English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
නඩු පමාව මහා පාපයකි, රටටම ශාපයකි - බැසිල් ප‍්‍රනාන්දු
(2019-07-08)

<< Go Back
Share |   



නඩු පමාව මහා පාපයකි, රටටම ශාපයකි - බැසිල් ප‍්‍රනාන්දු

2002 දී වත්තල ජීවත් වූ ජෙරාල්ඞ් පෙරේරා නමැති තරුණ මහත්මයෙකුට වත්තල පොලිසියේ නිළධාරීන් විසින් ඉතා දරුණු ලෙස වධහිංසාවට ලක් කරන ලදි. කොපමන ප‍්‍රමාණයක වධහිංසාවක්ද කියතොත් ඔහුගේ වකුගඩු කි‍්‍රයාත්මක නොවන තරමට පහර දී තිබුනි. දින ගණනාවක්ම ඔහු සිහිය නැතිව සිටියේය.

මෙම වධහිංසාව පිළිබඳ පැමිණිලි සියලූම බලධාරීන් වෙත ඉතා කෙටි කාලයක් තුළදී දැනුම් දෙන ලදි. එසේ වුවත් මෙම වධහිංසාවට විරුද්ධව අධිකරණයකින් නඩු තීන්දුවක් දෙන ලද්දේ 2019 ජුනි මාසයේදීය. එනම් සිද්ධියට හරියටම අවුරුදු 16 කට වඩා පමාවීමෙන් පසුවය. අදාළ පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට මෙම නඩු තීන්දුවේදී අවුරුදු 10 කට සිරද`ඩුවම් නියම විය. වධහිංසාව සම්බන්ධයෙන් පමුණුවා ඇති බරපතලම ද`ඩුවම මෙය වශයෙන් වාර්තා වනු ඇත. එසේ වුවත් මතුවන මූලික ගැටලූව නම් අවුරැදු 16 කට පසු කාලයකදී දෙනු ලබන නඩු තීන්දුවකින් යුක්තිය පිළිබඳව හා නීතිය පිළිබඳව ඇතිවන සාධනීය ප‍්‍රතිඵල මොනවාද යන්නය.

වරදකරුවන්ට දඩුවම් කිරීම පිලිබදව මුලිකවම බලපාන කරුණු ගණනාවක් පවතී. ඒවා ශතවර්ෂ ගණනාවක් තිස්සේ නීතිය පිළිබඳව පැවැත්වූ දාර්ශනික සාකච්ඡා මගින් හැඩගැසුනු අදහස්ය. වරදකට දඩුවම් කිරීමේදී ප‍්‍රධාන ප‍්‍රතිලාභය ලැබිය යුතු වන්නේ සකල සමාජයටය. එම දඩුවම් කිරීමේ අරමුණ වන්නේ යම් අපරාධයක් කළ හොත් ඒවාට අනිවාර්යයෙන් දඩුවම් ලැබෙන බව සමාජයට ඒත්තු ගැන්වීම තුළින් සමාජයේ මතයන් වෙනස් කිරීම හා ගතිපැවතුම් හා හැසිරීම් රටාව වෙනස් කිරීමෙන්  මිනිස් බුද්ධිය තුළට ඇතුලූවන අදහස වන්නේ මෙවන් දෙයක් කළහොත් මටද මෙවැනි ද`ඩුවමක් විඳින්නට සිදු වේය යන්නය. එමනිසා එම වරද කිරීමෙන් ලැබෙන ප‍්‍රතිලාභයට වඩා වරද නොකිරීමෙන් ලැබෙන ප‍්‍රතිලාභය වැඩිය. මේ නිසා මෙවැනි වරදක් නොකළ යුතුය යන අදහසය.

අවුරුදු 16 ට පසුව ලැබෙන නඩු තීන්දුවකින් මෙම ප‍්‍රතිඵලය ලබා ගත හැකිද ?

මේ වන විට සකල සිද්ධිය සමාජයට බොහෝ දුරට සමාජයට අමතකවූ සිද්ධියකි. වධහිංසාවට භාජනය වූ පුද්ගලයාගේ එනම් වින්දිතයාගේ කිට්ටුම නෑදෑ හිතවතුන් හා සමහර විට එම නඩුවට සහභාගි වූ නීතිඥයාගේ හෝ වෙනත් මෙයට සම්බන්ධ මානව හිමිකම් කි‍්‍රයාධරයන්ගේ මතකයේ මෙම නඩුව පැවතිය හැකි වුවත් සාමාන්‍ය සමාජයෙන් මෙම සිද්ධිය අමතක වී ඇතුවාට කිසිම සැකයක් නැත. මේ නිසා ද`ඩුවමේ ප‍්‍රධාන පණිවිඩය එනම් අපරාධ පිළිබඳව බුද්ධිමය අවබෝධයක් ඇති කිරීම පමා වී කෙරෙන නඩු තීන්දු වලින් සිදුවන්නේ නැත.

