෙනත් ක්ෂේත‍්‍රවල ප‍්‍රවීණයන් උලමා සංවිධානයට ඇතුළත් කර ගැනීම අත්‍යාවශ්‍ය වන්නේ එබැවිනි.

ආචාර්ය අමීර් අලී

2019 ජූලි 31 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ පළවූ Reconstitute ACJU & Reform MMDA නමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා


Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.