English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
පොලිසිය විසින් නීතිය කඩකරන්න හේතුව දේශපාලනයයි - අනින්දා ප‍්‍රධාන කර්තෘ කේ.ඩබ්.ජනරංජන
(2019-07-06)

<< Go Back
Share |   


මානව හිමිකම් ජනගත කරමු ( 7 )



පොලිසිය විසින් නීතිය කඩකරන්න හේතුව දේශපාලනයයි

”රටේ නීතිය හා සාමය ආරක්ෂා වෙන්නේ පොලිසිය හරහායි. ඒ පොලිසිය නීතිය නොදන්නේ නම් ගැටළුවක් මතුවේ. පොලිසිය වෙතින් විවිධ අවස්ථාවන් වලදී නීතිය උල්ලංඝනය වෙනවා. දේශපාලන බලපෑමත් හේතුවක් වෙනවා.”

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ප‍්‍රවීන මාධ්‍යවේදී, අනින්දා පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ කේ.ඩබ්.ජනරංජන විසින් දක්වන අදහස් මෙසේයි.

”ලංකාවේ නීතිය කි‍්‍රයාත්මක කරන ආයතනය මොකක්ද කියලා ඇහැව්වොත් දෙන පිළිතුර තමයි පොලිසිය කියලා. පොලිසිය තමයි රටේ නීතිය කි‍්‍රයාත්මක කරන ආයතනය ලෙස බොහෝ වෙලාවට සමාජයේ මිනිස්සු අඳුනගන්නේ. නීතිය කි‍්‍රයාත්මක කරන ලංකාවේ ආයාතන  දෙස බැලූවොත් ලංකාවේ නම් ජනාධිපතිවරයාගේ සිට සෑම රාජ්‍ය සේවකයෙක්ම, රජයේ නිලධාරියෙක්ම, නීතිය කි‍්‍රයාත්මක කරන අය. නමුත් ඇයි මහජනතාව පොලිසිය නීතිය කි‍්‍රයාත්මක කරන ආයතන ලෙස හඳුනගන්නේ? ඔවුන්ට තමයි පේන්නේ පොලිසිය තමයි, තමන්ට අදාලව නීතිය කි‍්‍රයාවේ යොදවන්නේ. සමහර වෙලාවට නීතිය කඩකරන්නෙත් පොලිසියම තමයි කියලා මහජනතාව දන්නවා. නීතිය කි‍්‍රයාත්මක කරන ආයතන කියලා මහජනතාව විසින් අඳුනගෙන ඉන්න, ආයතනය නීතිය හරියට කි‍්‍රයාත්මක කරන්න  ඕනා. එහෙම නැත්නම් නීතියට නිසි ගෞරවයක් ඇතිව සමාජයේ කි‍්‍රයාත්මක කරන්න  ඕනා. නමුත් අවාසනාවකට ලංකාවේ පොලිසිය පහුගිය කාලයේ යම් ආකාරයක දියුණුවක් ලබා තිබුණා වුනත්, ඔවුන්ගේ ආවේනික දුර්වලකම් මගහැර යන්නට අපිට තවමත් පුළුවන් වෙලා නෑ. පහුගිය තුන හතරක කාලය ගත්තොත් එහෙම, පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා වූ විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන්, පොලිස් අත්අඩංගුවේ මියයෑම, ඝාතනය කිරීම බහුලව තිබුණා. ආයුධ සොයාගන්නට ගොස්, ඔවුන් පොලිසියට බෝම්බයක් විසි කලා, එහෙමත් නැත්නම් තුවක්කුවක් අරගෙන පහරදෙන්න හැදුවා ඒ නිසා අපි ආත්මාරක්ෂාව සඳහා ඝාතනය කලා කියන චිත‍්‍රකතා පිටපත අනුව පුද්ගලයන්ව ඝාතනය කිරීම, ප‍්‍රවනතාවයක් ලෙස ඒ කාලේ අපිට දක්නට ලැබුණා. මේ තත්ත්වයට මානව හිමිකම් කි‍්‍රයාකාරීන්, ජනමාධ්‍යවේදීන් බරපතල විදියට විරුද්ධ වුනා. ඒ තත්ත්වය අපිට වෙනස් කරන්න පුළුවන් වුනේ 2015 දේශපාලන වෙනසින් පසුවයි. ඒකෙන් පැහැදිලිව පේනවා මේ පොලිසියේ ප‍්‍රචණ්ඩකාරිත්වයට දේශපාලන මැදිහත්වීමක්, චින්තනයක් බලපෑමක් කළාය කියලා. 2015 ඉඳලා අද වෙනතුරු අත්අඩංගුවේ ඉඳලා ඝාතනයවීම් අපට දකින්නට ලැබුණේ නැහැ.