ඊට කෙළින්ම ප‍්‍රතිවිරුද්ධ දෙයක් සිදුවීමට පුළුවන. එනම් අපරාධයක් කිරීමෙන් පසු අවුරුදු 16 ක කාලයක් හෝ දඩුවමින් වැළකී සිටීමට හැකිය යන අදහසය. එය ඉතා භයානකය. ඒ මගින් අපරාධ කිරීමට ඇති පැකිලීම නැති වෙයි. දඩුවම අහම්බයක් බවට පත් වේ. ඉන් අදහස් වන්නේ දඩුවමින් ගැලවීමට එම අවුරුදු 16 ක කාලයම යොදා ගත හැකි අතර ඉඳහිට හැර බොහෝ අවස්ථා වලදී දඩුවමින් වැළකී සිටීමට හැකි උපක‍්‍රම අපරාධ කරුහට දරා ගත හැකි වීමය.

උදාහරණයක් වශයෙන් ජෙරාල්ඞ් පෙරේරාගේ වධහිංසා නඩුවේ මුල් අවස්ථාෙවිදීම එම නඩුව ඇසූ විනිශ්චයකාරවරිය සියලූම සැකකරුවන් නිදොස් කොට නිදහස් කර දැම්මේය. එම නිදොස් කර නිදහස් කර දැමීම සාවද්‍ය බව පසුව අභායාචනාධිකරණය විසින් තීන්දු කරන ලදි. මහාධිකරණයේ තීන්දුවත් ඇපෑල් අධිකරණයේ තීන්දුවත් අතර අවුරුදු ගණනාවක් ගත වී තිබේ. ඉන්පසු අපරාධකාරයින්ගේ උපක‍්‍රමය වූයේ ශ්‍රේෂ්ඨාධිකරණය කරා යාමය. එහෙත් කාලයක් ගත වී අවසානයේදී ඇපෑල් උසාවියේ නඩු තීන්දුව සනාථ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ලබා දෙන ලදි. මේ අනුව නැවත වරක් මීගමුව මහාධිකරණයටම එම නඩුව නැවත ඇසීමට යවන ලදි. එම නැවත ඇසීමට කෙටි කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළත් ඇත්තෙන්ම එම සිදුවීමෙන් පසු අවුරුදු ගණනාවක් තිස්සේ මෙම නඩුව ඇදී ගියේය.

අපරාධකාරයන් විසින් තවත් උපක‍්‍රමයක් පාවිච්චි කරන ලදි. එනම් වින්දිතයා අධිකරණය ඉදිරියට පැමිණ ඔහුට සිදු වූ වධහිංසාව පිළිබඳව සාක්ෂි දීමට පෙර ඔහු මරා දැමීමයි. එනම් බස් රථයකින් ගමන් කරමින් සිටියදී, පොලිස් පරීක්ෂකවරයෙක් විසින් වාහනයක දමා ගෙන ආ මැරයෙකු එම බස් රථයට නංවා ඉන්පසු ඔහු ජෙරාල්ඞ් පෙරේරාගේ අසුනට පිටුපස අසුනෙන් හිඳගෙන ඔහුට වෙඩි තැබුවේය.

මෙහි අදහස වූයේ ඇසින් දුටු සාක්ෂි එනම් තමාට වධහිංසාව කළේ කවුද කියා අධිකරණයට කියා පෑමට ඇති අයිතිය වින්දිතයාට අහිමි කිරීමය. මෙයින් බලාපොරොත්තු වූයේ සාක්ෂි නැතිකම උඩ වධහිංසා නඩුවෙන් ගැලවීමය.

එමෙන්ම අපරාධකරුවන්ගේ හා ඔවුන් වෙනුවෙන් පෙනී සිටි අයගේ තවත් උපක‍්‍රමයක් වූයේ විිවිධාකාර හේතූන් මත නඩුව පළුවන් තරම් කල් දමා ගැනීමය. ඒ අනුව නඩුව කල් ගත වීමට වගකිව යුත්තේ විවිධාකාර හේතූන් මත කල් ගත කරන ලද අපරාධකරුවන්ගේ නීතිඥයන්ය.

