English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
මෙය සංක්‍රාන්තික සමයක් - ආචාර්ය ජෙහාන් පෙරේරා
(2019-07-08)

<< Go Back
Share |   


මෙය සංක්‍රාන්තික සමයක් - ආචාර්ය ජෙහාන් පෙරේරා


සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුව විසින් පසුගිය ජූලි 04 වන දින මාධ්‍ය හමුවක් කැඳවනු ලැබූ අතර එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජාතික සාම මණ්ඩලයේ අධ්‍යක්ෂක ආචාර්ය ජෙහාන් පෙරේරා මහතා

“........18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අපි දැක්කා එක් පුදගලයෙකුට එනම් ජනාධිපතිවරයාට විශාල බලයක් ලැබුනු බව. ඒ තුළින් අනෙක් ආයතන වල ස්වාධීනත්වය යටපත් වුනා. ඒ තුළින් රට වැරදි පැත්තකට යාමක් සිදු වුනා. ඒ නිසා ඒ කාලයේ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ විශාල බියක් මුළු සමාජය තුළම පැවතුනා. 18 වන සංශෝධනයේ තිබූ මෙම අඩු පාඩු හේතු කොට ගෙන තමා 19 වන සංශෝධනය ගෙන ඒමට අපි ක්‍රියා කළේ. 19 සංශෝධනය යටතේ ජනාධිපතිගේ බලතල අඩු කළා. ඒ වගේම ස්වාධීන ආයතන වල බලතල වැඩි කළා. ඒ තුළින් රට තුළ බල තුළනයක් ඇති කිරීමට අපි උත්සාහ කළා. නමුත් 19 වන සංශෝධනය නිසා මේ වන විට විශාල ප්‍රශ්නයක් ඇති වී තිබෙනව. ඊට හේතුව ජනාධිපති හා අගමැති ප්‍රමුඛ ආණ්ඩුව අතර පරස්පර විරෝධී මත ගැටුම් ඇති වී තිබීමය. මේ නිසා අපේ රටේ ආණ්ඩුව නිසි ලෙස පවත්වාගෙන යාමට නොහැකිවී තිබෙනවා. ඊට හේතුව මෙය සංක්‍රාන්තික සමයක් වීමයි. 19 යටතේ මේ ජනාධිපතිවරයාට විශේෂ බලතල දුන්නා. නමුත් එම බලතල ඊළගට පත්වෙන ජනාධිපතිවරයෙකුට හිමිවන්නේ නැහැ. මේ ජනාධිපතිවරයාගේ කාල සීමාවේදී පමණයි එම බලතල ක්‍රියාත්මක කළ හැක්කේ. ඔහුට එම බලතල දීමට හේතු වුනේ 19 සංශෝධනය හදපු මේ ආණ්ඩුවේ අය හිතුවා ජනාධිපති හා අගමැති ප්‍රමුඛ ආණ්ඩුව අතර හොඳ මිත්‍රත්වයක් ඇතිව කටයුතු කර ගෙන යාමට හැකිවේවි කියා. නමුත් එම සිතුවිල්ල ක්‍රියාවට නැංවීමට හැකි වූයේ නැහැ. අවුරුදු 02ක් පමණ ජනාධිපති හා අගමැති එකට වැඩකළා. නමුත් දැන් ඔවුන් අතර විරසකයක් ඇති වී තිබෙනවා. තව මාස 06කින් නව ජනාධිපතිවරයෙක් පත්වෙනවා. ඔහුට වත්මන් ජනාධිපති භුක්ති විඳින බලතල හිමිවන්නේ නැහැ. එහිදී එම බලතල පාර්ලිමේන්තුවට හා අගමැතිවරයාට පැවරීම සිදුවෙනවා. එබැවින් අද මේ මතුවී තිබෙන ප්‍රශ්න ඉදිරියේදී ඇති වීමට හැකියාවක් නැහැ. මම හිතනවා මේ ආකාරයට අගමැති හා පාර්ලිමේන්තුව වෙත වැඩි බලතල ලැබීම හොඳ තත්වයක් බව.

එසේම මේ වන විට පසු ගිය අප්‍රේල් 21 වන දා සිදු වූ ප්‍රහාරය හේතුවෙන් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් වගකීම් විරහිතව කටයුතු කර තිබෙන බව අපි දන්නවා. නමුත් ඒ පුද්ගලයින් දෙදෙනාව ඉලක්ක කර ගනිමින් විශේෂ ලෙස දඩුවම් දීම මම හිතන ආකාරයට අසාධාරණ තත්වයක්. ඊට හේතුව අප්‍රේල් 21 වන විට රට තුළ සමස්ථ පාලන පද්ධතියේම දෝෂයක් තිබුනා. අපි දන්නවා ඒ වන විට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණ ගනු ලබන ආරක්ෂක කමිටුව නිසිපරිදි රැස්වී තිබුනේ නැහැ. ඒ සඳහා රටේ අගමැතිවරයාට හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට සහභාගි වීමට කැඳවීම් සිදු කර තිබුනේ නැහැ. මේ තුළින් අපිට පෙනී යන්නේ එවකට රටතුළ පැවති පාලන පද්ධතියේ තිබූ දුර්වලතාවය හේතුවෙන් සිදු වූ වරදට මේ පුද්ගලයින් දෙදෙනාව අත් අඩංගුවට ගැනීම මා සිතනා ආකාරයට අසාධාරණ තත්වයකි......”

එසේම මේ වන විට පුද්ගලයින් 04 දෙනෙකුට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට අවසරය ලබා දී තිබෙනවා. මා හට ලැබුනු ආරංචි වලට අනුව මරණ දඩුවම නියම වූවන් 200ක් පමණ සිටිනවා. එම 200න් මෙම 04 දෙනා විශේෂිත වන්නේ කුමක් නිසාද? යන ප්‍රශ්නය පැන නගිනවා. දේශපාලන අභිමතාර්ථ ඉටු කර ගැනීම වෙනුවෙන් මෙවැනි ක්‍රියාමාර්ග ගැනීම සිදු නොකළ යුතුයි. බෞද්ධ දර්ශනයට  මෙය සම්පූර්ණයෙන් පටහැනි තත්වයක් බව කිව යුතුයි. එබැවින් මේ පිළිබඳව නැවතත් සලකා බලන මෙන් අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.  



Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.