මේ ආණ්ඩුව කාලෙත් අපිට දකින්න ලැබුණු සිද්ධීන් දෙකක් තිබුණා. මාතර, ස්වර්ණාභරණ හලක් මංකොල්ල කන්න ආපු පුද්ගලයන්ගෙන් වෙඩි වැදිලා පොලිස් නිලධාරියෙක් මියගිය විට, ඒ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ව සොයාගෙන ගිහිල්ලා ඝාතනය කරපු අවස්ථාවක් අපි දැක්කා. ඌරුමුත්ත ප‍්‍රදේශයේ සැකකරුවෙක් කසිප්පු හොයාගෙන ගිහින් පොලිසිය කරපු පරීක්ෂාවකදි පොලිස් නිලධාරියෙක් මිය යෑම නිසා වෙඩි වැදිලා, ඊට පස්සේ ඊට අදාළ සැකකරු ඝාතනය වුනා. කලින් වගේ මේ සිදුවීම් චේතනාන්විතව කළ බව කියන්න අපිට සාක්ෂි නැහැ. නමුත් මෙම සිදුවීම් කිසියම් රටාවක් ලෙස ඉදිරියට යන්න ගියොත්, මේ රජයෙන් අපි බලාපොරොත්තු වෙච්ච, මේ මොහොතේ පොලිසියෙන් අපි බලාපොරොත්තු වෙච්ච, මානව හිතවාදී හැසිරීමට හානියක් සිදුවෙනවා කියන එක, අපි ඉතාම පැහැදිලිව කියන්න  ඕනා.

අපේ පොලිසිය විශ්වාස කරනවා, කිසියම් විදියකට යම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තයින් පසුව, ඒ පුද්ගලයාට විරුද්ධව පුළුවන් තරම්, ප‍්‍රචණ්ඩත්වය හා වධහිංසාව භාවිතයෙන් තමයි තොරතුරු ඔහුගෙන් ලබාගන්න පුළුවන් ක‍්‍රමය කියලා. සාමාන්‍යයෙන් පොලිස් නිලධාරීන් තුළ විශේෂයෙන් දකින්න ලැබෙන දෙයක්. එක පැත්තකින් මානව හිමිකම් පිළිබඳව ඔවුන්ට තිබෙන දැනුම අඩුවීම. දැනුම තිබුණාවුනත් මානව අයිතිවාසිකම්වලට ගරු කරන්න ඔවුන්ට තිබෙන නොහැකියාව, හෝ ඒ ගැන තියෙන උනන්දුවක් නැතිකම, ආදී කාරණා නිසා මේක සිද්ධ වෙන බව අපට පේනවා. නමුත් එහෙම කියලා පොලිසියට ඒ වගකීමෙන් ගැලවෙන්න පුළුවන්කමක් නෑ. පොලිසිය ඉතාම පැහැදිලිව, පුද්ගලයන්ව වධබන්ධනයට ලක් කිරීම වැරදියි කියන එක පොලිසියට අපි පැහැදිලිව කියන්න  ඕනා.  මොනව හේතුවක් නිසාවත් පොලිසියක අත්අඩංගුවවේ ඉන්නේ වැරදිකරුවෙක් නෙමෙයි. යම් වරදකට චෝදනා ලබලා, තාමත් සැකකරුවෙක් ලෙස ඉන්න පුද්ගලයෙක් තමයි පොලිසිය ඉදිරියේ ඉන්නේ. අපේ නීතිය අනුව සැකකරුවෙක් කියන්නේ, නිර්දෝෂීභාවය පූර්ණ නිගමනයට යටත් පුද්ගලයෙක්. ඒ කියන්නේ ඔහුට විරුද්ධව අධිකරණයක් ඉදිරියේ නඩු විභාගයක් කරලා, ඔහු වැරදිකරුවෙක් බවට පත්වෙනකන්, අනිවාර්යයෙන්ම ඔහු නිර්දෝෂී පුද්ගලයෙක් වශයෙන් සලකන්න  ඕනා. ඒ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ප‍්‍රතිපාදන අනුව, පොලිස් අත්අඩංගුවේ ඉන්න පුද්ගලයෙක් වධබන්ධනයට පත් කරනවා නම් හෝ ඒකේ ප‍්‍රතිඵලයක් ලෙස ඔහු මියයනවා නම්, ඝාතනය වෙනවා නම් අපිට කියන්න වෙන්නේ පොලිසිය අත්අඩංගුවේ හිටපු නිර්දෝෂී පුද්ගලයෙකු තමයි මේ විදියට ඝාතනය වෙන්නේ හෝ අත්අඩංගුවට පත් වෙන්නේ කියලා. ඒක හොඳ ලක්ෂණයක් නෙමෙයි. ඒක ඉතාම බරපතල නරක ලක්ෂණයක් පොලිසිය දැනුවත්ව කරන.