මේ සියල්ල පසුපස මහජන මතය තුළ ඇති වූ වෙනස්කම් වූයේ කොච්චර ලොකුු අපරාධයක් වුවත් එයට විරුද්ධව යුක්තිය ඉල්ලා සටන් කිරීමට යාම බොහෝ දුරට නිශ්ඵල කි‍්‍රයාවක් මෙන්ම අපරාධකරුවනට වැඩි වාසි පවතින වාතාවරණයක් තුළ කළ යුතු බවය. මෙහිදී නෛතික දර්ශනයේ මුලික අදහසක් බරපතල ලෙස උල්ලංඝණය විය. එනම්  ඕනෑම බලධාරිත්වයක පදනම අවසාන වශයෙන් පිහිටුවන්නේ මහජනතාවගේ මනස තුළ එම ආයතන පිළිබඳව පවතින විශ්වාසය මතය යන අදහසය.

චීනයේ සදාචාරධර්ම පද්ධතිය ගොඩනැගීමට මුල් වුනු කොම්පියුසස් නමැති පඬිවරයා ප‍්‍රකාශයට පත් කළේ සියලූම ආකාරයේ ප‍්‍රසිද්ධ ආයතන හෝ රජවරුන් ඔවුන්ගේ බලධාරිත්වය තහවුරු කිරීම සඳහා බලපාන මූලිකම කරුණ නම් මහජනතාවගේ විශ්වාසයක් තදින් තහවුරු වී තිබීම යන්නය. මෙය නෛතික දර්ශනයන්හීද ඉතා ප‍්‍රබලම අදහසක් සේ පවතී. ජෙරාල්ඞ් පෙරේරාගේ නඩුවට ගත වූ මෙම දීර්ඝ කාලය තුළ සිදුවුයේ වධහිංසා වලට භාජනය වුනු මෙන්ම වෙනත් ඊටත් වඩා අපරාධ වලට භාජනය වුනු උදාහරණයක් වශයෙන් අතුරුදහන්වීම් වැනි අපරාධ වලට මුහුණ දීමට සිදු වූ අයගේ පවුල් වලට වූ හානිය ආදිය සඳහා උත්තරයක් සොයා ගැනීමට මාවතක් නැතිය යන අදහස ඉතා ගැඹුරින් සමාජගත වීමය. අපට පුතේ මගක් නැතේ ය යන්න අධ්‍යාපනය පිළිබඳ ප‍්‍රශ්නයේදීම මෙන්ම යුක්තිය සෙවීමේ ප‍්‍රශ්නයේදී ද ඉතා ගැඹුරින්ම බලපවත්වන තත්වයක් ඇති විය. මේ අනුව කී දෙනක් ඔවුන් මුහුණ දී ඇති අකටයුතුකම් හා අපරාධ පිළිබඳව දිරිමත් ක‍්‍රියාමාර්ගයක් නොගෙන ඒවා විඳදරා ගැනීමේ මානසික තත්වයකට පත් වීම කොතරම් පුළුල් ආකාරයට සිදු වී තිබේද ?

2019 අපේ‍්‍රල් 21 පාස්කු ඉරුදින ප‍්‍රහාරය පිළිබඳව සාකච්ඡාවේදී මහජන ආරක්ෂාව පිළිබඳවත් එවැනි ආරක්ෂාව එදින ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ට නොලැබුනේ ඇයි යන ප‍්‍රශ්නයත් සාකච්ඡුාවට භාජනය වෙමින් පවතී. මෙහිදී බොහෝ දුරට කතා වෙන්නේ එය අරයාගේ වැරැද්ද නිසා ද මෙයාගේ වැරැද්ද නිසාද යනුවෙන් එකිනෙකාට අඟිල්ල දිගු කර ගැනීමේ කි‍්‍රයාවලියකි. එහෙත් එවැනි මහා අපරාධයක් සිදු කිරීමට තරම් රටේ ආරක්ෂාව පිළිබඳව පවතින ආයතන වල පවතින දුර්වලකම හා ඒවා පිළිබඳව ජනතාවගේ විශ්වාය අහිමි වීම පිළිබඳව කොතෙක්දුරට බලාපාන්නට ඇද්ද යන්න කිසිදු බරපතල සාකච්ඡාවක් පවතින්නේ නැත.

හුදෙක්ම ජාතිකවාදී හා ආගම්වාදී ආකාරයෙන් ප‍්‍රශ්නය පිළිබඳව කතා කරන බොහෝ දෙනෙකු කතා කරන්නේ ජනතාවගේ බුද්ධියට හා ආධ්‍යාත්මයට නොව ඔවුන් කුලප්පු කර උසි ගන්වා තමන්ගේම කිසියම් අරමුණක් ඉටු කර ගැනීම සඳහාය. රටේ ජනතාවගේ බුද්ධිය බාල්දු කිරීම ඒ තරමටම ගැඹුරින් රටපුරා පතල වී ඇත.