මේකට අදාල ප‍්‍රතිසංස්කරණ පොලිසිය තුළින්ම එන්න  ඕනා. පොලිස් නිලධාරීන්ට මානව අයිතිවාසිකම් ගරුකරන සහ වධහිංසාවට එරෙහි ඔවුන්ගේ චින්තනය දියුණු කිරීම සඳහා වැඩ පිළිවෙළ තියෙන්න  ඕනා. සමාජයක් ලෙස ගත්තම පොලිස් වධහිංසාව සම්බන්ධව අපි පොලිස් වධහිංසාව සම්බන්ධව අපි හුදෙක් විරුද්ධ වෙනවට වඩා සහනශිලී පිළිවෙතක් අනුගමනය කරනවා වධහිංසා පමුණුවන පොලිසිය සම්බන්ධව. උදරහරණයක් වශයෙන් මගේ ගෙදරට හොරෙක්  පැනලා හරි යම් අපරාධයක් කරලා හරි සිද්ධියක් සම්බන්ධව පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තයින් පස්සේ, ඔහුගෙන් පාරක් දෙකක් ගහලා හරි තොරතුරු ලබාගන්න කියලා පොලිස් නිලධාරීන්ට අනුමැතියක් ලබාදෙන සිද්ධි සම්බන්ධයෙන් සාමාන්‍ය සමාජයේදී අපට අත්දකින්න පුළුවන්. පොලිස් නිලධාරීන් වධහිංසාවන් කිරීම සඳහා අවශ්‍ය සමාජ අනුමැතිය, ලබාගන්නේ අර සමාජයෙන්.

කලින් සඳහන් කළ පරිදි වධහිංසාව අවසන් කිරීමට පොලිසිය ඇතුළතින් යෝජනා කරන අතරේ සමාජයක් හැටියට මිනිස්සුන්ගේ මනව වෙනස් කරන්නට අවශ්‍යයි, මොනම හේතුවක් නිසාවත් වධහිංසාව කියන දේ ඉවසන්න සහ බලාපොරොත්තු වෙන්න එපා සහ ඒක කරන්න අනුබල දෙන්න එපාය කියන වේතනාව සඳහා මිනිස්සු අතර ආකල්ප ඇති කරන්න අවශයයි. මේ ක‍්‍රම දෙකම, අනුගමනය කිරීමෙන් පමණයි මේ කි‍්‍රයාකාරීත්වය ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ.

අවසාන වශයෙන් මෙවැනි වධහිංසා කරන මිනිසුන්ව වධයට භාජනය කරන, පොලිස් නිලධාරීන්ට විරුද්ධව, රටේ පවතින නීතිය ඉතාමත් බරපතල විදියට කි‍්‍රයාත්මක කිරීම අවශයයි. අපේ රටේ ප‍්‍රමාණවත් පරිදි නීති තිබෙනවා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඒ වගේම බරපතල විදියට දඬුවම් හිමි කරලා දෙන්න නීති අපේ රටේ තියෙනවා. ඒ නිසා එකපැත්තකින් නීතිය කි‍්‍රයාත්මක කරලා, සමාජයක් හැටියට අපි මෙවැනි වධහිංසාවන් , පොලිස් නිලධාරියෙක් තමන්ගේ බලය තියාගෙන, ආරක්ෂ හමුදා නිලධාරියෙක් වෙන්නට පුළුවන්. තමන්ගේ බලය තබාගෙන මානව අයිතිවාසිකම් උල්ලංඝණය කරලා, එහෙම නැත්නම් වධහිංසා කරලා කරන එක සමාජයක් වශයෙන් අපි ඉවසන්නේ නැහැ කියන එක, පෙන්වන්න පුළුවන් එක ක‍්‍රමයක් තමයි ඔවුන්ට විරුද්ධව නීතිය කි‍්‍රයාත්මක කරන එක.” 


රයිට් ටු ලයිෆ් වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලදි.





Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.