රටේ බුද්ධිය පහළට ඇද දැමීම කෙරෙන තාක් දුරට කොපමන ප‍්‍රමාණයකට එම රටේ රාජ්‍යයටත් එම රටේ ජනතාවගේ ජනජීවිතයටත්  බලපාන දියුණුවක් ඇති කිරීමට ඇති බාධකය සාකච්ඡාවට භාජනය නොවන්නේ ඇයි ? එයට හේතුව ඒ තරම්ම අධෛර්යමත් වීමක් රටපුරා පවතින නිසාය. යුක්තිය හා සාධාරණය පිළිබඳ කොපමන කතා කළත් අවසානයට  ඕවා වෙනස් කිරීමට පුළුවන්කමක් නැත යන අදහස ඉතා ගැඹුරින්ම සමාජයේ සියලූම අංශයන් තුළට කා වැදී ඇත. එයින් ප‍්‍රයෝජන ගැනීමට බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙති. එහි වැඩි ම ප‍්‍රයෝජන ගන්නේ අපරාධකරුවන්ය. ත‍්‍රස්තවාදීන් මෙයින් ප‍්‍රයෝජන ගන්නවා මෙන්ම වෙනත් ජාවාරම් කාරයන් කුඩු ජාවාරම, කසිප්පු ජාවාරම, ස්තී‍්‍රන් වෙළඳාම් කර ලාභ ලැබීමේ ජාවාරම, මිනිසුන් විශාල වශයෙන් මුලා කොට මුදල් ගරා ගැනීමේ කූට උපක‍්‍රම ඇති වීම ආදී සමාජයේ අස්සක් මුල්ලක් නෑර පැතිර පවතින අපරාධ ජනතාවගේ බුද්ධියට නිගරු කිරීම නිසා සමාජ සහභාගිත්වයෙන් ඔවුන් ඈත් කර දැමීම මගින් සිදුවූ විශාල සමාජ හානීන්ය. මෙයින් වඩාත්ම ප‍්‍රබල පාපය වන්නේ රටේ දේශපාලන ක‍්‍රමයම පිළිබඳව ජනතාගේ විශ්වාසය බාල්දු වීම තුළින් ඇති කරනු ලබන විකාරරුපී දේශපාලනයක් රට තුළ බිහිවීමය. ජනතාවගේ බුද්ධියට නිගරු කිරීමට තරම් හැකියාව ඇති දේශපාලනඥයාට ඡන්දයකදී ජය ගැනීමට ඇති ඉඩකඩ වැඩිය යන අදහස පැතිරීම නිසා මහා පරිමානයේ බොරු කියන්නන් හා ප‍්‍රචාරන වැඩ කටයුතු වල යෙදෙන්නන් ගේ ප‍්‍රමානය පුළුල් වෙන්නට පටන් ගනී.

බොර දියේ මාලූ ඇල්ලීම වැනි මානසික තත්වයකින් උදාවන විශාල කූට උපක‍්‍රම වල විශේෂඥයන් බවට පත්වන මිනිසුන් සමාජයේ ඇති වී ඇති අගතියෙන් ප‍්‍රතිලාභ ලබා ගැනීම යන තැනට පත්වේ.

සමාජ තුළ ප‍්‍රගතියක් ඇති කිරීම වෙනුවට ඇති වී ඇති අගතියෙන් ප‍්‍රතිලාභ ලබන තත්වයකට සමාජය පත්වීම එවැනි සමාජයකට වෙනත් පාපයක් අවශ්‍යද? මේ මහා සාපයම රට පුරාම පැතිර පවතින්නේ ජනතාවගේ විශ්වාසය ඇති කිරීමට නොසුදුසු දෙයක්ය යන්න පිළිබඳව ඇති ඉතා ගැඹුරු දේශපාලන මතවාදයයි. ජනතා විශ්වාසය වැඩි වන තරමට ජනතා බලාපොරොත්තු වැඩි වේ. ජනතාවගේ විශ්වාසය බිඳීම තුළින් ඔවුන්ගේ බලාපොරොත්තු විශාල ලෙස දෙදරා යයි. බලාපොරොත්තු විරහිත මිනිස්සු තමුන්ට හිමි ඉරනමක් සේ තමන්ගේ ගැටලූ සහගත ජීවිත පිළිගන්නට පටන් ගනී. එමනිසා ඇත්තෙන්ම ඔවුන්ගේ යටි සිත් තුළින් සමාජයෙන් ඈත් වෙති. එකිනෙකා කොයි ආකාරයකින් හෝ තමාගේ පැවැත්ම පමනක් සාදා ගන්නා ක‍්‍රම දෙසට යොමු වන්නේ සමස්ථ සමාජයක් වශයෙන් එකතු වීමට ඇති ඉඩකඩ නැතිය යන්න වටහා ගැනීම තුළය. එය බුද්ධියෙන් තොර මිනිසුන්ගේ ක‍්‍රියාවක් නොව රටේ පවතින තත්වය පිළිබඳව ඇත්ත අවබෝධය කරා එළඹ ගත් සාමාන්‍ය ජනතාවගේ මානසික තත්වය තුළින් ඇති වන වටහා ගැනීමකි.

මේ නිසා ජෙරාල්ඞ් පෙරේරාගේ වධහිංසාව, ඉන්පසු සිදු වූ ඝාතනය, ඒවා සඳහා යුක්තිය සොයා ගැනීමට යාමේ දී ඇති බරපතල ගැටලූ සියල්ලම එක් පුද්ගලයෙකුට පමනක් මුහුණ දීමට සිදු වූවා පමනක් නොව එය සමාජයේ පවතින යථාර්ථයක් එළිදරව් කිරීමක් බවට පත්විය.

තමන්ගේම ගැඹුරු අත්දැකීම් මහජන අවධානයට ගෙන ඒමත් ඒ තුළින් සැබෑ කතිකාවක් ඇති කිරීම සිදු නොවන්නේ නම් යුක්තිය ඉටු කිරීමට බැරි මහා පාපය තුළින් ඇති වන මහා සාපය රටපුරාම අඛන්ඩව පවතිනු ඇත යන්න කීමට සිදුවන්නේ ගැඹුරැු කණගාටුවකින් යුක්තවය. එහෙත් එම කණගාටුව හුදු මානසික තත්වයක් නොව සැබෑ තත්වය පිළිබඳව වටහා ගැනීමක් මත පදනම් වුවකි.

මේ නිසා සමාජයේ ප‍්‍රගතියක් ගැන බලාපොරොත්තුවක් ඇති කාගේ වුවත් වගකීම වන්නේ මිනිසුන්ගේ යටිසිත් තුළ පැළපදියම් වී ඇති සැකය, අවිශ්වාසය හා ඔවුන් තුළ ඇති චකිතය සමාජය තුළ ප‍්‍රකාශනයට පත් කිරීමෙන් එම ගැටලූව විසඳා ගැනීම සඳහා කතිකාවක් නිර්මාණය කිරීමය.

ජෙරාල්ඞ් පෙරේරාගේ නඩුව මෙම සියලූ කරුණු අප ඉදිරියේ තබයි. නඩුවේ තීන්දුව මෙම නඩුව පිළිබඳව අවසාන නිගමනය නොවේ. අවසාන නිගමනය වන්නේ යුක්තියට ඇති ඉඩකඩ අවහිර කරමින් අයුක්තියට ඇති ඉඩකඩ පළල් කරමින් පවතින රටේ දේශපාලන හා බුද්ධිමය සංස්කෘතිය පිළිබඳව දැඩි විවේචනයක් මෙම සිද්ධිය තුළින් එළිදරව් වීම සමාජයේ පොදු සාකච්ඡාවක් කරා යොමු කර ගැනීමට ඇති හැකියාව මතය.

ජෙරාල්ඞ් පෙරේරාගේ වධහිංසාව ඔහුගේ මරණය හා ඒ නිසා ඔහුගේ පවුලේ අයට දරන්නට සිදුවී ඇති ගැඹුරු දුක්ගැනවිලි මේ සියල්ල සමාජයට කරන්නේ අලූත් මතකයක් ඇති කිරීමය. එනම් අයුක්තිය පිළිබඳ සිහිගැන්වීමකි. ඒ මගින් සමාජයට කියන්නේ ඔහුගේ ජීවිතයේ ගැඹුරුම විවේචනයක් ඇති කළ පුද්ගලයෙකු ලෙස ඔහු හඳුනා ගත යුතුව ඇත. ඔහු මුහුණ දුන් ප‍්‍රශ්න මෙන්ම ඒ මගින් එළිදරව් වුනු යුක්තිය පිළිබඳ ගැටලූ වලට ප‍්‍රතික‍්‍රියා කිරීමට ඇති හැකියාව යන්න සමාජය තුළ ඇති වේ නම් එය සමාජයේ ප‍්‍රගතියට හේතු වනවාට අනුමානයක් නැත.



  බැසිල් ප‍්‍රනාන්දු


Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.